Sunday, May 19, 2024

මහින්ද දැමූ මන්ත්‍රී රට සවාරි විලංගු යහපාලනයෙන් ගලවයි !

Must read

alu_yata_gini_nov11Cඋපාධිධාරීන්ගේ උපවාසයට මහ රෑ ආ අමුත්තා

වයඹ පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ධර්මපාල උද්‍යානය ඉදිරිපිට ඉදිකරගත් තාවකාලික අට්ටාලයක නැගී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේ දැනට සතියකටත් පෙරදීය. උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ජාතික වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට සහ දැනට රැකියා නොමැතිව සිටින වයඹ පළාතේ උපාධිධාරීන් ඔවුන්ගේ සුදුසුකම් අනුව රැකියාගත කිරීම මෙම උපාධිධාරීන්ගේ ඉල්ලීම් වී තිබේ. වගකිවයුතු බලධාරියෙකු පැමිණ තමන්ට පිළිගත හැකි විසදුමක් ලබාදෙන තෙක් මෙම සත්‍යග‍්‍රහය අඛණ්ඩවම පවත්වාගෙන යන බව කියන උපාධිධාරීහු පසුගිය සතිය පුරාම අව්වට වේලෙමින් සහ වැස්සට තෙමෙමින් ධර්මපාල උද්‍යානය ඉදිරිපිට තනාගත් මෙම අට්ටාලයෙහි දුක සේ වාඩි වී සිටි නමුත් ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකරන්නා තබා ඒවාට ඇහුම්කන්දීමටවත් වගකිවයුතු කිසිදු මැති ඇමැතිවරයෙකු ඒ පැත්ත පළාතේ පස් නොපාගා සිටින්නට පරිස්සම් වී තිබිණි. දේශපාලනඥයෙකු ලෙස උපවාසය තිබූ තැනට ගොස් උපාධිධාරීන් හමු වී සාකච්ඡා කර තිබුණේ වයඹ පළාත් සභාවේ ජවිපෙ මන්ත‍්‍රී නාමල් කරුණාරත්න පමණි. මේ අතර පසුගිය සදුදා රාත‍්‍රියේ තවත් අනපේක්ෂිත අමුත්තෙකු උපාධිධාරීන්ගේ උපවාසය තිබූ තැනට ආවේය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාය. එදින පස්වරුවේ කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේ පැවැති සම්මන්ත‍්‍රණයක ප‍්‍රධාන දේශණය පවත්වන්නට කුරුණෑගලට පැමිණ සිටි ටිල්වින් සිල්වා එම සම්මන්ත‍්‍රණය නිමවීමෙන් පසුව උපාධිධාරීන්ට ඇහුම්කන්දීමටද පැමිණ සිටියේය. ටිල්වින් සමග නාමල් කරුණාරත්නත්, කුරුණෑගල ජවිපෙ සංවිධායක ධර්මප‍්‍රිය දිසානායකත් උපවාසය ළගට පැමිණ සිටියහ. උපාධිධාරීන්ගේ ගැටඵවලට සවන් දුන් ටිල්වින් ඒ පිළිබදව ජවිපෙ මන්ත‍්‍රීවරුන් හරහා පාර්ලිමේන්තුවේ හඩක් නගන්නට පොරොන්දු විය. වයඹ පළාත් සභාව තුළ මෙම ගැටඵව වෙනුවෙන් හඩ නගන බවට පොරොන්දු වූයේ නාමල් විසිනි. යළිත් වරක් පළාත් සභාව සමග සාකච්ඡා කිරීමට ඉදිරි දිනයකදී පළාත් සභාවට පැමිණෙන ලෙසට උපාධිධාරීන්ට ආරාධනා කළ නාමල් ප‍්‍රධාන අමාත්‍යවරයා සහ පළාත් සභාවේ ඉහළ නිලධාරීන් හමුවීම සදහා උපාධිධාරීන් වෙත අවස්ථාවක් ලබාදීමටත් පොරොන්දු විය. කෙසේවෙතත් ටිල්වින් ඇතුඵ පිරිස එතැනින් පිටත් වී ගියේ උපාධිධාරීන් සමග ඔවුන්ගේ ගැටඵ පිළිබදව සෑහෙන වේලාවක් තිස්සේ සාකච්ඡා කිරීමෙන් පසුවය.

දයාසිරියි, සන්ධ්‍යයි උඩවලවේ ජොගින් යයි.

ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර අලූත් ඇමැති ධූරයට පත්වීමත් සමග වඩාත් ක‍්‍රීඩාශීලි වී ඇති බවක් පෙනෙන්නට තිබේ. කොට කලිසමකින් සහ ටීෂර්ටයකින් සැරසුණු දයාසිරි නිදහස් චතුරශ‍්‍රයේදී ව්‍යායාම්වල යෙදෙන අයුරු මෙන්ම අනුරාධපුරයේදී බයිසිකල් පදින අයුරු දැක්වෙන ඡායාරූප ගණනාවක් පසුගිය දිනවලදී විද්්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි පළවී තිබිණි. ඒ කතාබහ අඵත් කරවමින් දයාසිරි පසුගිය සිකුරාදා උදෑසන ව්‍යායාම්වල යෙදුණේ උඩවලවේදීය. දයාසිරි සමග ජොගින් යන්නට තවත් පිරිසක් උඩවලවේදී එක් වී සිටි අතර එම පිරිස වූයේ පළාත් ක‍්‍රීඩා අමාත්‍යවරුන් පිරිසකි. ක‍්‍රීඩා ඇමැතිවරුන්ට මෙලෙස එකට එකතු වී ජොගින් යන්නට අවස්ථාව හිමි වී තිබුණේ ග‍්‍රෑන්ඞ් උඩවලව සෆාරි රිසෝට් හෝටලයේදී එදින ආරම්භ වූ පළාත් ක‍්‍රීඩා අමාත්‍යවරුන්ගේ සම්මේලනය හේතුවෙනි. සමුඵව ආරම්භවීමට පෙර ක‍්‍රීඩා ඇමැතිවරුන් එක්ව මෙලෙස ව්‍යායාම්වල යෙදුණේද ඇමැති දයාසිරිගේම අදහසකට අනුවය. දයාසිරි සමග ජොගින් යන්නට වයඹ ක‍්‍රීඩා ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ, සබරගමුවේ ක‍්‍රීඩා ඇමැති අතුල කුමාර රාහුබද්ධ, බස්නාහිර ක‍්‍රීඩා ඇමැති රංජිත් සෝමවංශ, දකුණු පළාත් ක‍්‍රීඩා ඇමැති වීරසුමන වීරසිංහ, උතුරේ ක‍්‍රීඩා ඇමැති තම්බිරාජා ගුරුකුලරාජ්, නැගෙනහිර ක‍්‍රීඩා ඇමැති එස්. තන්ඩයුතපනී, ඌව ක‍්‍රීඩා ඇමැති සුමේධ ද සිල්වා ඇතුඵ පළාත් ඇමැතිවරුන් කිහිපදෙනෙකු එක් වී සිටි නමුත් උතුරු මැද ක‍්‍රීඩා ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් සහ මධ්‍යම ක‍්‍රීඩා ඇමැති ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ද දයාසිරි සමග ජොගින් යන්නට පමණක් නොව ක‍්‍රීඩා සමුඵවටත් සහභාගී වී නොසිටියහ.

දයාසිරි වාසනාව හොයයි.

ඇමැති පිරිස ව්‍යායාම පිණිස උඩවලව ජලාශ බැම්ම වෙත පාගමනින්ම ගොස් එන අතරතුරේදී මාර්ගය අයිනේ පිහිටි ලොතරැයි කුටියක් දැක දයාසිරි එතැන නැවතුනේය. ”මොනවාද අද අදින්නේ ? ” දයාසිරි ඇසීය. ලොතරැයිකරු විසින් ලෑල්ලේ තිබූ ලොතරැුයි ගණනාවකම නම් කීවේය. ”කීයද අද ජය මල්ල ?” දයාසිරි යළි ඇසීය. ”මේකට කෝටි දහයයි සර්.” ලෑල්ලේ තිබූ ලොතරැයියක් පෙන්වමින් ලොතරැයිකරු කීය. එම ලොතරැයියෙන් ටිකට්පත් කිහිපයක් කැඩූ දයාසිරි ඒවා තමා සමග ව්‍යායාම කරන්නට පැමිණ සිටි පළාත් ඇමැතිවරු අතරේ බෙදාදුන්නේය. ”ආ මෙන්න මේවා මගේ ගාණේ. වැටුණොත් සෙල්ලම් නෑ. කෝටි දහයක්. හැබැයි පුතෝ එය එකක් හරි ඇදුණොත් මටත් කොටසක් ඕනෑ. ” දයාසිරි සිනාසෙමින් පැවසීය. දයාසිරිගෙන් ලැබුණු ලොතරැයිපත පරිස්සමින් කලිසම් සාක්කුවල රුවා ගත් පළාත් ඇමැතිවරු පිරිස යළිත් ව්‍යායාමයට එක් වූහ.
සමුඵව අවසන්වීමෙන් පසුව ඊට සහභාගි වූ ඇමැතිවරුන් වෙත තිළිණ ප‍්‍රදානය කළේ සමුඵවේ සත්කාරකත්වය දැරූ සබරගමු පළාත් සභාවේ ක‍්‍රීඩා ඇමැති අතුල කුමාර රාහුබද්ධ විසිනි. අතුල විසින් සෙසු ඇමැතිවරුන් වෙත තිළිණයක් ලෙස බෙදා දෙනු ලැබුවේ සබරගමුවේ ඉතිහාසය ගැන ලියැවුණු කෘතියක් , හකුරු මුලක් සහ පැණි බෝතලයකි. ඇමැති සන්ධ්‍ය අතුල අතින් ත්‍යාග ලබාගනිද්දී ” මේවා ගමේ බඩු නේද ? ” යැයි සිනාසෙමින් ඇසීය. සන්ධ්‍යට උත්තර දුන්නේ අතුල නොව ඇමැති දයාසිරිය. ”ගමේ බඩුද කියලා අහන්නේ ? ඕවා රා නෙවෙයි පැණි. ” දයාසිරි සිනාසෙමින් පැවසීය. ” ඕවා සබරගමුවේ ඔර්ජිනල්ම බඩු. ” අතුල රාහුබද්ධ සන්ධ්‍යට සහතික විය. ”හරි . හරි, මේ සමුඵව වයඹ පළාතේ කරන්න වෙන දවසකුත් එනවානේ . එදාට මට ඔයාලට දෙන්න වෙන්නේ පොල් ගෙඩියක්. ඇයි ඉතිං අපිට තියෙන ඔර්ජිනල්ම බඩු පොල්නේ. ” යැයි ඇමැති සන්ධ්‍ය කියනවාත් සමගම දයාසිරි යළි කට ඇරියේය. ” ඒ පොල්ගෙඩියත් නිකම්ම දෙන්න එපා සන්ධ්‍ය. ඒකේ ඔයාගේ මූණත් කොටලාම දෙන්න.” දයාසිරි තවත් වතාවක් සන්ධ්‍යට කැපිල්ල දැම්මේ සෙසු ක‍්‍රීඩා ඇමැතිවරු සිනාසයුරේ ගිල්වමිනි.

මහජන පක්ෂයේ කැරැල්ලක් !

තමන්ට එරෙහිව නැගී ආ කැරැල්ලක් යාන්තමින් මැඩපවත්වාගන්නට ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ මහ ලේකම් , වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක නවරත්නට පසුගිය සතියේදී වාසනාව උදාවිය. කැරැල්ල නැගුණේ ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ නව වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වුණු පසුගිය ඉරිදාය. සම්මේලනය පැවැත්වුණේ ඇහැලියගොඩදීය. නියෝජිත සම්මේලනයෙන් නිමාවීමෙන් පසුව පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය තෝරාගැනීම වෙනුවෙන් නිලවරණය අවස්ථාව උදාවිය. එහිදී මහලේකම් තනතුර සදහා දැනට එම තනතුර හොබවමින් සිටින අසංකගේ නමම පළමුව යෝජනා කෙරුණු අතර අන් කවරදාකවක් නොවූ පරිද්දෙන් අසංකට අභියෝගයක් එල්ල කරමින් තවත් නමක් මහලේකම්කම සදහා යෝජනා කෙරිණි. ඒ හිටපු ඇමැති ශාන්ත පේ‍්‍රමරත්නගේ නමය. නිලවරණය එසැණින් රත් වී ගියේ මහජන පක්ෂ ඉතිහාසයේ කෙදිනකවත් නොවූ පරිද්දෙන් පාර්ශ්ව දෙකක් නිලතලවලට ඉදිරිපත් වී සිටීම නිසාය. අවසානයේදී පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජිකයින්ගෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එහිදී අසංක ජයග‍්‍රහණය කළේ ශාන්ත පේ‍්‍රමරත්නට වඩා තුන් ගුණයකටත් වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබාගනිමිනි. අනතුරුව පක්ෂයේ සභාපතිකමට අංසකලාගේ පැත්තෙන් සබරගමුව පළාත් සභා මන්ත‍්‍රී ජී. එම්. කරුණාපාල යෝජනා වෙද්දී අනෙක් පැත්තෙන් යෝජනා කෙරුණේ සිනමා අධ්‍යක්ෂවරයකු වන පද්මසිරි කොඩිකාරය. එහිදීත් මධ්‍යම කාරක සභිකයින්ගේ වැඩි ඡන්දයෙන් ජී. එම්. කරුණාපාල ජයගැනීමත් සමග අසංකලාගේ පාර්ශ්වය යළිත් වතාවත් ජය ලැබීය. අනතුරුව මහජන පක්ෂය විසින් පසුගිය සමයේ ක‍්‍රියා කළ ආකාරය පද්මසිරි කොඩිකාර සහ ශාන්ත පේ‍්‍රමරත්න ඇතුඵ කැරළිකාර කණ්ඩායම විසින් දැඩි ලෙස විවේචනය කරන්නට වූහ. මහජන පක්ෂය හිටපු ජනපති මහින්ද සමග එක්ව කටයුතු කිරීම මේ පිරිසගේ දැඩි විවේචනය ලක් වූ අතර පක්ෂයේ නිර්මාතෘ විජයගේ ප‍්‍රතිපත්ති කිසිවක් මහින්ද ළග නැති බවත් විජය ප‍්‍රතිපත්ති ඇත්තේ මෛත‍්‍රී ළග බවත් ඔවුන්ගේ විවේචනවලින් කියැවිණි. අසංකලාගේ පාර්ශ්වයද එම චෝදනාවලට පිළිතුරු දුන් අතර කැරැල්ල අවසන් වූයේ පද්මසිරි කොඩිකාර සහ ශාන්ත පේ‍්‍රමරත්න ඇතුඵ පිරිස මහජන පක්ෂයට සදහටම ආයුබෝවන් කියා ශාලාවෙන් පිටවී යාමත් සමගය.

අනුරට හෙට්ටිපොළයි, මොරගනේයි මාරු වෙයි.

පසුගිය මාස කිහිපය පුරාම වැඩි කතාබහකට ලක් නොවූ මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ගැන පසුගිය සතියේදී අවස්ථා දෙකකදී මතකය අඵත් විය. ජොන්ස්ටන් පිළිබදව මුල්වරට මතකය අඵත් කළේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසිනි. ඒ පසුගිය බදදා පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේදී කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් අනුර විසින් කළ ප‍්‍රකාශයකදීය. ඇවැන්ගාඞ් සිද්ධිය ගැන පැයකට ආසන්න කාලයක් පුරා කෙරුණු සිය කතාවෙහි විනාඩි කිහිපයක් කුරුණෑගලටද වෙන් කළ අනුර නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගෙන් මුදල් චංචා කළ බවට චෝදනා එල්ල වී ඇති ඞී. කේ. උදයසිරිට අයත් හෙට්ටිපොළ ප‍්‍රදේශයේ පිහිටි සුවිසල් නිවසක් පසුගිය රජය සමයේදී සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මිලදී ගෙන ඇති අනාවරණය කළේය. ”සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතාව. ඒකේ සල්ලිවලින් ගෙවල් ගන්නවා. හෙට්ටිපොළ පැත්තේ ඉන්නවා අර හොර බොරු ව්‍යාපාර පවත්වාගෙන ගියපු සක්විති වර්ගයේ මිනිහෙක්. මිනිස්සුන්ට සල්ලි දෙන්න බැරුව ඒ හාදයා කඩාවැටුණා. උදයසිරි. අවමංගල උදයසිරි. මංගල උදයසිරි. කඩාවැටුණා. කඩාවැටුණාට පස්සේ මොකද කරන්නේ ? හෙට්ටිපොළ තියෙන එයාගේ ගේ ගන්නවා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට. නාවින්න ඇමැතිතුමා මෙයාව දන්නවා. අර මංගල සේවාවක් එහෙම පවත්වාගෙන ගිය උදයසිරි. කිරිබත්ගොඩත් ශාඛාවක් තිබුණා. කුරුණෑගලත් තිබුණා. උදයසිරි බංකොළොත් වුණා. මිනිස්සුන්ට සල්ලි දෙන්න බැරුව ගියා. ඊට පස්සේ නඩු ගියා. උසාවියේ හිර වුණා. මිනිහා ගෙයක් හදලා තිබුණා මාළිගාවක් වගේ එකක් හෙට්ටිපොළ. හෙට්ටිපොළ තිබුණු ගෙට මොකද කළේ ? ගේ මිලදී ගන්නවා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන්. හෙට්ටිපොළ ගෙයක් මොකටද සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට ? මේ විදිහට නුවර පැත්තේ ගෙවල් මිලදී ගත්තා. මහජනයාගේ ධනය කෝටි ප‍්‍රකෝටි ගණනක් මහජනයාගේ තමන්ගේ හිතවතුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වැය කළා. ” අනුර එහිදී කීය.
කෙසේ නමුත් මෙම හෙළිදරව් කිරීමේදී ජවිපෙ නායකයාට සුඵ අතපසුවීමක් සිදු වී තිබිණි. අනුර විසින් මාතෘකා කරගත් නිවස පිහිටා ඇත්තේ හෙට්ටිපොළ ප‍්‍රදේශයේ නොව කටුපොත – මූණමල්දෙණිය මාර්ගයේ මොරගනේ, අලංකාරය ප‍්‍රදේශයේ බව ‘අඵ යට ගිනි ’ පසුව කළ සොයාබැලීමකදී අනාවරණය කර ගත හැකි විය. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මිලදී ගත් බව කියන මෙම සුවිසල් නිවස මේ වන විට කිසිදු ප‍්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇති බවත් එහිදී වැඩිදුරටත් අනාවරණය විය.
මීට වසර කිහිපයකට පෙර මින්දද නමින් මංගල සේවා ව්‍යාපාරයක් , විදේශ අධ්‍යාපන සහ සංචාර ආයතනයක් ඇතුඵ ව්‍යාපාර ගණනාවක් පවත්වාගෙන ගිය ඞී. කේ. උදයසිරිට මූල්‍ය චංචා චෝදනා එල්ලවීමත් සමග ඔහුගේ ව්‍යාපාරයන්ද කඩාවැටීමට ලක් විය. සිය ව්‍යාපාර බංකොළොත් තත්වයට පත්වීමෙන් පසුව සමාජය ඉදිරියේ වැඩිපුර පෙනී නොසිටි ඞී. කේ. උදයසිරි කලකට පසුව පසුගිය වයඹ පළාත් සභා මැතිවරණය සමයේ යළිත් කළ එළි බැස සිටියේය. එම මැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුණු ජොහාන් ප‍්‍රනාන්දු මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මුල්පෙළ ක‍්‍රියාකාරිකයෙකු ලෙස ඞී. කේ. උදයසිරි එකල ප‍්‍රසිද්ධියේ පෙනී සිටි අයුරු දැක ගත හැකි විය. ජොහාන් ප‍්‍රනාන්දු මහතාගේ මැතිවරණ වේදිකාවේ ප‍්‍රධාන පෙළේ කථිකයෙකුද වූ උදයසිරි ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ වැඩිබරක් කරට ගෙන ක‍්‍රියා කළ ආකාරයක් එම දිනවලදී දැක ගත හැකි විය.

ජොනී උසාවි එයි.

මන්ත‍්‍රී ජොන්ස්ටන් පිළිබදව දෙවැනි වරටත් කුරුණෑගල ජනතාවගේ මතකය අවදි වී වූයේ පසුගිය සදුදා දිනයේදී ජොන්ස්ටන් කුරුණෑගල අධිකරණ සංකීර්ණය පැත්තේ දකින්නට තැබීම නිසාය. ජොන්ස්ටන්ට එදින උසාවි එන්නට සිදු වී තිබුණේ ලංකා සතොස ආයතනයට අයත් ශාඛා තුනකින් රුපියල් පනස් දෙලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ආහාර ද්‍රව්‍ය ණය පදනම මත ලබාගෙන මුදල් ගෙවීම පැහැර හැරීමෙන් මූල්‍ය වංචාවක් කළ බවට මන්ත‍්‍රී ජොන්ස්ටන් ඇතුඵ තිදෙනෙකුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව එදින විභාගයට ගනු ලැබීම නිසාය. මෙම නඩුව විභාගයට ගත් මුල් දිනවල ජොන්ස්ටන් සමග උසාවි එන්නට සිය ගණනක පිරිසක් පැමිණි නමුත් එදින ජොන්ස්ටන්ගේ තනි නොතනියට අධිකරණයට පැමිණ සිටියේ ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යූ. කේ. සුමිත් සහ නාගරික මන්ත‍්‍රී තුෂාර සංජීව ඇතුඵ කිහිපදෙනෙකු පමණකි. නඩු විභාගයේදී නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබෙන තෙක් යම් කාලයක් ලබා දෙන ලෙසට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය කළ ඉල්ලීම පිළිගත් කුරුණෑගල අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මෙම නඩුව 2016 මාර්තු 28 වැනිදා දක්වා කල් තැබීය. නඩුව අවසන් කළ ජොන්ස්ටන් උසාවියෙන් එළියට ආවේ සුපුරුදු සිනා මුහුණින් යුතුවමය. ගේට්ටුව ළග කැමරා ආම්පන්න සහිතව රැස් වී සිටි මාධ්‍යවේදීන් විසින් ළගට ආ ජොන්ස්ටන් ”කියන්න තරම් දෙයක් නෑ. නඩුව කල් ගියා . එච්චරයි” යැයි කියමින් මාධ්‍යවේදීන්ටද සිනහවකින් සංග‍්‍රහ කර වාහනයට නැංගේය.

ධර්මසිරිගේ වැඩ ගැන අලවතුවල පරලවෙයි.

පසුගිය බ‍්‍රහස්පතින්දා ‘අඵ යට ගිනි’ පිටුව කියවා නිම කළපාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවලට යකා නැංගේය. ඒ අලවතුවල විසින් පළාත් සභාවට ඉදිරිපත් කළ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී ඉවත්කරන බවට මහඇමැති ධර්මසිරි විසින් පළාත් සභාවේදී කළ ප‍්‍රකාශයක් පිළිබදව ‘අඵ යට ගිනි’ පිටුවේ සදහන් වී තිබූ හෙළිදරව්වක් හේතුවෙනි. එසැණින් සිය ලේකම් ගාමිණී සෝමසිරිව කැදවා ගත් අදාළ සිදුවීම පිළිබදව සාකච්ඡා කළේය. පැවසීය. ”මොනවද මේ ධර්මසිරි කරන්න යන්නේ ? එයා මගේ යෝජනාව උපදේශක කාරක සභාවේදී අයින් කරනවාලූ. එයා කොහොමද ඒක අයින් කරන්නේ. එයාට ඒ යෝජනාව ගැන කිසිම අයිතියක් නෑ. ඒ යෝජනාව අයිති වෙන්නේ අධයාපන ඇමැතිට. ධර්මසිරි දැන් අධ්‍යාපන ඇමැති නෙවේනේ. ඒක නිසා මේ දැන්ම ධර්මසිරිට ලියුමක් ගහන්න මගේ යෝජනාව න්‍යාය පත‍්‍රයෙන් අයින් කරන්න එපා කියලා. එයාට ඒකට අයිතියක් නැති බවත්, අනුන්ගේ අමාත්‍යංශවලට ඇ`ගිලි ගහන එක ගැලපෙන්නේ නෑ කියලත් ඒකේ ගහන්න. ”අලවතුවල ගාමිණීට කීය. ඒ අනුව ධර්මසිරි ආමන්ත‍්‍රණය කරමින් ලූණු ඇඹුල් යොදා සකස්කෙරුණු ලිපියක් අලවතුවල විසින් අත්සන් තැබීමෙන් අනුව පළාත් සභාව වෙත යවනු ලැබුවේ පෙරේදාය.

මහින්ද තිත තැබූ මන්ත‍්‍රී රට සවාරිවලට යහපාලනයෙන් පණ ලැබෙයි.

මේ දිනවල වයඹ පළාත් සභා කාර්යාලය තුළ දකින්නට ලැබෙන්නේ සභා කාර්යාලයක මුහුණුවරකට වඩා ආගමන විගමන කාර්යාලයක හැඩ රුවකි. සභා කාර්යාලයේ එක් තැනක පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ ගුවන් ගමන් බලපත‍්‍ර ගොඩකි. තවත් තැනක ගුවන් ටිකට්පත් සහ වීසා ලබාගැනීම පිළිබද කටයුත්තකි. තවත් තැනක විදේශ සංචාරයේ යෙදෙන කණ්ඩායම් වෙන් කිරීමේ කටයුත්තකි. වසරේ අන්තිම දින ටික පෙනි පෙනී තිබියදී සභා කාර්යාලය මෙලෙස ආගමන විගමන කාර්යාලයක හැඩරුවකට පෙරළෙන්නට හේතු වී තිබුණේ වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් විසින් හොර රහසේම සැලසුම් කරගෙන ඇති විදේශ සංචාරයක් හේතුවෙනි. සුපුරුදු පරිදිම තායිලන්තය, චීනය හා පිලිපීනය වෙත කෙරෙන බව කියන මෙම සංචාරයට පළාත් සභාව තුළ ගහ මරාගන්නා පක්ෂ විපක්ෂ සියඵ මන්ත‍්‍රීවරුන් සමගි සමාදානයෙන් යුතුව එකතු වී සිටින බව කියැවේ. මන්ත‍්‍රීවරුන් කණ්ඩායම් තුනක් වශයෙන් යෙදෙන බව කියැවෙන මෙම විදේශ සංචාරයෙහි පළමු මන්ත‍්‍රී කණ්ඩායම ලබන 18 වැනිදා දිවයිනෙන් පිටත් වී යාමට නියමිතය. හැමදාම සිදුවන පරිද්දෙන්ම මෙම සංචාරය ප‍්‍රතික්ෂේප කළ එකම මන්ත‍්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්නය.
වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් විසින් පසුගිය රජය සමයේදීත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැයකරමින් විදේශ සංචාරයක් සැලසුම් කළ අතර ඒ පිළිබදව මාධ්‍ය විසින් කළ අනාවරණයකට අනුව එවකට ජනපති මහින්ද රාජපක්ෂ විසින් අදාළ සංචාරය අවලංගු කරවීමට එවකට ආණ්ඩුකාර ධූරය දැරූ තිස්ස බලල්ල හරහා කටයුතු කළේය. එතැනින් නොනැවතුණු මහින්ද පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට මහජන මුදල් වැයකරමින් විදේශ සංචාරවල යෙදීම තහනම් කරවමින් පළාත් සභාවල ප‍්‍රධාන ලේකම්වරුන් වෙත චක‍්‍රලේඛයක්ද නිකුත් කළේය. මහින්දගේ එළවා දමා පිහිටුවා ගත් අලූත් ආණ්ඩුවේ පිහිටෙන්දෝ මහින්ද විසින් එතෙක් පනවා තිබූ තහංචි ඉවත්කරගෙන යළිත් වතාවක් රට සවාරිවල යෙදීම සදහා මන්ත‍්‍රීවරුන් වෙත දැන් වරම් ලැබී තිබේ. එය සිදුවන්නේද යහපාලනය යැයි කියාගන්නා පාලන ක‍්‍රමයක් මධ්‍යම රජය තුළ මෙන්ම වයඹ පළාත් සභාව තුළත් ක‍්‍රියාත්මක වෙමින් තිබෙනවා යැයි කියන පසුබිමකවීම විශේෂත්වයකි.alu_yata_gini_nov11A

උපුටාගැනීම – මව්බිම පුවත්පත, නොවැම්බර් 12 වැනි බ‍්‍රහස්පතින්දා 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article