Saturday, May 4, 2024

පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ

Must read

නව තාක්ෂණය යොදාගනිමින් අපනයනය ඉළක්ක කර ගත් නව වගාවන් කෙරෙහි ගොවි ජනතාව හුරු කරවීම සඳහා රජය විසින් ආරම්භ කර ඇති වැඩ පිළිවෙළ යටතේ මෙම ස්ට්‍රොබෙරි ආදර්ශ වගා ගම්මානය ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත‍.

මෙම වැඩ පිළිවෙළ යටතේ නුවරඑළියේ ගොවීන් 40 දෙනෙක් තෝරා ගෙන ඇති අතර එම ගොවීන්ට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන, වගාවට අවශ්‍ය ස්ට්‍රොබෙරි පැළ මෙන්ම වගාව සඳහා අවශ්‍ය නව තාක්ෂණය සහ ජලසම්පාදන කටයුතු  ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින්  සැපයීමට කටයුතු යොදා තිබේ.

විශේෂයෙන් මෙම වගාව සඳහා  එක් ගොවියෙකුට රුපියල් ලක්ෂ 13ක පමණ මුදලක් වැය වන අතර ඉන්  රුපියල් 750,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නැවත අය කර ගැනීමකින් තොරව ලබා දීමට කටයුතු යොදා තිබේ.  ඉතිරි ලක්ෂ 06ක මුදල අදාල වගාවෙහි නියුතු ගොවීන් විසින් දරනු ලබයි.

මේ යටතේ මෙම ගොවීන් 40 දෙනාට ස්ට්‍රොබෙරි වගා කිරීම සඳහා රුපියල් මිලියන 30ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සපයනු ලබයි.

නුවරඑළියේ ආරක්ෂිත ගෘහ තුළ මෙම ස්ට්‍රොබෙරි වගාව සිදු කරන අතර ආරක්ෂිත ගෘහ 40ක් මේ වනවිට සකස් කර ඇත. මෙම ආරක්ෂිත ගෘහ සියල්ලම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව (Automated)  දුරස්ථ පාලන යෙදවුමක් මගින් ක්‍රියාත්මක කළ හැකිය.

මෙම වගාව සඳහා අවශ්‍ය ස්ට්‍රොබෙරි පැළ මෙම මස අවසන් වීමට ප්‍රථම මෙරටට ආනයනය කිරීමට කටයුතු යොදා ඇති අතර එක් ආරක්ෂිත ගෘහයක් තුළ දළ වශයෙන් ස්ට්‍රොබෙරි  පැළ 300ට වැඩි ප්‍රමාණයක් වගා කරනු ලබයි.

මෙම ස්ට්‍රොබෙරි වගාව දේශීය වශයෙන් මෙන්ම අපනයනය ද ඉළක්ක කරමින් වගා කිරීමට නියමිත අතර ගොවීන්ගෙන් අස්වැන්න මිල දී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් සංවිධානය කර ඇති අතර එම පැළ මෙරටට ලැබුනු විගස වගාව ආරම්භ කිරීමට පියවර ගන්නා බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම්. ඒ. එල් අබේරත්න මහතා පැවසුවේය.

මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්මාන්තයට තරුණ ප්‍රජාව ආකර්ශණය කර ගැනීමේ අරමුණින් ආරම්භ කළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ පිළිවෙළ යටතේ මෙම පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය ආරම්භ කරන බවත්, විශේෂයෙන් නව තාක්ෂණය යොදා ගනිමින් ඉහළ අස්වැන්නක් හා ආදායමක් උපයා ගැනීමට මෙන්ම රටට අවශ්‍ය ඩොලර් ඉපයීමත් මෙම වැඩ පිළිවෙළේ අරමුණ විය යුතු බව ද සදහන් කළේය.

උපුටා ගැනීම – news.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article