Sunday, May 19, 2024

ආපසු ගමනකට සාලින්දගෙන් ටී. බී. ට ඇරැයුමක් !

Must read

alu_yata_ gini_march_17

වයඹ විපක්ෂය ධීවරයින්ට සැලකූ හැටි මෙන්න !

වයඹ පළාත් සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ගෙන් ජවිපෙ මන්ත‍්‍රීවරයා හැර සෙසු සියලු මන්ත‍්‍රීවරුන් තමන්ගේ සුගතිය පමණක් ප‍්‍රාර්ථනා කරන , තමන් පත් කර එවූ ජනතාව පිළිබදව හෝ ඔවුන්ගේ ගැටලු පිළිබදව අල්පමාත‍්‍ර තැකීමක් නැති පිරිසක් බවත් , යහපාලනයේ නාමයෙන් ආණ්ඩු පක්ෂය සමග එක මල්ලේ ලූණු කමින් ඉන්නා පිරිසක් බවත් ‘අඵ යට ගිනි ’ පිටුව ඔස්සේ මීට ඉහත අවස්ථා ගණනාවකදී හෙළිදරව් කර තිබේ. ‘අඵ යට ගිනි ’විසින් කළ එම අනාවරණයන් යළිත් වරක් සැබෑකරවමින් පසුගිය අගහරුවාදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදීත් වයඹ විපක්ෂයේ හෙලුව සභා ගර්භය හමුවේ යළිත් වතාවක් අපූරුවට ප‍්‍රදර්ශණය විය. ඒ එදින පැවැති වයඹ පළාත් සභා රැස්වීමට පළාත් සභාවේ විපක්ෂය නියෝජනය කරන එකම එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයෙකු හෝ සහභාගී වී නොසිටි හෙයිනි. බැලූ බැල්මටම එදින විපක්ෂය පැත්තෙන් දැකගත හැකි වූයේ හිස් අසුන් ගොඩක් පමණක් වූ අතර විපක්ෂයේ ජාම යන්තමින් හෝ බේරුණේ එදින පැවැති පළාත් සභා රැස්වීමට සහභාගී වී සිටි ජවිපෙ මන්ත‍්‍රී නාමල් කරුණාරත්න හේතුවෙනි. සභා රැස්වීම ආරම්භයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රී ජෝඩුවත් රැස්වීමට සහභාගී වී සිටි නමුත් පළාත් සභාවෙන් ලැබෙන තේ එක බීමෙන් පසුව ඒ ජෝඩුවත් සභා රැස්වීමෙන් මාරු වී ගොස් තිබිණි. විපක්ෂ නායක ශමල් සෙනරත් විසින් සභාපති ටිකිරි බණ්ඩා වෙත සදුදා දිනයේ යවන ලද ලිපියකින් තමා ඇතුලූ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් 12 දෙනා අගහරුවාදා දිනයේදී ‘අත්‍යවශ්‍ය’කටයුත්තක් සදහා සහභාගී වන බැවින් ඔවුන්ට පළාත් සභා රැස්වීමට සහභාගීවීමට බැරි බවත්, ඔවුන් වෙනුවෙන් නිවාඩු අනුමත කර දෙන ලෙසටත් ඉල්ලා තිබිණි. මසකට දෙවරක් පමණක් පැවැත්වෙන පළාත් සභා රැස්වීම වර්ජනය කර සහභාගීවීමට තරම් වැදගත් වූ මෙන්ම වයඹ ජනතාවගේ ජීවන අංගයන් බවට පත් වී ඇති වල් අලි ගැටලූව, ජල ගැටලූව, ගුරු හිගය සහ ධීවර ගැටලූ වැනි කප්පරක් ගැටලූවලටත් එහා ගිය විපක්ෂයේ මේ අත්‍යාවශය කටයුත්ත කුමක්ද යන්න තවමත් අනාවරණය වී නැත. එමෙන්ම තුනෙන් දෙකක බලයක් සහිත සවිමත් ආණ්ඩු පක්ෂයක් වයඹ පළාත් සභාව සතුව පවතින බව දැන දැනම ආණ්ඩු පක්ෂයට ඕනෑම දෙයක් කරගත හැකි ‘නිදහස් ’දිනයක් බන්දේසිය තබා පිළිගන්වා විපක්ෂයේ සියලූ මන්ත‍්‍රීවරුන්ට සහභාගිවන්නට තිබූ අත්‍යාවශය කටයුත්ත කුමක්ද යන්නත් අනිවාර්යයෙන්ම සොයාබැලිය යුතු වෙයි. යටත් පිරිසෙයින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන එක් මන්ත‍්‍රීවරයෙකු හෝ එදින පැවැති පළාත් සභා රැස්වීමට සහභාගීකරවීමේ සදාචාරයක් හෝ වගකීමක් විපක්ෂ නායක ශමල් ඇතුලූ එජාප නඩයට නොතිබුණේදැයි වයඹ ජනතාව දැන් දැන් ප‍්‍රශ්න කරති. කොයි හැටි වෙතත් අන්තිමට සිදු වූයේ විපක්ෂ මන්ත‍්‍රීවරුන් කර තිබුණේ වයඹ ජනතාව වෙනුවෙන් හඩක් නැගිය යුතු සහ නැගිය හැකි මාසයේ එකම දිනයත් බල්ලට දමා තම තමන්ගේ ඕනෑ එපාකම් පිරිමසාගැනීම පමණකි.

එමෙන්ම සම්මුතිවාදයේ සීතාම්බර සලූවට මුවා වී ආණ්ඩු පක්ෂය විසින් ගෙන එන ඕනෑම කුණු ගොඩකට අත එසවීමට දත කට මැදගෙන ඉන්නා වයඹ විපක්ෂය විසින් එදින මග හැර ගොස් තිබුණේ වයඹ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්නයක් වෙනුවෙන් හඩ නැගිය යුතුව තිබූ අත්‍යාවශ්‍යම අවස්ථාවකි. විවාද කිරීමෙන් පසුව අනුමැතිය ලබාගැනීම පිණිස මධ්‍යම රජයෙන් වයඹ පළාත් සභාව වෙත එවා තිබූ ලයිලා, සුරුක්කු දැල් තහනම් කිරීම සහ ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීම පිළිබදව දැඩි නීති රීති පැනවීමට අදාල යෝජනාවක් එදින පළාත් සභා රැස්වීමේ න්‍යාය පත‍්‍රයට ඇතුලත් වී තිබිණි. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් වගේ වගක් නැති නමුත් ලයිලා, සුරුක්කු වැනි තහනම් දැල් වලින් සාගර සම්පතට සිදුවන හානියෙන් මෙන්ම ඉන්දීය ධීවරයින්ගේ බලහත්කාරී කඩාවැදීම්වලින්ද පුත්තලම් දිස්ත‍්‍රික් මුහුදු තීරය ආශ‍්‍රිතව සිය ජීවිකාව ගෙනයන වයඹ ධීවරයින් බැටකමින් සිටින්නේ වසර ගණනාවක සිටය. වයඹ ධීවරයින් මුහුණ දෙන ගැටලූ පිළිබදව ලැයිස්තුවක් සකස් කළහොත් එහි මුලටම එන්නේ මෙකී ගැටලු දෙක බව සහතිකය. පීඩාවට පත් වයඹ ඇතුලූ සමස්ත ලාංකික ධීවරයින්ට තරමක හෝ සහනයක් සැලැසීම පිණිස මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත මෙම නව නීති රීති මාලාව , උතුරු පළාත් සභාව ඇතුලූ පළාත් සභාවන් කිහිපයක පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් දීර්ඝ ලෙස විවාද කිරීමෙන් අනතුරුව මේ වන විට සම්මත කරනු ලැබ තිබේ. නමුත් කණගාටුවට කරුණ නම් තමන් ධීවරයින්ගේ ගැලවුම්කරුවා බවටත්, ඔවුන් වෙනුවෙන් පළාත් සභාව තුළ හඩක් නගන බවටත් ඉකුත් මැතිවරණ සමයේදී ධීවර ගම්මානවලට ගොස් තොරොම්බල් පෙන්නූ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් එකෙකු හෝ එදින වයඹ පළාත් සභාවේ රැදී නොසිටීමය. සරලවම කිවහොත් වයඹ පළාතේ ධීවරයින් මුහුණ දෙන ප‍්‍රමුඛතම ගැටලූව වන තහනම් දැල් සහ බලහත්කාරී ඉන්දීයානු ධීවර කඩාවැදීම්වලට එරෙහිව නීති රීති පැනවීම පිළිබදව වයඹ පළාත් සභාව හමුවේ විවාද වන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වෙනුවෙන් වචනයක් හෝ කතාකරන්නට කිසිම මන්ත‍්‍රීවරයෙකු සභාවේ නොසිටියේය. එම යෝජනාව වෙනුවෙන් විපක්ෂයෙන් අදහස් දැක් වූ සහ ඒ වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළ එකම මන්ත‍්‍රීවරයා වූයේ ජවිපෙ මන්ත‍්‍රී නාමල් කරුණාරත්න බපමණි. විවාදය අවසානයේදී අදාළ යෝජනාව යන්තමින් සම්මත වන්නේ ඒ වන විට වයඹ සභාගර්භයෙහි සිටි මන්ත‍්‍රීවරුන් 16 දෙනෙකුගේ ඒකමතික ඡන්දයේ පිහිටෙනි. ධීවර ඡන්දයේ පිහිටෙන් පළාත් සභාවට තේරී පත් වූ මන්ත‍්‍රීවරුන් ගණනාවක් වයඹ පළාත් සභාවේ විපක්ෂය පැත්තේ අසුන්ගෙන සිටින නමුත් ධීවරයින් වෙනුවෙන් ඉදිරිපත් වී තිබූ වැදගත් යෝජනාවකදී විපක්ෂයෙන් ( නාමල් කරුණාරත්න හැර ) වචනයක් හෝ නොකියැවුණු හෑන්සාඞ් වාර්තාවක් ලබන සතියේ එළි දකිනු ඇත. මේ සිදුවීම හරහා විපක්ෂය නියෝජනය කරන එජාප සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ මන්ත‍්‍රීවරුන් වයඹ පළාතේ ධීවරයින්ගේ පිටට පිහියෙන් ඇණ ඇති බැවින් ඔවුන්ට තවදුරටත් ධීවරයින්ගේ නියෝජිතයින් ලෙස පෙනී සිටීමේ සදාචාරාත්මක අයිතියක් නැති බවද දැන් දැන් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් එළිපිටම කියමින් සිටිති. කරන්නට හැකි උපරිම ද්‍රෝහීකමත් සිදුකිරීමෙන් අනතුරුව මැරී ඉපදුණු වෙස් ගත් වයඹ විපක්ෂයේ මැතිදුන් ධීවර ගම්මාන වෙත ඡන්ද හිගමනේ වැඩිය ඉදිරි කලෙකදී අතට ගත යුත්තේ කුමක්දැයි තීරණය කිරීම වයඹ ධීවර ජනතාවට භාරය.

කතාව අහන්න කෙනෙක් නැතිව ගුණසේකර වැළපෙයි.

මාධ්‍යවේදීන්ට අපහාස උපහාස කර දොට්ට දමමින් සභාපති ටිකිරි බණ්ඩා විසින් ගෙන යනු ලබන මාධ්‍ය පීඩාකාරී පිළිවෙතට ප‍්‍රශස්ති ගැසීමේ සහ සුදු හුණු ගෑමේ රාජකාරිය ස්වෙච්ඡාවෙන්ම භාරගෙන සිටින මන්ත‍්‍රී රංජිත් ගුණසේකර පසුගිය අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමේදීත් යළිත් වතාවක් කට ඇරියේය. ඒ තමන් ගැන යම් පුවත්පතක පළ වී ඇති වාර්තාවක් ගැන කියමිනි. මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික ප‍්‍රකාශ අවස්ථාවේදී සුපුරුදු පරිදිම මාධ්‍යට එරෙහිව අවලාද වැලක් මුදා හළ ගුණසේකර එම වාර්තාවේ ලියැ වී තිබූ දෑ විවේචනය කරන්නට විය. සුපුරුදු ලෙසම ගුණසේකරගේ කතාවේ තිබූ නීරස බව මෙනස්ම අරුත්සුන් බව හේතුවෙන්දෝ එදින පළාත් සභා රැස්වීමට සහභාගී වී සිටි ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් කිසිවෙකුත් ඊට සවන් දෙන බවක් නොපෙණිනි. මහ ඇමැති ධර්මසිරි ඇමැති දෙහිගම සමග කතාවකට වැටී සිටි අතර ඇමැති සන්ධ්‍යද ආණ්ඩු පක්ෂයේ පසුපෙළ වෙත ගොස් මන්ත‍්‍රිවරු පිරිසක් සමග සාකච්ඡාවක යෙදී සිටි බවක් පෙණිනි. කතාව කරගෙන යන අතරතුර වට පිට බැලූ ගුණසේකරට පෙණුනේ තමන්ගේ කතාවට සවන් දෙන එක් අයෙක් හෝ සභාවේ නැති බවකි. ඒ නිසාම තම කතාව නැවැතූ ගුණසේකර ඊළගට කතාකළේ මහ ඇමැති ධර්මසිරිටය. ‘‘මහ ඇමැතිතුමා. මම මේ වැදගත් කතාවක් කරන්නේ. මේක ටිකක් අහගෙන ඉන්නකෝ ’’ගුණසේකර කීය. එතැනින් නොනැවතුණු ගුණසේකර සභාපති ටිකිරි බණ්ඩාට කීවේ ‘‘සභාපතිතුමනි. මන්ත‍්‍රීවරුන්ගේ අවධානය මගේ කතාවට යොමුකරවන්න කියලා ඉල්ලා සිටිනවා. ’’යැයි කියමින් ගුණසේකර නාහෙන් අඩන්නට විය. ගුණසේකරගේ ඉල්ලීම පිළිගත් සභාපති ටිකිරි බණ්ඩා ගුණසේකරගේ කතාවට සවන්දෙන ලෙස මන්ත‍්‍රීවරුන්ට නියෝග කළේය. සභාපති ටිකිරි බණ්ඩාගේ නියෝගයත් සමග ඊට අවනත වූ මන්ත‍්‍රීවරුන් සිය අසුන්වල වාඩි වූ නමුත් ජංගම දුරකථන ඔබමින් සිටියා විනා මන්ත‍්‍රීවරුන් ගුණසේකරගේ නීරස කතාවට සවන් දුන් බවක් නොපෙණිනි.

ආපසු ගමනකට සාලින්දගෙන් ටී. බී.ට ඇරයුමක් !

කුරුණෑගල නගරයේ ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම මහින්ද රාජපක්ෂ පිලේ මුල් පෙළ ආධාරකරුවෙකුද වන ඩයස් රත්නායකගේ දියණියගේ විවාහ මංගල උත්සවයද පසුගිය සිකුරාදා රාත‍්‍රියේදී පැවැත්වුණේ කොළඹ පිහිටි ප‍්‍රධාන පෙළේ හෝටලයකදීය. මගුල් ගෙදරක අසිරියටත් වඩා එහි තිබූ විශේෂත්වය වූයේ එය පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් බොහෝදෙනෙකු කලෙකට පසු එකට මුණගැසුණු අවස්ථාවක්වීම නිසාය. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, ජේ. සී. අලවතුවල, අශෝක් අබේසිංහ, ධර්මසිරි දසනායක, ලක්ෂ්මන් වේඩරුව ආදී පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ගණනාවක් මෙන්ම ව්‍යාපාරිකයින් සහ කලාකරුවන් ගණනාවක්ද ව්‍යාපාරික ඩයස්ගේ ආරාධනාව ලැබ විවාහ මංගල්‍යය සදහා පැමිණ සිටියහ. පැය කිහිපයක් විවාහ උත්සවයේ ගත කළ මැති ඇමැතිවරුන් සියලූදෙනාම හෝටලයෙන් පිට වී ගිය නමුත් අන්තිමේදී එහි ඉතිරි වූයේ ඇමැති ටී. බී. ඒකනායක සහ මන්ත‍්‍රී සාලින්ද දිසානායක පමණි. කලකට පෙර මහින්ද පිලේ කුරුණෑගල බල කණු දෙක ලෙස සැලකුණු නමුත් මේ වන විට තරමක් දුරස් වී සිටින දෙමිතුරන් කලෙකින් ලැබුණු අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් එක මේසයේ වාඩි වී දේශපාලනයේ ආගිය තොරතුරු කතාකරමින් සෑහෙන වේලාවක් ගත කළහ. ‘‘දැන් මේ ආණ්ඩුවේ ආයුෂ ඉවරවීගෙන යන්නේ. දැන් තමයි උඹට ආපහු එනවා නම් හොදම වෙලාව. ’’ මේසයෙන් නැගිටින්නට පෙර සාලින්ද ටී. බී. ට කීය. සාලින්දගේ ආරාධනාවට හිස සලමින් සිටියා විනා ටී. බී. ඊට උත්තර බදින්නට ගියේ නැත.

මා එළියට ජවිපෙන් කමත් සභාවක් – ආණ්ඩුවෙන් වප් මගුලක්

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධානය කළ කමත් සභාවක් පසුගිය සිකුරාදා රාත‍්‍රියේ පැවැත්වුණේ පොල්පිතිගම, මාඑළිය වෙල්යායේදීය. කමතක ස්වරූපයෙන් සකස් කර තිබුණු භූමිය මෙන්ම තවත් ආකර්ශනීය අංග රැසක් කමත් සභාවට ඇතුලත් වී තිබිණි. ගොවි යාතිකා, පැල් කවි, වීදි නාට්‍ය , ටීකා පමණක් නොව මල් පැලවල්, ගොවි පැලවල්, සාම්ප‍්‍රදායික ගොවි උපකරණ සහ දේශීය වී වර්ග ප‍්‍රදර්ශනයකින්ද කමත් සභාව හැඩගැන්වී තිබිණි. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා ලෙස මන්ත‍්‍රී නාමල් කරුණාරත්නගේ මූලිකත්වයෙන් සංවිධානය වී තිබූ කමත් සභාවට කේ. ඞී. ලාල්කාන්ත ආරාධිතයෙකු ලෙස සහභාගී විය. කමත් සභාව ආරම්භවීමත් සමග එහි රැස් වී සිටි ගොවින් විසින් නාමල් සහ ලාල්කාන්ත වෙත ගොවි ගැටලූ ඉදිරිපත් කරන්නට වූ අතර එම දෙපල ඒවාට පිළිතුරු ලබා දුන්හ. එක් අවස්ථාවකදී ගොවියෙකු ඇසූ ප‍්‍රශ්නයකට ලාල්කාන්ත පිළිතුරු ලබා දුන්නේ එහි සිටි බව කියන පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ටද කැපිල්ලක් දමමිනි. ‘‘අපි ඉතාම නුදුරු දිනයකදී ලංකාවේ ඉන්න සියලූම ගොවියෝ කොළඹට ගෙනල්ලා කොළඹට ඇතුලූවෙන ප‍්‍රධාන මාර්ග සියල්ලම එක වෙලාවකදී වහනවා. අන්න එදා දවස තමයි ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ගොවි ප‍්‍රශ්න ගැන වැඩිපුරම කතා කරපු දවස බවට පත්වෙන්නේ. දැන් මෙතැනට ඇවිල්ලා ඉන්න සීඅයිඩියේ මහත්වරු මේ ගැන හෝ ගාලා ලියනවා. මොනවද ඒ අය ලියන්නේ ? මේ කමත් සභාව කොහේද තිබුණේ ? කවුද ඒකට ඇවිල්ලා ඉන්නේ ? මිනිස්සු පවුල් පිටින්ද තනි තනියෙන්ද ඇවිත් ඉන්නේ ? ලාල්කාන්තයා මොනවද කිව්වේ? පන්සලේ හාමුදුරුවෝ ආවාද ? ඔය කියන විස්තර ඔක්කෝම සීඅයිඩියේ මහත්තුරු මේ වෙනකොට ලියනවා. එහෙම ලියලා ඒ ගොල්ලෝ මේ ගැන සම්පූර්ණ වාර්තාවක් මෛත‍්‍රීපාල සිරිසේන උන්නැහෙට යවන්න ඕනෑ. නිසා මම සීඅයිඩියේ මහත්තුරුන්ට කියන්නේ ඔය වාර්තාව ලියලා හැකි ඉක්මනට මෛත‍්‍රීපාල සිරිසේන උන්නැහෙට යවන්න කියලා. මොකද එතකොට සමහර විට අපිට විරෝධතාවයකට යන්නේ නැතිවම ප‍්‍රතිඵලයක් ලබාගන්නත් පුලූවන් ’’යැයි ලාල්කාන්ත කීවේ කමත් සභාවේ සිටි සියලූදෙනාම සිනහගන්වමිනි. එවැනි රසකතා මධ්‍යයේ ඇදී ගිය කමත් සභාවේ කටයුතු අවසන් වන විට මධ්‍යම රාත‍්‍රියද පසු වී තිබිණි. කෙසේවෙතත් ජවිපෙ විසින් කමත් සභාව සදහා යොදාගත් මා එළිය කුඹුරු යායම මේ වන විට හැඩ වැඩවෙමින් පවතින්නේ වප් මගුල් උත්සවයක් වෙනුවෙනි. හෙට දිනයේදී පැවැත්වෙන බව කියන මෙම වප් මගුලේදී මහ ගොවියාට ඇදීමට සූදානමින් සිටින්නේ ඇමැති ටී. බී. සහ මහ ඇමැති ධර්මසිරි ඇතුලූ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැති පිරිසක් බවද කියැවෙයි. කෙසේවෙතත් කමත් සභා සහ වප් මගුල් මුල්කරගනිමින් තරගයක යෙදී සිටින ආණ්ඩුව සහ ජවිපෙ පාර්ශ්ව දෙකෙන් ගොවි ගැටලූවලට සැබෑ විසදුමක් ලැබෙන්නේ කාගෙන්දැයි මා එළියේ ජනතාව දැන් දෑස් දල්වා බලා සිටිති.

හදිසි ආරාධනාවකින් මහින්ද මගුල් ගෙදර එයි.

වයඹ පළාත් සභා මන්ත‍්‍රී අංසක නවරත්නගේ සොයුරු අමිල නවරත්නගේ විවාහ මංගල්‍යය පසුගිය ඉරිදා පැවැත්වුණේ කුරුණෑගල නුවර පාරේ පිහිටි හෝටලයකදීය. පවුලේ ඥාතීන්ට පමණක් සීමා වී තිබූ මෙම විවාහ මංගල්‍යය වෙනුවෙන් දේශපාලනඥයින් ලෙස අසංකගෙන් ආරාධනා ලැබ තිබුණේ බැසිල් රාජපක්ෂ, සාලින්ද දිසානායක යුවළ සහ මහ ඇමැති ධර්මසිරි පමණි. විවාහ උත්සවයට පැමිණි මහ ඇමැති ධර්මසිරි දිවා භෝජනයට පවා නොසිට පිට වී ගියේ එදින පස්වරුවේ මහනුවරදී පැවැති අස්ගිරි මහ නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට සහභාගිවන්නට ඇති බව කියමිනි. මන්ත‍්‍රිනි මංජුලා දිසානායක සමග උත්සවයට පැමිණි සාලින්ද අසංකගෙන් ඇසුවේ ‘‘මහින්ද මහත්තයාට වෙඩින් එක කිව්වේ නැද්ද? ’’කියාය. ‘‘වැඩ වැඩියි නිසා මම කරදර කරන්න ගියේ නෑ. ඒක හොද නෑනේ’’අසංක කීය. ‘‘මහින්ද මහත්තයා දැන් නුවර ඉදන් කුරුණෑගලට එන ගමන්. පොඞ්ඩක් කතා කරලා බලන්න. ’’යැයි කී සාලින්ද සිය දුරකථනයෙන් මහින්දට ඇමැතුමක් ගෙන අසංක අතට දුන්නේය. ‘‘සර් සමාවෙන්න. වැරදියට හිතන්න එපා. මල්ලිගේ හෝම් කමින් එක තියෙනවා. සර් කුරුණෑගල හරහා යන්න එනවා කියලා ආරංචි වුණා. පුලූවන් නම් මෙතැනින් ගොඩවෙලා කෑම ටිකක් කාලා යන්න එන්න.’’අසංක මහින්දට කීය. ‘‘මම මේ මළගෙවල් කීපයක ගිහින් එන්නේ අසංක. මෙහෙම වෙඩින් එකකට එන එක හොද නෑ නේද ? ’’මහින්ද ඇසීය. ‘‘මළගෙවල් දහයක ගියත් කමක් නෑ. අපිට අපිට ඔබතුමාව වටිනවා. පුලූවන් නම් ඇවිත් යන්න එන්න සර්.’’අසංක කීය. අසංකගේ ඇමැතුමෙන් මිනිත්තු පහළොවක් ගෙවෙන්නටත් පෙර හෝටලයට පැමිණි මහින්ද මංගල උත්සවයට පා තැබීය. නව යුවළට සුබ පතමින් ඔවුන් සමග ඡායාරූප කිහිපයකටද පෙනී සිටි මහින්ද දිවා ආහාරයද ගත් සැණින් ආපසු යන්නට සැරසුණේ එදින පස්වරුවේ යෝෂිත බැලීමට බන්ධනාගාරයට යාමට ඇති බව කියමිනි. බැසිල් මගුල් ගෙදරට ආවේ මහින්ද ඉන් පිට වී යනවාත් සමගය. සාලින්ද, අසංක ඇතුලූ පිරිස සමග මෙන්ම මගුල් ගෙදරදී මුණගැසුණු පිරිස සමගද සතුටු සාමිචියේ යෙදී සිටි බැසිල් දිවා ආහාරය ගැනීමෙන් පසුව තෙලියගොන්න බලා පිටත්වූයේ කුරුණෑගල නාගරික මන්ත‍්‍රී අබ්දුල් සත්තාර් විසින් ඔහුගේ නිවසේ සංවිධානය කර තිබූ ව්‍යාපාරික හමුවකට සහභාගිවීමටය. ව්‍යාපාරිකයින් සමග පැයකට වැඩි කාලයක් සත්තාර් නිවසේ ගත කළ බැසිල් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ එහි ප‍්‍රතිකාර ලබමින් සිටින බෞද්ධාලෝක පරිවේනාධිපති හිමියන්ගේ සුව දුක්ද විමසා බැලීය.

පොල් ගහන්න කබලෑවේ ගිය ඒකාබද්ධ විපක්ෂේ කකුල් පිච්චිලා.

ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම විසින් රජයට එරෙහිව රට පුරා ගෙන යන පොල් ගැසීමේ සහ දේව කන්නලව්වේ තවත් අදියරක් පසුගිය සෙනසුරාදා පැවැත්වුණේ කුලියාපිටිය කබලෑව දේවාලයේදීය. පොල් ගැහිල්ලේ සියලූ බර කරට ගෙන එහි සංවිධාන කටයුතු කර තිබුණේ වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් විසිනි. පොල් ගැහිල්ලට දිනකට පෙර ඊට විරෝධය පළකරමින් ප‍්‍රදේශය පුරා පෝස්ටරයක් ඇලවී තිබූ නමුත් එය නොතැකූ සමන්ප‍්‍රිය සංවිධාන කටයුතු අඛණ්ඩවම සිදු කරගෙන ගියේය. පොල් ගැහිල්ල පැවැති දින උදෑසන ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම මුණගැසුණේ කුලියාපිටිය තානායමේදීය. කොළඹ සිට බන්දුල ගුණවර්ධන සහ මහින්ද යාපා අබේවර්ධන පැමිණ සිටි අතර කුරුණෑගල සිට සාලින්ද පැමිණීමත් සමග තිදෙනාම කබලෑව දේවාල භූමිය වෙත ගියහ. දැඩි අව් රශ්මිය හේතුවෙන් දේවාල භූමියෙහි අතුරා තිබූ වැල්ල ගිනියම් වී තිබූ අතර පාවහන් රහිතව දේවාල භූමියට ඇතුලූ වූ පිරිස අපහසුතාවයට පත් වූයේ ගිනියම් වී තිබූ වැල්ලෙන් කකුල් පිච්චෙන්නට වීම නිසාය. කොරේ පිටට මරේ කීවාක් මෙන් දේවාලයේ කපු තැන විසින් දීර්ඝ යාතිකාවක් පටන්ගත් අතර කකුල් පිව්චෙමින් වුවද යාතිකාව අවසන් වන තෙක් ඉවසා සිටීමට ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමට සිදු විය. අනතුරුව දේවාල භූමියේදී පොල් ගසා තමන් පැමිණි කාරණාව අකුරටම ඉටු කළ සාලින්ද, බන්දුල සහ මහින්ද යාපා දේවාල භූමියේ පැවැති කෙටි රැස්වීමකටද සහභාගි වූහ. එහිදී සාලින්ද, බන්දුල සහ මහින්ද යාපා තිදෙනාම ජනපති මෛත‍්‍රී අලලා දැඩි ප‍්‍රහාරයක් දියත් කරන්නට වග බලාගත්හ.

පළාත් සභාව ඈලියාවට යයි.

මාධ්‍යට පළාත් සභාවේ දොර වසාදැමීම නිසා වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට දැන් සිදු වී ඇත්තේ පාලූගෙයි වළං බිදින්නටය. ඒ ඔවුන් පළාත් සභාව තුළ කියන කරන කිසිම දෙයක් ජනතාව වෙත ගලානොයෑම හේතුවෙනි. ඒ නිසාම මාධ්‍යට යළිත් දොරවල් විවර කර මන්ත‍්‍රීවරුන්ගේ හඩ මහජනතාව වෙත ගෙනයෑමට අවස්ථාව ලබාදෙන තෙක් මන්ත‍්‍රී පියුමාල් හේරත් ආරම්භ කළ පළාත් සභා රැස්වීම් වර්ජනය කිරීමේ පිළිවෙතට තවත් මන්ත‍්‍රීවරුන් ගණනාවක් වැඩි සද්ද බද්ද නැතිවම එක් වී ඇති බවද වාර්තා වෙයි. ඒ බව පසුගිය අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමේදීත් අපූරුවට දැක ගත හැකි විය. පෙර කී ලෙසටම එදින විවාදයට ගත් තහනම් දැල් සහ බලහත්කාරී ඉන්දීයානු ධීවර කඩාවැදීම්වලට එරෙහිව නීති රීති පැනවීම පිළිබදව යෝජනාව යෝජනාව සම්මත වන විට වයඹ සභාගැබෙහි සිටියේ මන්ත‍්‍රීවරුන් 16 දෙනෙකු පමණි. වයඹ පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 35 දෙනෙකුම ඒ අවස්ථාවේ සභාවේ නොසිටීම අහම්බයක් වන්නට බැරි බව බොහෝදෙනෙකුගේ අදහස වෙයි. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ද අත්‍යාවශය කටයුත්තක් සදහා බව පෙන්වමින් එදින සභා රැස්වීම වර්ජනය කළේ මාධ්‍යට සහය පළකිරීමට බවට වූ ආරංචියක්ද විපක්ෂ නායක කාර්යාලය පැත්තෙන් කියැවෙමින් ඇති බව තතු දත් අය කියති. විපක්ෂය පමණක් නොව එදින පැවැති පළාත් සභාව රැස්වීමට ආණ්ඩු පක්ෂයේ සැලකිය යුතු පිරිසක්ද පැමිණි නොසිටියහ. මාධ්‍ය මර්දනයට එරෙහිව එළිපිට යුධ ප‍්‍රකාශ කර ඇති පියුමාල් හේරත් මෙන්ම සමන්ප‍්‍රිය හේරත්, අතුල විජේසිංහ, පියසිරි රාමනායක, සුමිත් රාජපක්ෂ ඇතුලු තවත් මන්ත‍්‍රීවරුන් ගණනාවක්ම එදින සභා රැස්වීමට පැමිණ නොසිටි අතර මෙම මන්ත‍්‍රීවරුන් විවිධ හේතු කියමින් එදින සභා රැස්වීම මගහැර ගොස් සිටි නමුත් එම මගහැරීමේ සැබෑ අරමුණ වූයේ මාධ්‍යවේදීන් දොට්ට දැමීමේ ‘ටිකිරි’ පිළිවෙතට විරෝධය දැක්වීම බව ‘අඵ යට ගිනි’වෙත වාර්තා වෙයි.

alu_yata_ gini_march_17_2

උපුටා ගැනීම – මව්බිම පුවත්පත -2016 මාර්තු 17 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article