බංග්ලාදේශ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීම හේතුවෙන් මාස අටක කාලයක් එරට රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හය දෙනෙකු නිදහස් කර ඇති අතර, ඔවුන් අද (02) දිවයිනට පැමිණීමට නියමිතය.
2025 ජූලි මස 16 වන දින ‘සුදු දුව 4’ (IMULA 0138 PTM) නමැති බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය මෙම ධීවරයින් පිරිස, බංග්ලාදේශ සමුද්‍රීය දේශසීමාව උල්ලංඝනය කිරීමේ චෝදනාව මත එරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම ධීවරයින් බංග්ලාදේශයේ චිතගොන් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා තබාගෙන සිටි අතර ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබිණි.

මාස අටක කාලයක් මෙම ධීවරයින් බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් එම ධීවරයින්ගේ පවුල් වල සාමාජිකයින් දැඩි අසරණභාවයට පත්ව සිටින අතර, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා හමුවූ පවුලේ සාමාජිකයින් මෙම ධීවරයින් පිරිස කඩිනමින් නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටියහ. ඒ අනුව මෙම ධීවරයින් පිරිස නිදහස් කර ගැනීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීම මත බංග්ලාදේශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සිදුකළ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම මත මෙම පිරිස නිදහස් කර ගැනීමට හැකි විය.
පසුගිය මාර්තු 31 වන දින බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණු මෙම පිරිස අප්‍රේල් 01 වන දින ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන එන ලදී. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් හෙට (අප්‍රේල් 02) උදෑසන 5:00 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතයි.
මෙසේ රඳවාගෙන සිටි ධීවරයන් වන්නේ:
• ඩී. ඒ. එච්. ලසන්ත (අවු. 27)
• ඩබ්ලිව්. ටී. ඩී. අමිත් කුමාර (අවු. 40)
• ආර්. විජය කුමාර (අවු. 58)
• කේ. සුනිල් මාකස් ප්‍රනාන්දු (අවු. 46)
• ආර්. එම්. ලෙස්ලි (අවු. 38)
• එම්. එස්. ප්‍රනාන්දු (අවු. 23)







