දැදුරුඔය තම ස්වාභාවික ගමන් මාර්ගය වෙනස් කිරීම හේතුවෙන් හලාවත – ආරියගම පුරාණ චේතීය රාජ මහා විහාරස්ථන විනාශයට පත් වන්නට පටන් ගෙන ඇත.
දුටුගැමුණු රජ සමයේ නන්දමිත්‍ර යෝධයා විසින් හලාවත අවට ගම්මාන කීපයකම විහාරස්ථාන ඉදිකර ඇත.පල්ලම නන්දමිත්‍ර විහාරස්ථානය සහ ආරියගම චේතීය රා මහා විහාරය ඒ අතරින් ප්‍රධාන වේ.දැදුරුඔයට ආසන්නයෙන්ම ගරා වැටී තිබෙන චෛත්‍යයක්ද දක්නට ඇති අතර,පුරාණ නටබුන් කීපයක්ම මෙම විහාරස්ථාන භූමිය තුළ දක්නට ඇත. විහාරස්ථාන භූමියේ තිබූ නටබුන් රැසක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රැගෙන ගොස් ඇති බව ගම්වාසීන් සදහන් කරයි.
මෙම විහාරස්ථාන භූමිය වසර දෙකකට පමණ පෙර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරා ගෙන සීමා මායිම්ද යොදා ඇත.
දැදුරුඔයේ ස්වාභාවික ගමන් මාර්ගය වසර කීපයක සිට වෙනස් වන්නට පටන් ගත්තේය.දැදුරුඔයේ උතුරු ඉව්ර වැලි කදු වලින් පිරී යන විට දකුණු ඉව්ර දැඩි ලෙස ඛාදනය යන්නට විය.ඒ හේතුවෙන් දැදුරුඔය දකුණු ඉව්රේ නන්ද මිත්‍ර යෝධයා විසින් ඉදිකර තිබූ චෛත්‍ය බිදී යමින් දැදුරුඔයට බිලි වන්නට පටන් ගත්තේය.මේ බව මාධ්‍ය මගින් හෙලි කිරීමෙන් අනතුරුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව එක්ව චෛත්‍ය දැදුරුඔයට බිලි වීම වළක්වා ගැනීම සදහා ගල් වැටි සහ බාධක යොදන ලදි.නමුත් චෛත්‍ය ඉදිකිරීම සදහා යොදා ගෙන තිබූ දැවැන්ත ගඩොල් තවමත් දැදුරුඔයට ඇද වැටෙමින් තිබෙන බවක් දක්නට ඇත.

මේ පිළිබදව ආරියගම පුරාණ චේතීය රජ මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය නල්ලූරුවේ සුමනසාර ස්වාමීන් වහන්සේගෙන් මෙසේ කියා සිටියේය. “දැදුරුඔයේ ගමන් මාර්ගය පරණ තිබුණු ආකාරයටම සකස් නොකළහොත් මේ විහාරස්ථානය නැත්තටම නැතිවෙලා යනවා.මම මෙම විහාරස්ථානයට ඇවිත් දැන් අවුරුදු 30 කටත් වැඩියි.එදා දැදුරුඔය ගලා ගෙන ගිය ආකාරයට නෙමෙයි දැන් ගමන් කරන්නේ. උතුරු ඉව්රේ දැවැන්ත වැලි කදු ගොඩ ගැසීම නිසා දැදුරුඔය අද කරන්නේ දකුණු ඉව්ර බිද දමමින් තමන්ගේ තමන් මාර්ගය සකස් කර ගැනීමයි.ඒ නිසා තමයි මේ හානිය වන්නේ.මේ වන විට පුරාණ චෛත්‍යයේ කොටසක් දැදුරුඔයට බිලි වෙලා.මේ ගැන අවස්ථා ගනනාවකදීම කථා කරපු නිසා යාන්තම් කළු ගල් සහ වැලි කොට්ට යොදලා චෛත්‍ය යම් තරමකින් බේරා ගන්න හැකි වුණා.
දැන් නිර්මාණය වෙලා තියෙන්නේ අළුත් ගැටළුවක්.මේ ගැටළුවට කඩිනමින් විසදුමක් ලබා නොදුන්නොත් චෛත්‍ය වගේම මුළු පන්සල් වත්තම දැදුරුඔයට බිලි වෙනවා.ඒක නවත්වනන්න අපිට හැකියාවක් නෑ.
මෙම විහාරස්ථාන භූමිය දැන් අයිති පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට.අපිට බෑ මේ භූමිය තුළ කිසිදු කැණීමක් හෝ අළුත් ඉදිකිරීමක් කරන්න.ඒ නිසා මම පවතින තත්ත්වය පිළිබදව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට කිව්වා.නමුත් ඒ කිසිවෙකු මේ වන තුරු සිදුවන විනාශය ගැන හොයලා බලන්න අඩුම තරමින් ඇවිත් ගියේවත් නෑ.
කඩිනමින් කටයුතු කරලා සිදුවන විනාශයට පිළියමක් නොයෙදුවොත් වැඩි දවසක් යන්නට පෙර පුරාණ චේතීය රාජ මහා විහාරස්ථාන භූමිය සම්පූර්ණයෙන්ම දැදුරුඔයට සේදිලා යනවා.ඒක නවත්වන්න බෑ.”
ආරියගම ගම්වැසියෙකු වන එම්.එම්.ජයවර්ධන මහතා මෙසේ කියා සිටියේය.
“අපිට ගමේ පන්සල වටිනවා.ඒ නිසයි පන්සල රැක ගන්න අපි මේ තරම් මහන්සි වෙන්නේ.මීට අවුරුදු කීපයට කලින් දැදුරුඔය ගලා ගෙන ගියේ මීටර් 500 ක් විතර ඈතින් වෙන්න.නමුත් දැන් එන්න එන්නම දකුණු ඉව්ර ඛාදනය වෙමින් පන්සල් වත්ත දිය කරන්න පටන් අරගෙන.කළ යුතු එකම දෙය වන්නේ දකුණු ඉව්රේ තියන වැලි කන්ද ඉවත් කරලා අතීතයේ තිබුණු ආකාරයටම දැදුරුඔයට ගලා ගෙන යන්න ඉඩ දෙන එකයි.එතකොට මේ පන්සලට කිසිම හානියක් වෙන්නේ නෑ.”
එස්.ඒ.විපුල ධර්මප්‍රිය මහතා මෙසේ කියා සිටියේය.
“අවුරුද්දකට වතාවක්,දෙවතාවක් දැදුරුඔය පිටාර ගලන විට අපේ ගම ජලයෙන් යට වෙනවා.මේ පන්සල් වත්තේ රජය විසින් හදපු දෙමහල් ධර්ම ශාලාවක් තිබෙනවා.දැදුරුඔය පිටාර ගලන විට ගමේ සේරම ඇවිත් ආරක්ෂාවට නතර වෙන්නේ ඔය කියන දෙමහල් ධර්ම ශාලාව තුළ.අපි ධර්ම ශාලාවේ ඉන්න කාලය තුළ හාමුදුරුවෝ ගමේ අයට කන්න බොන්න දීලා ආරක්ෂා කර ගන්නවා.මේ පවතින තත්ත්වය අනුව නම් ඉදිරි වැසි ඇවිත් දැදුරුඔය පිටාර ගැළුවොත් අනිවාර්යෙන්ම පන්සල් වත්තට හානි වෙනවා.එතකොට පන්සල් වත්තේ තියන පුරාණ චෛත්‍යය,විහාර ගේ,ධර්ම ශාලාව,බෝ මළුව ඇතුළු සියල්ලම විනාශ වෙනවා.
පවතින ගැටළුවට කඩිනමින් විසදුමක් ලබා දීලා දැදුරුඔයේ ගමන් මාර්ගය පෙර පැවති තත්ත්වයට හැදුවොත් පන්සලත්,ගමත් බේරා ගන්න පුළුවන්”.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කළ යුතු වන්නේ රට පුරා ඇති ඓතිහාසිකම වටිනාකමක් ඇති ස්ථාන තමන් සතු යැයි පුවරු සවි කිරීම හෝ සීමා මායිම් ලකුණු කිරීම පමණක් නොවේ.එම ස්ථාන රැක ගැනීමද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කළ යුතුවම ඇත.මන්ද අතීතයේ රජ දරුවන් විසින් නිර්මාණය කර ඇති දෑ අනාගතයේ උපදින දරුවන්ට දකින්නට, අධ්‍යයනය කරන්නට ඉතිරි කළ යුතු නිසාය.එසේ නාමැති නම් වර්තමානයේ එම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ පුටු රත් කිරීමෙන් පමණක් පළක් වී නොමැති බව අනාගතයේ
උපදින දරුවන් කියා සිටී වි.



ජුඩ් සමන්ත







