රට පුරා ඩෙංගු රෝගය පැතිර යාම යම් තරමකට පාලනය වී තිබුණත් ධීවර ගම්මාන ආශ්‍රිතව රෝගීන් වාර්තා වීමේ අඩුවක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.
හලාවත ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩ සටහනකට එක් වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය.
පසුගිය දිනවල රටපුරා ඩෙංගු රෝගය වාර්තා වීම් ඉහළ ගොස් තිබුණා.මෙම තත්ත්වය පාලනය කිරීම සදහා රජය විසින් විවිධ වැඩ සටහන් කඩිනමින් ක්‍රියාත්මක කරණු ලැබුවා.එහිදී සෞඛ්‍ය අංශයේ නිලධාරීන් මෙන්ම විවිධ ස්වේචාඡා සංවිධාන සාමාජිකයින්ද මේ සදහා විශාල දායකත්වයක් ලබා දුන් බව පැවසිය යුතුයි.
පවතින තත්ත්වය පාලනය කිරීම සදහා වර්තමානය වන විට යුධ හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද එක්ව සිටීම ඉතාමත්ම වැදගත් වනවා.හලාවත මුහුදු සහ කලපු තීරය අතර ඇති නිවාස සහ පරිසරය නිරීක්ෂණය කිරීම යුධ හමුදා සාමාජිකයින්ගේද සහාය ඇතිව අප විසින් මේ වන විට සිදු කරමින් සිටිනවා.
පසුගිය දින කීපය තුළ හලාවත ධීවර ගම්මාන වලින් ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වී තිබුණා.එමෙන්ම මාතර වැනි ප්‍රදේශ වලින්ද ධීවර ප්‍රජාව වාසය කරන ගම්මාන වලින් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබීම විශේෂත්වයක්. මේ සම්බන්ධයෙන් සොයා බැළු විට අපට අනාවරණය වූයේ අතහැර දමන ලද ධීවර යාත්‍රා සහ ගොඩ ගසා ඇති දැල් ආම්පන්න ආවරණ ඩෙංගු පරිශ්‍රයන් බවට පත්ව ඇති බවයි.
ඔබ ජීවත් වන පරිසරය කුමක් වුවත් ඒ අවට පිරිසිදුව තබා ගැනීම ජනතාවගේ යුතුකමක් වෙනවා.සෞඛ්‍ය හෝ ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර සිටීම නොවෙයි සිදු කළ යුත්තේ.මේ අවස්ථාවේදී තමන් විසින් රටට කරන ජාතික මෙහෙවරක් ලෙස සළකා ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කර දැමීමට සියළුම දෙනා එක්ව කටයුතු කිරීම ජාතික මෙහෙවක් බවද පැවසිය යුතුව තිබෙනවා.
යුධ හමුදාවේ 7 වන ගජබා රෙජිමේන්තුවට අයත් මාදම්පේ කදවුරේ නිලධාරීන්ද,පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වසංගත රෝග මර්ධන ඒකකයේ සහ හලාවත ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයද මෙම ඩෙංගු මර්ධන වැඩ සටහනට එක්ව සිටියේය.



ජුඩ් සමන්ත







