spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

මරණය වේදනාකාරී අත්දැකීමක් ද?

Must read

 

මරණ වේදනාව යනු අප කිසිවකු අත්විඳීමට තබා ඇසීමට පවා රුචිකත්වයක් දක්වන මාතෘකාවක් නොවේ. එහෙත්, ජීවත් වන සෑම කෙනෙකුගේම සිත් තුළ පවතින ‘තනටෝස්’ (Thanatos) හෙවත් මරණය කෙරෙහි ඇති ස්වාභාවික ආකර්ෂණය හෝ බිය මුසු කුතුහලය නිසා බොහෝ දෙනෙක් මේ පිළිබඳව විමසිලිමත් වෙති. විශේෂයෙන්ම මරණාසන්න රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් තුළ මරණයේදී දැනෙන වේදනාව පිළිබඳව නොයෙක් ගැටලු පවතී. හදිසි හෘදය ඇනහිටීමකදී (Cardiac Arrest) මියයන පුද්ගලයන්ගේ ඇස්වල කළු ඉංගිරියාව වේගයෙන් කරකැවීම වැනි ලක්ෂණ බාහිරින් බලන්නෙකුට දැඩි මරණ වේදනාවක සංකේතයක් ලෙස පෙනෙයි. එනිසාම ඒ සම්බන්ධයෙන් සමහරු අප වෙතින් ද ප්‍රශ්න කරති. නමුත් විද්‍යාත්මක විග්‍රහයට අනුව එය වේදනාවට වඩා ශරීරයේ ස්වයංක්‍රීය ස්නායුක ප්‍රතිචාරයකි. මරණාසන්න මොහොතේ මොළයට ඔක්සිජන් ලැබීම නැවතුණු විට, මොළයේ (Brainstem) තවමත් සුළු වශයෙන් ක්‍රියාත්මක වීම නිසා මෙවැනි ඇගොනික් (Agonic) මස්පිඬු චලනයන් හෝ ශ්වසනයේ වෙනස්කම් ඇති විය හැකි ය.

මරණ වේදනාව යනු මරණය සිදුවන මොහොතේම අනිවාර්යයෙන්ම ඇති වන කිසියම් සුවිශේෂී හෝ අද්භූත තත්ත්වයක් නොවේ. නමුත් විවිධ ආගමික සාහිත්‍යයන් සහ ජන විශ්වාස මුල් කොට එම මතය ලොව පුරා සමාජගත වී තිබේ. විද්‍යාත්මකව විමසන විට මරණයකදී දැනෙන වේදනාව හෙවත් මරණාසන්න වේදනාව තීරණය වන්නේ මරණයට හේතු වන සාධකය මත ය. උදාහරණයක් ලෙස, පිළිකා වැනි දීර්ඝකාලීන රෝගයකදී රෝගියා අත්විඳින්නේ මරණයේ වේදනාව නොව, එම රෝගයේ රෝග ලක්ෂණයක් ලෙස මරණාසන්න මොහොත තෙක් පවතින වේදනාවයි. වර්තමානයේ සහනකාරක සත්කාර (Palliative Care) මඟින් මෙවැනි වේදනා පාලනය කිරීමට වෛද්‍ය විද්‍යාවට හැකියාව ඇත. හදිසි අනතුරකදී දැඩි වේදනාවක් දැනීමට පෙර පුද්ගලයා නිර්වින්දනයට හා සිහිසුන් වීමට හැකි අතර, නින්දේදී සිදුවන ස්වාභාවික මරණවලදී පුද්ගලයාට කිසිදු වේදනාවක් නොදැනීමට ඇති ඉඩකඩ වැඩිය. නමුත් මෙම නිර්වින්දනය හා සිහිසුන් වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර එය සරල නිදසුනකට අනුව කිවහොත් සෑම නිවසකම ඇති ට්‍රිප් ස්විච්චිය එක සේ ක්‍රියාත්මක නොවන්නාක් මෙනි. ඒ අනුව, මරණාසන්න වේදනාව යනු සැමට එක හා සමානව පොදු වූ අත්දැකීමක් නොවන බව පැහැදිලි ය.

හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article