දිට්වා සුළි කුණාටුව අපේ රටට මහා විනාශයක් කර වසරක කාලයක් ගත විමටද ආසන්නය.ගෙවී ගිය කාල සීමාව තුළ දිට්වා වෙන් හානියට පත් බොහෝ දෙනෙකුට ඒ සදහා වන වන්දි සහ ආධාර මුදල් ලබා දුන් බව වගකිව යුතු පාර්ශව සදහන් කරයි.ඒ අතර තුර ඇතමුන් කියා සිටින්නේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ තම දේපල වෙනුවෙන් මෙතෙක් තමන්ට කිසිදු සහනයක් නොලැබුණු බවය.මේ එවන් කථාවකි.
හලාවත – අඹකදවිල,සමිදුගම,ශාන්ත සෙබස්තින් මාවතේ පවුල් 15 ක් පමණ දෙනා පදිංචිවී සිටී.මීට වසර 20 කට පමණ පෙර පැවති එවකට රජයේ දේශපාලකයින් සහ රජයේ නිලධාරීන් එක්ව නීත්යාණූකූලව ඉඩම් කට්ටි කර බෙදා දී ඔවුන් පදිංචි කර ඇත.පසු කාලෙක එම ඉඩම් වල අයිතිය ඔවුන්ට හිමිවී ඇත්තේ ස්වර්ණභූමි ඔප්පුවක් තුළිනි.මෙම ඉඩම සියල්ල පිහිටා ඇත්තේ හලාවත කලපුවට යාබදව වීම විශේෂත්වයකි.
රජයෙන් නොමිලේ ලැබුණු ඉඩම් කැබැල්ලේ තමන්ට ඇති – හැකි ආකාරයට ඔවුන් නිවාස අටවාගෙන ඒවායේ දරු පැටවුන් සමග පදිංචි වන්නට විය.කුමන ආකාරයකට ඉදි කළත් ඒ සියළුම නිවාස ස්ථීර ඒවා විය.මන්ද ඔවුන් ඉදිකර ඇති සියළුම නිවාස වලට විදුලිය බල පහසුකම්ද ලබා දී තිබෙන නිසාය.
මේ ප්රදේශයේ පදිංචි කිසිවෙකු රජයේ හෝ පුද්ගලික ආයතන වල ස්ථීර සේවකයින් නොවන අතර,ඔවුන් සෑම දෙනාම කලපුවේ ධීවර රැකියාව හෝ දෛනික කුලී වැඩ කර ජීවිකාව කරගෙන යන අයළුවන් වේ.
මෙම නිවාස වල පදිංචිකරුවන් වැසි කාලයේදී දැවැන්ත ගැටළුවකට මුහුණ දෙති.ඒ තමන් පදිංචි ඉඩම් ජලයෙන් යටවී යාමය.වැසි කාලයට එකතු වන ජලය ක්රමවත්ව කලපුවට බැස යාමේ වැඩ පිළිවෙළක් ගෙවී ගිය වසර 20 ක කාලය තුළ මෙතෙක් සිදුවී නැති බව ඔවුන් කියා සිටී.මැතිවරණ සමයේදී පැමිනෙන දේශපාලකයින් මෙම ජනතාවට ලබා දෙන පොරෙන්දු වලින් ප්රධාන වන්නේද ගමේ ජලය බැස යාම සදහා කාණු පද්ධතියක් ඉදි කිරීමය.නමුත් එම පොරොන්දුව මෙතෙක් ඉටු වී නොමැති බවද ඔවුන් කියා සිටියේය.
දින 03 ක් පුරා නොකඩවා ඇද හැළුණු දිට්වා වැසි හේතුවෙන් හලාවත කලපුවේ ජල මට්ටම වැඩි වන්නට විය.ඒ ආසන්නයේ ඇති ශාන්ත සෙබස්තියන් මාවතේ ඉදිකර ඇති නිවාස සියල්ල කලපුවේ වැඩිවූ ජලයෙන් යටවී ගොස් මහා විනාශයක් සිදු කළේය.
“මගේ ගෙදර වහළ මට්ටටම ජලය පිරිණු.ගේ ඇතුලේ තිබුණු අතට අහු වුණ දේවල් අරගෙන දරුවොත් එක්ක අපි ජීවිත බේරා ගන්න පුළුවන් තැන් වලට ගියා.අපිට ආණ්ඩුවෙන් මුලින් රුපියල් 50,000 ක් දුන්නා.ඊට පස්සේ නැවත රුපියල් 25,000 ක මුදලක් දුන්නා.එච්චරයි.ජලයෙන් යට වෙලා හානියට පත් වුණු ගේ හදා ගන්න තවම රුපියලක් වත් ආණ්ඩුවෙන් දුන්නේ නෑ. නිලධාරීන්, ප්රදේශයේ දේශපාලකයින් ඇවිත් පින්තූර අරගෙන අයදුම් පත්ර පුරවා ගෙන ගියා විතරයි.හැබැයි අපි දන්නවා කිසිම හානියක් නොවුණු අයටත් ගෙවල් හදා ගන්න ආධාර මුදල් ලැබිලා තියනවා.අපේ ගේ මේ වෙන කොට තෙමෙනවා.ඒ නිසා ඉටි කොළ වලින් වහළය ආවරණය කරලයි තියෙන්නේ.”පීඩාවට පත්ව සිටින ලාල් කුලරත්න මහතා කියා සිටියේය

.

දිට්වාවෙන් හානියට පත්ව ඇති නිවාස ඇතමුන් විසින් අතහැර දමා ඇති ආකාරයක්ද දක්නට ඇත.මන්ද එම නිවාස වල තව දුරටත් පදිංචිවී සිටීමට ඔවුන්ට නොහැකි නිසාය.තම නිවාස අතහැර දැමූ ඔවුන් මේ වන විට වෙනත් ස්ථාන වල කුලී පදනම මත පදිංචිවී සිටින බව ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය විය.
මේරි පැට්රීෂියා ලෝව් මහත්මියද අපට හමු විය.ඇය මෙසේ කියා සිටියාය.
“මම මේ ගමේ පදිංචියට ආවේ 2012 අවුරුද්දේ.එදා ඉදලම තත්ත්වය මේ විධියමයි.කිසිම දියුණුවක් නෑ.ලොකු ලොකු අය එනවා ඇවිත් බලලා යනවා. එච්චරයි.දිට්වා සුළි කුණාටුව වෙලාවේ අපිව සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වුණා.ජලයෙන් යට වුණ නිසා ගෙවල් පුපුරලා තියෙන්නේ.වහළයට හානි වුණා.ඒත් ගෙවල් නැවත හදා ගන්න කියලා කිසිම ආධාරයක් අපිට මෙතෙක් ලැබුනේ නෑ.දැන් නැවතත් වහින්න පටන් අරගෙන.හෙට අනිද්දා වෙන කොට මේ පැත්තට එන්නවත් බැරිව යනවා.මොකද වැසි ජලය බැස නොයාම නිසා යට වෙනවා.එකක් අපේ ගමේ කාණු පද්ධතිය හදලා දෙන්න.දෙවැන්න හානි වුණ ගෙවල් නැවත හදා ගන්න රජයෙන් දෙනවයි කියපු ආධාර මුදල අපිටත් දෙන්න.දැන් අවුරුද්දක් ගිහිල්ලත් තවම කිසිම දෙයක් අපිට නම් ලැබිලා නැහැ.”
නෙෂිකා පියුමි මහත්මියද ශාන්ත සෙබස්තියන් මාවතේ පදිංචිකාරියකි. ඇයගේ දරුවන් දෙදෙනෙකු ආබාධිතය.එමෙන්ම ඇය සමාජ සේවිකාවකි.ඇය මෙසේ කියා සිටියාය.
“ජනාධිපති තුමා කිව්වා කුමන ආකාරයේ හානියක් වුනත් වන්දි දෙනවා කියලා.නමුත් ගමේ ඉන්න දේශපාලකයින්.නිලධාරීන් ඒ වැඩේ කරන්නේ නෑ.එයාල ඇවිත් කියනවා ජලය බැස යන්න කාණුව අපිට හදා ගන්න කියලා. පසුගිය දවස් වල සමාජ මාධ්ය තුළ දාලා තිබුණා මේ කාණු පද්ධතිය හදන්න පටන් ගත්තා කියලා.ඒක අමූලික බොරුවක්.අඩුම තරමින් බැකෝ යන්ත්රයක් මේ පැත්ත පලාතක ආවේ නෑ.දැන් නැවතත් වහින්න පටන් අරගෙන.දිට්වා සුළි කුණාටුවට වඩා ලොකු වැස්සක් ලැබෙනවා කියලයි ආරංචිය.එහෙම වුනොත් අපේ ගෙවල් කඩා ගෙන වැටෙයි.මොකද දිට්වාවෙන් වුණ හානියට ගෙවල් අබලන් වෙලා පුපුරලා තියෙන්නේ.ආබාධිත දරුවෝ දෙන්නෙක් එක්ක මම කොහොමද මේ අබලන් ගේ ඇතුලේ ඉන්නේ කියලා කියන්න.ඇයි ආණ්ඩුව අපිට මෙහෙම කරන්නේ කියන එකයි මට නම් තියන ගැටළුව.”ඇය කියා ගෙන ගියාය.
සිදුවී ඇති හානිය ගැන සොයා බලන්නට ශාන්ත සෙබස්තියන් මාවතේ ඇවිද ගිය අපට හමුවූ සෑම කෙනෙකුම කියා සිටියේ එකම කතාවකි.ඒ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ තම නිවාස ඉදි කර ගැනීමට රජය විසින් මේ වන තුරු කිසිදු සහනයක් ලබා නොදීමේ කථාවය.
දිට්වාව ඇවිත් අපේ රටට හානි කර ගොස් වසරක් පිරෙන්නට පෙර හෝ ඉන් පීඩාවට පත් වූවන්ට සහනයක් වීම වගකිව යුත්තන්ගේ යුතුකමකි.මන්ද හෙට – අනිද්දා කුමක් සිදු වේවිද කියා අනාවැකි කියන්නට අපිට නොහැකි නිසාය.
ජුඩ් සමන්ත







