Sunday, May 19, 2024

ඉතාලි ගියත් කලාව අමතක නොකළ වයඹ පුත්තු මෙන්න !

Must read

ආර්ථික ගැටළු ජයගෙන සැපවත් ජීවිතයක් ගතකිරීම පිළිබදව වූ බලාපොරොත්තු සමුදායක් සහිතව තම මව්රටින් පිට වී ගොස්, දැඩි දුෂ්කරතා මැද රැකියාවන් කරමින් සිටින අතරතුරදී ලැබුණු කෙටි ඉසිඹුවකදී සොදුරු කලා කටයුත්තක් වෙනුවෙන් මුල පිරූ අපූරු වයඹ පුතුන් පිරිසක් පසුගිය දිනෙක ලංකාවට පැමිණ සිටියදී අපට මුණගැසිණි.

ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට නිසි තැනක් නොමැති බවටත්, වේදිකා නාට්‍යයට කුඩම්මාගේ සැලකිලි ලැබෙමින් පවතින බවටත් චෝදනා නැගෙමින් ඇති අවදියක වේදිකා නාට්‍යයක් වෙනුවෙන් තම විවේක කාලය පමණක් නොව මෙන්ම රැකියාව පවා කැප කළ ඉතාලි රටෙහි රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ අපූරු පිරිසට අයත් වෙති.

සමාජ මෙහෙවරක් කිරීමේ ‘සුව නොවන උණකින්‘පෙළෙමින් සිටි ඉතාලි රැකියාවන්හි නියුතු මෙම ශ්‍රමිකයන් පිරිසට දැනට ස්වීඩනයේ ජීවත් වන සම්මානනීය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභියෙකු වන විජිත ගුණරත්නයන්ගේ අහඹු හමුවීමත් සමග මුලපිරුණු සොදුරු කටයුත්ත අවසන් වන්නේ ස්පාඤ්ඤ ජාතික ෆර්නාන්ඩෝ අරබල් විසින් රචිත පික්නික් ඔෆ් ද බැට්ල්ෆිල්ඩ් නැමැති කෘතියඇසුරින් සිංහලට පරිවර්තනය කරන ලද ‘යුද පිටියේ සවාරියක් ‘නැමැති වේදිකා නාට්‍ය එළිදැක්වීමත් සමගිනි.

වාමාංශික දේශපාලනයෙන් හා ඉංග්‍රීසි සාහිත්‍යයෙන් පෝෂණය හා පන්නරය ලබමින් ලෝක සාහිත්‍ය කෘති රාශියක් පරිවර්තනය කරමින් සහ ඒ ඇසුරින් වේදිකා නාට්‍ය ගණනාවක් නිර්මාණය කළ ප්‍රවීන සාහිත්‍යධරයෙක් වු විජිත ගුණරත්නයන්ට එක්තරා කාලවකවානුවක මෙරට තිබු අවිචාරවත් දේශපාලනයට මැදි වී ලංකාව හැර යන්නට වැඩ කටයුතු සිදු වූ නමුත්, ඔහු තුළ නිර්මාණාත්මක හැකියාව තවමත් ඔහු හැර ගොස් නොමැති බවට ‘යුද පිටියේ සවාරියක් ‘වේදිකා නාට්‍ය කදිම උදාහරණයක් වෙයි.වෙන්නප්පුව, දංකොටුව, මාරවිල, කුලියාපිටිය වැනි ප්‍රදේශවල සිට විදේශ ගත වූ මෙම ශ්‍රමිකයින් පිරිස තම රැකියාව, පුද්ගලික සුඛ විහරණය හෝ විනෝදය සතුට පමණක් ප්‍රාර්ථනා කරන පිරිසකට පමණක් සීමා නොවී රැකියාව, කාලය පමණක් නොව ඔවුන් දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදල් පවා කැප කරමින් ‘යුද පිටියේ සවාරියක් ‘ගොඩනැංවීම සදහා තම දායකත්වය ලබා දී ඇත්තේ සමාජය දැනුවත් කිරිමට මෙන්ම මෙරට නාට්‍ය කලාවේ යම් වෙනසකට ඇතිකරවීමේ අවංක චේතනාවෙන් බව පැහැදිලිය.

යුද්ධයේ කුරිරු සෙවනැලි දශක ගණනාවක් තිස්සේ ලාංකික ජන සමාජය වසාගෙන සිටි අයුරුත්, යුද්ධයට මුවා වී සමාජය රවටන පුද්ගලයන් පිළිබව මෙන්ම යුධ මානසිකත්වයක් සහිත සමාජයක මිනිසුන් හැසිරෙන ආකාරය පිළිබඳවත් එළිපිටම සාකච්ඡා කෙරෙන ‘යුද පිටියේ සවාරියක් ‘නම් මෙම අපූරු එළඹෙන ජනවාරි මාසයේදී ලාංකීය ප්‍රේක්ෂකයින්ගේ දෑස් මානයේ දිගහැරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේදී නිපදවෙන වේදිකා නාට්‍ය සහ චිත්‍රපට විදේශ ගත ශ්‍රමිකයන්ට පෙන්වීම සදහා මෙරට නිෂ්පාදකවරුන් විසින් එම රටවලට රැගෙන යමින් සිටින කාලයක ඉතාලියේ රැකියා කරන ශ්‍රමිකයන් කණ්ඩායමක් එකට එකතු වී කරන ලද නිර්මාණයක් රස විඳිම උදෙසා ලංකාවේ ජීවත් වන ජනතාවට දැන් අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව හුදු ලාභ ලැබීමේ අපේක්ෂාවකින් තොරව , ලාංකීක කලාකාමීන්ගේ රස වින්දනය වෙනුවෙන් ලංකාවේ ප්‍රදේශ කිහිපයකදී වේදිකා ගතවීමට නියමිත ‘යුද පිටියේ සවාරියක් ‘නාට්‍ය නැරඹීමට පැමිණෙන ලෙසට ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට ක්‍රියාත්මක වන ජන රැඟුම් මණ්ඩපය ඔබ සැමට අරාධනා කර සිටියි.

ඒ අනුව ජනවාරි 5 වෙනිදා සවස දෙහිවල උසස් අධ්‍යාපන ආයතනයේදීත්, ජනවාරි 7 වෙනිදා සවස නුවර එළිය නගර ශාලාවේදීත්, ජනවාරි 8 වෙනිදා කොළඹ විශ්ව විද්‍යාලයේදීත්, ජනවාරි 9 වෙනිදා සවස වෙන්නප්පුව කිරිමැටියාන සණස ශාලාවේදීත්, ජනවාරි 10 වෙනිදා සවස අවිස්සාවේල්ල නගර ශාලාවේදීත්, ජනවාරි 11 වැනිදා සවස කුලියාපිටිය නගරශාලාවේදීත්, ජනවාරි 12 වෙනිදා සවස පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදීත්, ජනවාරි 13 වෙනිදා සවස ගම්පහ බණ්ඩාරනායක විදුහල් ශාලාවේදීත්, ජනවාරි 14 වෙනිදා සවස ගාල්ල නගරශාලාවේදීත්, ජනවාරි 15 වෙනිදා සවස ත්‍රිකුණාමලය ගන්තලාව විදුහල් ශාලාවේදීත්, ජනවාරි 16 වෙනිදා සවස මාතලේ හෝටල් පාසැල් ශාලාවේදීත් ‘යුද පිටියේ සවාරියක් ‘ වේදිකාගතවීමට නියමිතව තිබේ.

ඒකාකාරි වේදිකා නාට්‍ය වෙනුවට වෙනසක් රසවින්දනයක් ලබාගැනීම වෙනුවෙන් මෙන්ම ‘යුද පිටියේ සවාරියක් ‘වෙනුවෙන් සිය කාලය, ධනය සහ ශ්‍රමය වැය කළ මෙන්ම ඊට රංගනයෙන්ද දායක වන ලාංකික ශ්‍රමිකයින්ගේ හැකියාවන් දැක බලා ගෙන ඔවුන් දිරි ගන්වන්නටත් මෙම නාට්‍ය නැරඹීමට පැමිණෙන ලෙසට නැරඹීමෙන් එහි සංවිධායකයින් විසින් ලාංකීය වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයින්ට ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටිති.

නයිනමඩම චන්දන ප්‍රනාන්දු

yuda _pitiye4 yuda _pitiye2 yuda _pitiye1 yuda _pitiye3

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article