Friday, May 3, 2024

ඉතාලි පුතාගේ යාලුවෙක් කියා ගෙට රිංගූ අයෙක් මවගේ රත්තරන් බඩු සොරාකයි

Must read

ඉතාලියේ සිටින පුතාගේ මිතුරෙකු බවට පවසා තනිවම වාසය කරන කාන්තාවකගේ නිවසට පැමිණ ඇය සතුව තිබූ රුපියල් 2,10,000 ක් වටිනා රන් දම්වැලක් සොරකම් කර පලා ගොස් ඇති සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව තොඩුවාව පොලීසිය කියයි.

තොඩුවාව – ප්‍රගති මාවතේ පදිංචිකාරියක් වන මෝදරපේඩිගේ සෙලින් ප්‍රනාන්දු (අවු:73) නම් කාන්තාවක් විසින් සිදු කර ඇති  පැමිණිල්ලකට අනුව මෙම විමර්ශණය අරම්භ කර ඇත.

පැමිණිළිකාරියගේ සැමියා මීට වසර කීපයකට පෙර මිය ගොස් ඇත.ඇයට පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින අතර,ඔවුන් මේ වන විට ඉතාලියේ සේවය කරමින් සිටී.

පසුගිය 22 වෙනිදා පෙරවරුවේ ඇය තනිවම නිවසේ සිටින විට යතුරු පැදියකින් වයස අවුරුදු 40 – 45 ක් වන අයෙකු පැමිණ ඇත.පැමිණිළිකාරියගේ දරුවෙකු වන දැනට ඉතාලියේ සේවය කරන ආනන්ද යන අය තමන්ගේ මිතුරෙකු බව නිවසට පැමිණි අය පවසා ඇත.අනතුරුව පැමිණිළිකාරිය තම නිවසට පැමිණි අයව නිවස තුළට කැදවා ඇත.”ගෙදරට ආපු කෙනෙකුට තේ එකක් වත් දෙන්නේ නැද්ද?” කියා නිවසට පැමිණ සිටි අය විමසා ඇත.ඒ අනුව ඇය තේ සුදානම් කිරීම සදහා මුළුතැන් ගෙයට ගොස් ඇත.නිවසට පැමිණි සිට අයද ඒ සමගම මුළුතැන් ගෙට පැමිණ නිවස හිමි කාන්තාවට රුපියල් 5000 නෝට්ටු කීපයක් ලබා දීමට උත්සාහ කර ඇත.නමුත් ඇය මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.අනතුරුව තමා පැළද සිටි දම්වැලේ පෙන්ඩනය ගලවා එය මුළුතැන් ගෙයි තිබූ භාජනයක් තුළට දමා ඇති ඔහු එම ස්ථානයෙන් ඉවත් වී ඇත.

තේ කෝප්පය සකස් කරගෙන පැමිණි නිවස හිමි කාන්තාව දැක ඇත්තේ නිවසට පැමිණි අය තමන්ගේ නිදන කාමරයේ සිට පිටතට පැමිනෙන ආකාරයයි.”ඇයි නිදන කාමරයට ගියේ?” යැයි විමසූ විට ඔහු පවසා ඇත්තේ “කාමරය බලන්න ගියා” යනුවෙනි.සුළු වේලාවක් නිවස තුළ රැදී සිට ඇති ඔහු නිවසින් පිටත්ව ගොස් ඇත.

පසුදින අවශ්‍යතාවයක් සදහා සොයා බලන විට තමන්ගේ රන් දම්වැල සහ මුදුවක් අතුරුදහන් වී ඇති බව නිවස හිමි කාන්තාවට පෙනී ගොස් ඇත.නිවසට පැමිණ පුද්ගලයා මුළුතැන් ගෙයි භාජනයකට දමා ගිය පෙන්ඩනය ඒහි තිබේ දැයි කාන්තාව සොයා බලා ඇති නමුත් එයද එම ස්ථානයේ තිබී නැත.

පසුව මේ බව ඉතාලියේ සිටින ආනන්ද යන තම පුතාට දැණුම් දීමට පැමිණිළිකාරිය කටයුතු කර ඇත.තමන් එවන් මිතුරෙකු නිවසට එවීමට කටයුතු නොකළ බව පුතා මව සමග පවසා ඇත.පුතාගේ උපදෙස් අනුව නිවස හිමි කාන්තාව තමන්ගේ රන් ආභරණ අතුරුදහන් වීම සම්බන්ධයෙන් තොඩුවාව පොලීසියට පැමිණිළි කිරීමට කටයුතු කර ඇත.

පොලීසිය විසින් නිවස පරීක්ෂා කිරීමේදී සොරකම් කළ බව කියන රන් මුදුව කාමරයක අල්මාරියේ තිබී හමුවී ඇත.ඒ අනුව සොරකම් කර ඇත්තේ රන් දම්වැලක් පමණක් බව පොලීසිය සදහන් කරයි.

සැකකරු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනවරණය වී නොමැති අතර, තොඩුවාව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article