Friday, May 3, 2024

කුරුණෑගලට කුඩු බෙදූ වාහිබ් ජාවෙඩ් අත්බෝම්බයකුත් එක්ක අල්ලයි.

Must read

 

wahib_õwed

කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශවලට හෙරොයින් බෙදාහැරීමේ යෙදී සිටි බව කියන ප‍්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු , ඔහු සන්තකයේ තිබූ ජීව අත්බෝම්බයක් හා මත්කුඩු තොගයක් ද සමග කුරුණෑගල නීතිය බලාත්මක කිරීමේ ඒකකය විසින් මාස්පොත ප්‍රදේශයේදී  පසුගිය 14 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූහ.

පොලිස් බුද්ධි අංශ විසින් ලබා දුන් තොරතුරකට අනුව, මාර්ග බාධක යොදා කළ මෙහෙයුමකදී බස් රථයකින් ගමන් කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගැණුනේ පුත්තලම, මයිලන්කුලම පාරේ පදිංචි වාහිබ් ජාවෙඩ් නැමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.

දින කිහිපයකට වරක් කුරුණෑගලට පැමිණෙන මෙම පුද්ගලයා කුරුණෑගල නගරය, ගැට්ටුවාන , වැහැර , මල්කඩුවාව සහ විල්ගොඩ ඇතුළු ප‍්‍රදේශවලට මත්කුඩු බෙදා හැර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් මිලිග‍්‍රෑම් 230 ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. සැකකරු ළග තිබූ අත්බෝම්බය මෙරටදී නිෂ්පාදනය කළ එකක් වන අතර, මත්කුඩු ජාවාරමේ යෙදීමේදී ආරක්ෂාව සලසාගැනීම පිණිස එය ළග තබාගෙන සිටි බවට සැකකරු විසින් පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ අත් බෝම්බය කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් ඩබ්ලිව්. ඩී. එච්. චන්ද්‍රරත්න මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව, සැකකරු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය. අත්බෝම්බය නිෂ්ක්‍රිය කිරීම සදහා රත්ගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුර වෙත භාරදෙන ලෙසට ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

කුරුණෑගල කොට්ඨාශ භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතාගේ උපදෙස් මත කුරුණෑගල කුරුණෑගල නීතිය බලාත්මක කිරීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඒ. බී. පුණ්‍යසේන මහතා ඇතුලු නිලධාරීහු වැටලීම සිදුකළහ.

 (ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති  ඉහත ඡායාරූප මෙම සිදුවීමට අදාළ ඡායාරූප නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article