Monday, May 6, 2024

ක‍්‍රීඩාව ගිලගත් නිලධාරී මාෆියාව වයඹ ක‍්‍රීඩාව නැත්තටම නැති කරයිද ?

Must read

priyangika-madumanth04i(අජන්ත බණ්ඩාර රත්නායක විසිනි )

ප‍්‍රියංගිකා මධුමන්ති.ඒ වයඹ පළාත පමණක් නොව ජාත්‍යන්තරය පවා හොදින් හදුනන නමකි.උස පැනීමේ ක‍්‍රීඩාවෙන් ශ‍්‍රී ලංකාව බැබැල වූ මධුමන්ති අදටත් දකුණු ආසියාවේ උස පැනීමේ ශූරියද වන්නීය.මධුමන්ති විසින් සිය උසැති සිරුර ගුවනේ පාකර යවමින් හරස් දණ්ඩ මතින් පියඹා යන ඒ චමත්කාරජනක පිම්ම බොහෝ විචාරකයින් විසින් හදුන්වනු ලැබුවේ ‘පියාඹන සමනලියගේ ඉගිලෙන පිම්මක් ’ ලෙසිනි. වැඩි දෙනෙකු නොදන්නා නමුත් , මේ පියාඹන සමනලිය ඇගේ ඉගිලෙන පිම්මට මේ වන විට නැවතීමේ තිත තබා අවසන්ය.උස පැනීමේ ක‍්‍රීඩාවෙන් ශ‍්‍රී ලංකා නාමය තව බොහෝ දුරකට රැගෙනයාමේ හැකියාව සහ වාසනාව තිබූ ප‍්‍රියංගිකා මධුමන්තිට අකල්හි ක‍්‍රීඩාවට සමුදෙන්නට සිදු වී තිබුණේ ක‍්‍රීඩාව පිළිබදව ඇය තුළ ඇති  වූ  අප‍්‍රමාණ කලකිරීමය.

යම් පළාතක් ක‍්‍රීඩාව සම්බන්ධයෙන් දක්වන ප‍්‍රගතිය මැන බැලීමට ශ‍්‍රී ලංකාව තුළ දැනට භාවිතා කරනු ලබන මිනුම් දණ්ඩ ලෙස සැලකිය හැක්කේ ජාතික මහා ක‍්‍රීඩා උළෙලේදී එකී පළාත නියෝජනය කරනු ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විසින් දක්වන දක්ෂතාවයන්ය.එකී මිනුම් දණ්ඩට අනුව සලකා බැලුවහොත් වයඹ පළාත ක‍්‍රීඩාව සම්බන්ධයෙන් මේ වන විට යෙදී සිටින්නේ පල්ලම් බැසීමක හෙවත් අවරෝහණ ගමනක බව පැහැදිලිය.ඒ අනුව 2011 වසරේදී මළල ක‍්‍රීඩා ඉසව්වලින් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 07ක් සහිතව සමස්ත පදක්කම් 25ක් දිනාගත් වයඹ පළාතට 2014 වර්ෂයේදී දිනාගැනීමේ හැකියාව ලැබෙන්නේ රන් පදක්කම් 09ක්,රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 05ක් සහිතව සමස්ත පදක්කම් 17ක් පමණි. ඒ අනුව 2011 වසර වන විට වයඹ පළාත නමින් ලියැවී තිබූ පදක්කම් 08 ක් ගෙවී ගිය වසර හතරක කාලය තුළදී පළාත විසින් අහිමි කරගෙන ඇති බව පැහැදිලිය.

වයඹ ක‍්‍රීඩාවේ මෙම අවගමනයට හේතු වී ඇති කරුණු කාරණා පිළිබදව සොයාබැලීමේදී නවක  ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිනොවීම,දැනටක‍්‍රීඩාවේ යෙදී සිටින ක‍්‍රීඩකක‍්‍රීඩිකාවන්ට ප‍්‍රමාණවත් පුහුණුවක් සහ පහසුකම් නොලැබීම, පුහුණුකරුවන්ගේ හිගය වැනි ගැටඵ මේ අතරින් ප‍්‍රමුඛතම ගැටඵ බවට පත් වී තිබේ.මතුපිටින් පෙනෙන මෙම ගැටඵවලට වඩා නොපෙනෙන බලවේගයක් විසින් වයඹ ක‍්‍රීඩාවේ අනාගතය විනාශකර දැමීම සදහා මාෆියාවක මුහුණුවරින් ක‍්‍රියාත්මක වෙමින් ඇති බවක් අප කළ දීර්ඝ ගවේෂණයකදී අනාවරණය කරගත හැකි විය.එම නොපෙනෙන බලවේගය ලෙස අප විසින් හදුන්වාදෙනු ලබන්නේ ක‍්‍රීඩාමය පළපුරුද්දක් හෝ ක‍්‍රීඩා සුදුසුකමක් නොලැබූ නිලධාරීන් වයඹ ක‍්‍රීඩා පරිපාලනයේ මුල් පුටුවලට පත්වීම සහ ඔවුන් විසින් පළාතේ ක‍්‍රීඩාව අධ්‍යාපන සුදුසුකම් මත පමණක් පදනම් කරනිමින් පරිපාලනය කිරීමට දරමින් සිටින වෑයමයි.ඒ අනුහසින්ම වයඹ පමණක් නොව රටම රනින් බැබැල වූ ජාත්‍යන්තර පදක්කම්ලාභී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සැලකිය යුතු ප‍්‍රමණයකට ක‍්‍රීඩාවෙන් සමුගන්නා තැනට මේ වන විට වැඩ කටයුතු සිද්ධ වී හමාරය.

වයඹ පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශය වෙත ක‍්‍රීඩා නිලධාරීන් බදවා ගැනීම සදහා පසුගිය මැයි මාසයේදී සිදු වු අයැදුම්පත් කැදවීම මෙම ක‍්‍රියාවලියේ ආසන්නතම උදාහරණය ලෙස දැක්විය හැකිය.ක‍්‍රීඩක ක‍්‍රීඩකාවන් විසින් පළාත සහ රට වෙනුවෙන් හෙළන දහදියට සහ මහන්සියට වටිනාකමක් නොලැබීම හරහා ඔවුන්ගේ අනාගතය මෙන්ම ඒ හරහා වයඹ ක‍්‍රීඩාවේ අනාගතයද ඝන අදුරක් දක්වා තල්ලූ වී ඇති ආකාරය හෙළිදරව්කිරීම මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙයි.

වයඹ පළාත් සෞඛ්‍ය,දේශීය වෛද්‍ය,ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ක‍්‍රීඩා නිලධාරී තනතුරට බදවාගැනීම සදහා වන විවෘත තරග විභාගය සදහා වයඹ පළාතේ ස්ථීර පදිංචිය සහිත ,සුදුසුකම් ලත් අයවඵන්ගෙන් වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අයදුම්පත් කැදවූයේ 2015 මැයි මස 20 වැනිදාය.වයඹ පළාතේ  ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල දැනට පවතින ක‍්‍රීඩා නිලධාරී තනතුරු 15 ක පුරප්පාඩු පිරවීමට මෙන්ම උසස්වීම් සහ විශ‍්‍රාමයාම් හේතුවෙන් පුරප්පාඩු වන තවත්  ක‍්‍රීඩා නිලධාරී තනතුරු 10 ක්ද පිරවීම අරමුණු කරගනිමින් සමස්ත ක‍්‍රීඩා නිලධාරීන් 25 දෙනෙකු අඵතින් බදවාගැනීමට වයඹ පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් ගෙන තිබූ තීරණයක් මෙම අයදුම්පත් කැදවීමට හේතු වී තිබිණි.වයඹ පළාත් සභාව විසින් ක‍්‍රීඩා නිලධාරීන් බදවාගැනීම පිණිස අයැදුම්පත් කැදවන්නේ වසර ගණනාවකට පසුව වූ බැවින් එය තමන් වෙත ලැබුණු අගනා අවස්ථාවක් ලෙස සැලැකූ වයඹ පළාතේ දෙස් විදෙස් ජයග‍්‍රහණ ලබාගත් ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් ඒ සදහා අයදුම්පත් යොමුකරන්නට වූහ.

ක‍්‍රීඩා නිලධාරී යනු කවුද ?

වයඹ පළාත් සෞඛ්‍ය,දේශීය වෛද්‍ය,ක‍්‍රීඩා හා ‍යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ස්ථාපනය කර ඇති මෙම තනතුර 3 වැනි ශ්‍රේණියේ තනතුරකි.රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ 6/2006(4)-MTI/2006A චක‍්‍රලේඛයට අනුව මෙම තනතුරට හිමිවන්නේ රුපියල් 14425 ක් වූ මූලික වැටුපකි.ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවයේ යෙදවෙන මෙම නිලධාරීන් වෙත පැවරෙන ප‍්‍රධානම කාර්යය වන්නේ ග‍්‍රාමීය වශයෙන් විසිරී සිටින නවක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සොයාගැනීම සහ ඔවුන් පුහුණු කිරීමයි.එහි අග‍්‍රඵලය ලෙස ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ක‍්‍රීඩා උළෙලක් පවත්වා ඉන් සුදුදුකම් ලබන ක‍්‍රීඩකයන් ඉන් ඉහළ තරගවලට යොමු කිරීමද මෙම ක‍්‍රීඩා නිලධාරීන්ගේ රාජකාරී ලැයිස්තුවට අයත් වෙයි.සරලව කිවහොත් ක‍්‍රීඩා නිලධාරී තනතුර යනු සාමාන්‍ය කාර්යාලීයය රාජකාරීවලින් තොර,සේවා කාලය පුරාම පිටියේ රාජකාරී කිරීමට සිදු වන තනතුරකි.ඒ සදහා වූ පෙර සූදානම සහිතව ක‍්‍රීඩා නිලධාරී තනතුරට අයැදුම් කිරීමට ලකලෑස්ති වූ වයඹ පළාතේ ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන්ට තරු විසිවුණේ පූර්ණ කාලීනව ක‍්‍රීඩාවක යෙදුණ අයෙකුට මෙදා කපේදී ඉටුකළ නොහැකි කොන්දේසි ගණනාවක් ඒ සදහා පනවා තිබූ බැවිනි.

වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසම වෙනුවෙන් එහි ලේකම් කාන්ති වේහැල්ල මහත්මිය විසින් අදාල තනතුර සදහා අයදුම්පත් කැදවමින් එම පළ කළ ගැසට් නිවේදනයෙහි එම තනතුරට අයැදුම්කිරීම සදහා පැවතිය යුතු අධ්‍යාපන සුදුසුකම් මෙලෙස දක්වා තිබිණි.

3. 1 (අ) අධ්‍යාපන සුදුසුකම්

(1) අ.පො.ස (සා/පෙළ )විභාගයේදී සිංහල/දෙමළ හා ගණිතය විෂයන් සහ තවත් විෂයන් 02 කට සම්මාන සහිතව ඉංග‍්‍රීසි භාෂාවද ඇතුළත්ව විෂයන් 06 ක් එකවර සමත් වී තිබීම.

(2) අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උසස්පෙළ)විභාගයේදී අවම වශයෙන් විෂයන් 03ක් (සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර ) සමත් වී තිබීම.

(3) ජාතික ක‍්‍රීඩා විද්‍යායතනය මගින් පවත්වනු ලබන වසරකට නොඅඩු ඩිප්ලෝමාව පාඨමාලාවක් හදාරා සමත් වී තිබීම

බලවත් යැයි සම්මත රටවල් පවා සිය ගණනින් පරදවා ශ‍්‍රී ලංකා ධජය ජාත්‍යන්තර තුළදී ඔසවා තබන්නට සමත්වීම පදනම් කරගනිමින් ක‍්‍රීඩා නිලධාරී තනතුරක් පිළිබදව මහත් බලාපොරොත්තු තබා සිටි වයඹ පළාතෙන් බිහි වූ පදක්කම්ලාභී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසකට සිදු වූයේ මෙම ගැසට් නිවේදනය දෙස බලා සිය අපේක්ෂාවන් බොද කරගන්නටය.ඒ ,ජාත්‍යන්තර පදක්කමක් දිනාගැනීම වෙනුවෙන් සිය පුද්ගලිකත්වය පවා අමතක කරමින් කරනලද සුවිසල් කැපකිරීමේදී මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙතින් මගහැරී ගිය සුදුසුකම් රැසක් ක‍්‍රීඩා නිලධාරී තනතුර වෙනුවෙන් වයඹ පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් බලපොරොත්තු වී තිබීම හේතුවෙනි.

ක‍්‍රීඩා නිලධාරී තනතුරක් වෙත පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි මග අවුරාලමින් වයඹ පළාතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙත වැටී තිබූ පළමු වැට කඩුල්ල වූයේ ” අ.පො.ස ( සා/පෙළ ) විභාගයෙන් සිංහල/දෙමළ හා ගණිතය විෂයන් සහ තවත් විෂයන් 02 කට සම්මාන සහිතව ඉංග‍්‍රීසි භාෂාවද ඇතුළත්ව විෂයන් 06 ක් එකවර සමත් වී තිබීම”යන කොන්දේසියයි.ජාත්‍යන්තර පදක්කමක් දිනාගැනීම උදෙසා දැඩි කැපකිරීමක් කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් මෙවැනි උසස් විභාග ප‍්‍රතිඵලයක් ඉල්ලා සිටීම අයුක්ති සහගත බව ප‍්‍රතික්ෂේප කිරීමට ලක් වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ මතය වෙයි.ජාතික සහ ජාත්‍යන්තර පදක්කම් ඉලක්ක කරගනිමින් සිදුකරන දැඩි පුහුණුවකදී අධ්‍යාපනය කටයුතුවලට මුල්තැනක්දීමට අවස්ථාවක් නොලැබුණු බැවින් , ලියුම්කරුට මුණගැසුණු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බහුතරයක්ම සිය අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කරගෙන තිබුණේ දෙවැනි වරටත් විභාගයට පෙනී සිටීමෙන් පසුවය. ලංකාව ක‍්‍රීඩාවෙන් බැබළ වූ සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා සහ වයඹ පළාතේම ක‍්‍රීඩකයෙකු වන අජිත් බණ්ඩාර පවා ඉහළ උසස් අධ්‍යාපන ප‍්‍රතිඵල සහිත අයවලූන් නොවන බව මෙහි සදහන් කරන්නේ ඔවුන්ට කරන අගෞරවයක් ලෙස නොව ඔවුන්ගේ කැපකිරීමට කරන ගරුකිරීමක් වශයෙනි.

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙතින් ඉහළ අධ්‍යාපන සුදුසුකම් බලාපොරොත්තු විය හැකිදැයි ,ප‍්‍රවීණ මළල ක‍්‍රීඩා පුහුණුකරුවෙකු මෙන්ම ක‍්‍රීඩා අමාත්‍යංශයේ විශ‍්‍රාමික නිලධාරියෙකුද වන යෝගානන්ද විජේසුන්දර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා විසින් දැක්වූයේ මෙවැනි ප‍්‍රතිචාරයකි.

”රට වෙනුවෙන් සෙල්ලම් කරලා පදක්කමක් ගෙනාව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවකට රස්සාවක් දෙන්න උසස් විභාග ප‍්‍රතිඵලයක් ඉල්ලා සිටිනවා නම් ඒක ඉතාම අසාධාරණයි.ලංකාවේ එක් අවුරුද්දකදී දහස් ගණනක් විභාග සමත්වෙනවා.නමුත් එක් අවුරුද්දකදී රටට ජාත්‍යන්තර පදක්කම් ලැබෙන්නේ දෙකයි නැත්නම් තුනයි.මේ ක්ෂේත‍්‍ර දෙක එක තරාදියක දාලා මනින්න බැහැ.රටට පදක්කමක් ගේන්න කරන කැපකිරීම්වලට සාපේක්ෂව තමන්ගේ අධ්‍යාපන කටයුතු පවා කැපකරන්න මේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සිද්ධ වෙනවා.ඒ නිසා අඩුම තරමින් මේ සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රතිඵලය දෙවරකට නොවැඩි වාර ගණනකදී කියන සීමාවට යටත් කරලා ඉල්ලන්න තිබුණා.මේ ඉල්ලලා තියෙන ප‍්‍රතිඵල වලින් අපේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් දහදෙනෙකුටවත් මේ තනතුරට අයදුම් කරන්න පුලුවන් වුනොත් මම පුදුම වෙනවා.”

සැබැවින්ම මෙම ගවේෂණයේදී අප විසින් සම්මුඛ සාකච්ඡාවට ලක් කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දොළොස් දෙනෙකු අතරින් අමාත්‍යංශය බලාපොරොත්තු වන අධ්‍යාපන ප‍්‍රතිඵල සහිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් එක් අයෙකු හෝ නොසිටි බව මෙහි සටහන් කර තබන්නේ කණගාටුවෙනි.එම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දොළොස් දෙනාම වයඹ පළාත වෙනුවෙන් ක‍්‍රීඩා කර ජාතික සහ ජාත්‍යන්තර පදක්කම් දිනූ අයවලූන්වීම එම කණගාටුව දෙගුණ තෙගුණ කරවයි.මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කිසිවෙකුත් සාමාන්‍යපෙළ විභාගය අසමත් වූ අය නොව පළමු අවස්ථාවේදී ගණිතය විෂයට ඌන සාමාර්ථ හෙවත් ‘එස්’අගයක් ලැබූ අය වන වන අතර, දෙවැනිවර විභාගයට පෙනී සිටීමෙන් පසුව එම සාමාර්ථය සම්මාන සාමාර්ථයක් හෝ විශිෂ්ට සාමාර්ථයක් බවට පත්කරගැනීමට මේ සියලූ දෙනා සමත්වී සිටිති. එබැවින් මෙම ජාත්‍යන්තර පදක්කම්ලාභීන්ට හරහට හිට ඇත්තේ ”සාමාන්‍ය පෙළ එකවර සමත් ” කොන්දේසිය බව පැහැදිලිය.

උතුර එපා කියන, වයඹ ඕනෑ කියන ජාතික ක‍්‍රීඩා විද්‍යාතන ඩිප්ලෝමාව

වයඹ පළාතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සිය දක්ෂතාවයන් පදනම් කරගනිමින් පළාත් ක‍්‍රීඩා නිලධාරී තනතුරකට පත්වීම සදහා එතෙක් පැවැති පහසු මග අවහිර කරමින් පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් ඔවුන් වෙත බදින දෙවැනි වැට කඩුල්ල වන්නේ ” ජාතික ක‍්‍රීඩා විද්‍යාතන ඩිප්ලෝමාව සමත් වී තිබීම” යන සුදුසුකම ඉල්ලා සිටීමයි.

වයඹ පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් බහු අර්ථයෙන් හදුන්වා ඇති නමුත් ජාතික ක‍්‍රීඩා විද්‍යායතනය මගින් පවත්වනු ලබන වසරකට නොඅඩු ඩිප්ලෝමාවන් මහ ගණනක් නැත. ඇත්තේ එකම එක ඩිප්ලෝමාවකි. එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවක් වන එම ඩිප්ලෝමාව පූර්ණ කාලීන හෙවත් සතියේ දින පහක් පුරා දේශණ පැවැත්වෙන එකකි.කොළඹදී පැවැත්වෙන මෙම ඩිප්ලෝමාව හැදෑරීමට යම් ක‍්‍රීඩකයෙකුට හෝ ක‍්‍රීඩිකාවකට අවශ්‍ය නම් සතියේ දින පහ පුරාම කොළඹ ගොස් පෙරවරු 8. 30 සිට පස්වරු 4 දක්වා පැවැත්වෙන දේශන සදහා අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු වෙයි. ඒ අනුව සරලව කිවහොත් අදාල ඩිප්ලෝමාව හැදෑරීමට අවශ්‍ය නම් යම් ක‍්‍රීඩකයෙකුට හෝ ක‍්‍රීඩිකාවකට වසරක කාලයක් සදහා සිය පුහුණුවීම් අතහැරදැමීමට සිදු වෙයි.වසරක කාලයක් සිය පුහුණුවීම් කඩාකප්පල් කරගත් ක‍්‍රීඩකයෙකුට හෝ ක‍්‍රීඩිකාවකට ඊළග තරගයේදී මුහුණදීමට සිදුවන ඉරණම පිළිබදව අමුතුවෙන් කිවයුතු නොවේ.වයඹ පළාතේ ක‍්‍රීඩා බලධාරීන් නොදන්නා නමුත් වෘත්තීය මට්ටමින් ක‍්‍රීඩාවේ නියැලී සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික ක‍්‍රීඩා විද්‍යායතන ඩිප්ලෝමාව හැදෑරීමට මැලිකමක් දක්වති.එම නිසා රැවුලත් ,කැදත් දෙකම බේරාගැනීමේ න්‍යාය මත පිහිටා මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සිය පුහුණුවත් , ඩිප්ලෝමාවත් යන දෙකම එකවර සම්පූර්ණ කරගැනීම සදහා පේරාදෙණිය සහ සබරගමුව විශ්ව විද්‍යාල ඇතුඵ තවත් විශ්ව විද්‍යාල කිහිපයක් මුල් වී,ඒ ඒ විශ්ව විද්‍යාලයන් යටතේ ක‍්‍රීඩා විද්‍යාව පිළිබද ඩිප්ලෝමාවන් රැසක් හදුන්වාදීමට මේ වන විට කටයුතු කර තිබේ.විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්පත් දායකත්වය යටතේ පැවැත්වෙන මෙම ඩිප්ලෝමාවන්හි දේශණ සහ ප‍්‍රායෝගික සැසියන් පැවැත්වෙන්නේ සති අන්තයේදී බැවින් වෘත්තීය මට්ටමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විශාල පිරිසක් මෙම ඩිප්ලෝමාවන් හැදෑරීමට යොමු වී සිටිති.මෙම ඩිප්ලෝමාවන්හි විෂය නිර්දේශයන් සහ සැකැස්ම සදහා පළමුව අදාල විශ්ව විද්‍යාලයේ පාලක සභාවෙනුත්,දෙවනුව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාවෙනුත් අනුමැතිය හිමිවීමෙන් පසුව එය ජාත්‍යන්තර මට්ටමින් පිළිගන්නා ඩිප්ලෝමාවක් බවට සහතික කිරීමට අදාළ විශ්ව විද්‍යාලය සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව එක්ව කටයුතු කර තිබේ.පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් නිකුත් කරනු ලබන මෙම ක‍්‍රීඩා ඩිප්ලෝමා සහතිකය සහිතව ඔස්ටේ‍්‍රලියානු විශ්ව විද්‍යාලයන්හි සිව් අවුරුදු ක‍්‍රීඩා උපාධිය හැදෑරීම සදහා අයදුම්කරන අයැදුම්කරුවන්ට අදාළ උපාධියේ පළමු වසර නිදහස් කර දෙවැනි වසරේ සිට එම උපාධිය හැදෑරීමට අවස්ථාව ලබාදීමට එරට විශ්ව විද්‍යාලයන් විසින් කටයුතු කරනු ලබයි.වයඹ පළාත් සභාව විසින් ජාතික ක‍්‍රීඩා විද්‍යායතනය ඩිප්ලෝමාව පමණක් යන දැඩි තීන්දුව මත පදනම් වෙමින් අඵයම ලූ කෙළ පිඩක් ලෙස මෙලෙස නොසලකා හරින්නේ එවැනි ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ඩිප්ලෝමාවකි.

ජාතික ක‍්‍රීඩා විද්‍යායතනය විසින් පවත්වනු ලබන ඩිප්ලෝමාවේ සහ මෙරට විශ්ව විද්‍යාලවලින් පවත්වනු ලබන ක‍්‍රීඩා ඩිප්ලෝමාවල ගුණාත්මක අතින් වෙනසක් ඇතිදැයි විමසාබැලීම සදහා අප යෝගානන්ද විජේසුන්දර මහතාව යළිත් වරක් තෝරාගත්තේ ඒ මහතා ජාතික ක‍්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා ලෙසද කලක් කටයුතු කර ඇති බැවිනි.

”නැහැ. මේ ඩිප්ලෝමාවල සියල්ලගේම ගුණාත්මකභාවය එක සමානයි.එකම විෂය නිර්දේශය තමයි හැම ඩිප්ලෝමා එකේම ඇතුළත්වෙලා තියෙන්නේ.වෙනසකට තියෙන්නේ විශ්ව විද්‍යාල ඩිප්ලෝමාවල සියලූ ඉගැන්වීම් කෙරෙනේනේ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු මගින් පමණයි.ඉතිං අදාළ විශ්ව විද්‍යාලයයි,විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාවයි එකතුවෙලා ඒ ඩිප්ලෝමා එක පිළිගත් එකක් බවට සහතික කරනවා නම් වයඹ ක‍්‍රීඩා අමාත්‍යංශය ඒ ඩිප්ලෝමා පිළිගන්න බැහැයි කියන්නේ මොන පදනමකින්ද ?ඒක හරිම අසාධාරණයි.මේ අයදුම්පත් කැදවීමේදී ඇතුලත් විය යුතුව තිබුණේ ජාතික ක‍්‍රීඩා විද්‍යායතනය මෙහෙයවන ලබන ඩිප්ලෝමාව හෝ ඊට සමාන සුදුසුකම් ඇති වෙනත් ඩිප්ලෝමාවක් කියලයි.”

වයඹ ක‍්‍රීඩාව හසුරවමින් සිටින ඉහළ නිලධාරීන් විසින් ගත් මෙම ඩිප්ලෝමා තීන්දුව නිවැරදි තීරණයක් නොවන බව වැඩිකලක් යන්නට මත්තෙන් දිවයිනේ තවත් පළාත් සභාවක් වන උතුරු පළාත් සභාව විසින් ඇස් පනාපිටම ඔප්පුකර පෙන්වීය. වයඹ පළාත් සභාවට සමගාමීව උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිසම විසින්ද එම පළාත සදහා ක‍්‍රීඩා නිලධාරීන් බදවාගැනීමට 2015 සැප්තැම්බර් 30 වැනි දින අයැදුම්පත් කැද වු අතර අදාළ අයදුම්පත මෙම ලිපියෙහි තවත් තැනක දැක්වෙයි.13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ එක සමාන බලතල පැවරී ඇති පළාත් සභාවන් දෙකක් වන නමුත් ,පුදුමයකට මෙන් ක‍්‍රීඩා නිලධාරීන් බදවාගැනීමේදී මෙම පළාත් සභාවන් දෙක ක‍්‍රියාකර ඇත්තේ දෙවිදියකට බව පැහැදිලිය.එනම් වයඹ පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් ජාතික ක‍්‍රීඩා විද්‍යායතනයේ ඩිප්ලෝමාවක් ගැන කියමින් පළාතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට දොරවල් වසා දමද්දී උතුරු පළාත් සභාවේ ක‍්‍රීඩා නිලධාරීයෙකු ලෙස පත්වීම සදහා එම පළාතේ ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් තම ක‍්‍රීඩක    ක‍්‍රීඩිකාවන්ගෙන් ඉල්ලා සිටින්නේ අධ්‍යාපන සුදුසුකම් සැපිරීම සහ ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් දිනා ගත් පදක්කමක් පමණි.uthuru palath applicatino  new58
uthuru palath applicatino 2

ඇමැතිටත් උඩින් ගිය වයඹ ක‍්‍රීඩා බලධාරියෝ

ක‍්‍රීඩා නිලධාරී තනතුරට ඇතුළත්වීමේදී පළාතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉදිරිපිට ලෙහෙසියෙන් බිදහෙළිය නොහැකි වැට කඩොඵ ගණනාවක් බැදෙමින් ඇති බව කල් තියාම වටහාගත් වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩා නිලධාරීහු මේ පිළිබදව වයඹ පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශයේදී බලධාරීන් සමග සාකච්ඡා වට ගණනාවක් පවත්වමින් දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.ඒ 2013 ජූනි මාසයේදී,2013 සැප්තැම්බර් මාසයේදී සහ 2013 ඔක්තෝම්බර් මාසයේදීය.එම සාකච්ඡාවන්හි ප‍්‍රතිඵලයක් ලෙස පෙර පැවැති සුදුසුකම් ,එනම් අ.පො .ස සාමාන්‍යපෙළ දෙවරකට නොවැඩි ගණනකදී ගණිතය සහ ඉංග‍්‍රීසි විෂයන් සමත්වීම යන සුදුසුකම සලකාබැලීම මෙන්ම ක‍්‍රීඩා ඩිප්ලෝමාවන් නැති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අභ්‍යාසලාභී තනතුර යටතේ බදවාගෙන රැකියාවේ සිටියදීම එම සුදුසුකම සම්පූර්ණ කිරීමේ අවස්ථාව ලබාදීමටද වයඹ පළාතේ බලධාරීහු එකග වී තිබේ.ඒ අනුව දෙපාර්ශ්වය විසින් එකග වූ ඉහත සුදුසුකම් ඇතුළත් කර ඒ අනුව ක‍්‍රීඩා නිලධාරීන් බදවාගැනීමේ පටිපාටිය 2013 ඔක්තෝම්බර් මස 07 වැනිදා පැවැති අවසන් සාකච්ඡාවේදී කෙටුම්පත් කරනු ලැබීය.එලෙස සකස්කෙරුණු පටිපාටිය අනුව ඉදිරි බදවාගැනීම් සිදුකිරීම සදහා අදාළ කෙටුම්පත වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසම වෙත යැවීමටද එම සාකච්ඡාවේදී එකග විය.ඒ අනුව අදාළ කෙටුම්පතේ අවසන් සැකසුම් වගකීම භාරකෙරුණේ වයඹ පළාත් සෞඛ්‍ය,දේශීය වෛද්‍ය,ක‍්‍රීඩා හා යෞවන කටයුතු  අමාත්‍යංශයේ හිටපු සහකාර ලේකම්වරියක වූ නිලූකා ජයවර්ධන මහත්මිය වෙතය.වයඹ පළාතේ සම්මානනීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට වැසී යන්නට ගිය දොරටුවක් තමන්ගේ මැදිහත්වීම මත තවදුරටත් විවෘතව තැබීමට හැකි වූ බවට උදම් අනමින් සිටි ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩා නිලධාරීන්ටද දවල් තරු පෙණුනේ,තමන් විසින් සංශෝධනය කරන්නැයි ඉල්ලූ සුදුසුකම්ම ඇතුළත් කරමින් ක‍්‍රීඩා නිලධාරී තනතුරට බදවාගැනීම සදහා ඉකුත් මැයි මාසයේදී අයදුම්පත් කැදවා ඇති ආකාරය දුටුවිටදීය. 2013 වසරේ තමන් ඉදිරියේම සකස් කළ බදවාගැනීමේ පටිපාටිය කුණු කූඩයට දමා අදාළ කෙටුම්පතෙහි අවසන් වගකීම භාරගත් වයඹ පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශයේ හිටපු සහකාර ලේකම්වරිය කටයුතු කර ඇත්තේ ‘නංගි පෙන්වා අක්කා දීමේ පිළිවෙතෙහි පිහිටා සිට බවට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩා නිලධාරීහු දැන් චෝදනා කරති.

එවකට වයඹ ක‍්‍රීඩා අමාත්‍යධූරය හෙබ වූ වයඹ පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩී.බී.හේරත් මහතා සමග ලියුම්කරු කළ සාකච්ඡාවකදී ඔහු විසින් අනාවරණය කළ එක් කරුණක් ලියුම්කරුගේ විස්මයට හේතු විය.වයඹ පළාතේ ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩා නිලධාරීන්ද 2013 වසරේදී අවස්ථා කිහිපයකදීම තමා හමු වූ බවත්,ක‍්‍රීඩා නිලධාරීන් බදවා ගැනීමේදී පැනවී තිබූ අසාධාරණ සුදුසුකම් පිළිබදව දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා කළ බවද ඩී.බී.හේරත් මහතා එහිදී කීය.ක‍්‍රීඩි ක‍්‍රීඩිකාවන් විසින් කළ කරුණු දැක්වීම් සාධාරන යැයි හැගී ගිය බැවින් සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනකදී ගණිතය සමත්වීම ,ක‍්‍රීඩා නිලධාරී තනතුරට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම ලෙස ඇතුළත් කර බදවාගැනීමේ පටිපාටිය යළි සකස්කරන්නැයි තමා විසින් පළාත් ක‍්‍රීඩා බලධාරීන්ට නියම කළ නමුත් නිලධාරීන් විසින් එම නියෝගය ක‍්‍රියාත්මක කිරීම පැහැරහැර ඇති බව පසු කලෙක තමන්ට දැනගත හැකි වූ බවද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

අදාළ අයදුම්පත් කැදවීමේ ක‍්‍රියාවලිය කොතරම් අසාධාරණ සහ අවිධිමත් එකක් වූයේදැයි එම අයදුම්පත් කැදවීම සිදු වූ සමයෙහි අමාත්‍යධූරය හෙබවූ හිටපු අමාත්‍ය ඞී.බී.හේරත් මහතා විසින්ම ලියුම්කරු වෙත කළ මෙම ප‍්‍රකාශයෙන්ම තහවුරු වෙයි.

”මේ අයදුම්පත් කැදවීම ඉතාම වැරදි විදිහටයි සිද්ධවුණේ.ඒ නිසා වයඹ පළාතේ ඉන්න දක්ෂ දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අමාත්‍යංශය ඇතුළට එන්න තිබුණු අවස්ථාව නැතිවෙලා ගියා.මේකේ සම්පූර්ණ වරද තියෙන්නේ නිලධාරීන් අතේ.අපි කියන කිසිදෙයක් නිලධාරීන් ඇහැව්වේ නැහැ.ඒ නිසා ඔය අයදුම්පත් කැදවීම අවලංගු කරලා,බදවාගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීමෙන් පසුව යළි අයදුම්පත් කැදවීමක් කරන්න මම හිතාගෙන හිටියා.නමුත් හදිසියේම ඊට පෙර මට ඒ ඇමැතිකමෙන් ඉවත්වෙන්න සිද්ධවුණා. ”

හිටපු අමාත්‍යවරයාගේ නියෝගය නොසලකා හැරියේ ඇයිදැයි එවකට එම අමාත්‍යංශයේ ලේකම් ටී.බී.වික‍්‍රමසිංහ මහතාගෙන් (වර්තමානයේදී වයඹ පළාත් සභාවේ සෞඛ්‍ය,දේශිය වෛද්‍ය,සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභාකටයුතු පිළිබද අමාත්‍යංශ ලේකම් )කළ විමසීමකදී අමාත්‍යවරයාගෙන් එවැනි නියෝගයක් ලැබුණු බව සැබෑවක් නමුත් එය ක‍්‍රියාත්මක කරවීම අතපසු වූ බවත් ලේකම්වරයා විසින් පිළිගනු ලැබීය.එම අතපසුවීමට හේතු විමසීමේදි සාධාරණ සහ පිළිගත හැකි හේතුවක් ඉදිරිපත්කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා අපොහොසත් වු අතර අමාත්‍යංශ ලේකම්වරයා සමග කළ කතාබහේදී හෙළි වූ වැදගත් කරුණ නම් ක‍්‍රීඩා නිලධාරීන් බදවාගැනීමේ පටිපාටිය සැකසීම සහ එම කෙටුම්පත පළාත් රාජ්‍ය සේවා කොමිසම වෙත සම්පේ‍්‍රෂණය කිරීමේ පූර්ණ වගකීම පැවරී තිබුණේ පෙර කී සහකාර ලේකම්වරිය වූ නිලූකා ජයවර්ධන මහත්මිය වෙත බවය. ඒ අනුව පැහැදිලි වන්නේ පළාත් ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් සෘජු නියෝගයක් ලබාදී තිබියදීත් ,ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩා නිලධාරීන් හමුවේ එකගතාවයකට පැමිණ තිබියදීත්,ඒ සියඵ නියෝග සහ එකගතාවයන් බැහැර කරමින් හිටපු සහකාර ලේකම් (පසුව වයඹ පළාත් වැඩබලන ක‍්‍රීඩා අධ්‍යක්ෂ තනතුරටද පත් වූ නිලූකා ජයවර්ධන මහත්මිය හෝ ඇය යටතේ සිටි නිලධාරීන් විසින් කටයුතු කර ඇති බවකි.

වයඹ ක‍්‍රීඩාවේ අනාගතය සැලසුම් කරන බව කියන උසස් නිලධාරීන් මේ අයුරින් ක‍්‍රියාකරන්නේ ඔවුන් පවා එම තනතුරුවලට පත් වී ඇත්තේ ක‍්‍රීඩා සුදුසුකම් මත නොව අධ්‍යාපන සුදුසුකම් පමණක් පදනම් කරගනිමින්වීම නිසා බවටත් අසාධාරණයට ලක් වූ ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවෝ කියති.යටත් පිරිසෙයින් මෙම නිලධාරීන් පිටියකට බැස ‘අල්ලම් සෙල්ලම්’වත් නොකළ පිරිසක් වන බැවින් ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන්ගේ කැපකිරීම් සහ ජයග‍්‍රහණ පිළිබදව ඔවුන්ට තක්සේරුවක් නැති බවටද තවත් චෝදනාවක් නැගෙයි.මෙලෙස නැගෙන චෝදනා පිළිබදව වයඹ පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශයේ හිටපු සහකාර ලේකම් නිලූකා ජයවර්ධන මහත්මියගෙන් (දැනට පළාත් සෞඛ්‍ය සේවයේ තනතුරක් හොබවමින් සිටින්නීය.)විමසීමට අවස්ථා කිහිපයකදීම ලියුම්කරු විසින් උත්සහ කළ නමුත් අමාත්‍යංශ ලේකම්වරයාගේ අවසරයක් නොමැතිව තමන්ට මාධ්‍යට කතා කළ නොහැකි බව පවසමින් ඕ එම අවස්ථාව ප‍්‍රතික්ෂේප කළාය.නිලධාරිනියක් ලෙස ඇය ගත් තීන්දුව සාධාරණීකරණය කිරීමට තරම් සාධාරණ හේතු ඇය සතුව තිබිය හැකි බැවින් අමාත්‍යංශ ලේකම්වරයාගේ අවසරයක් ලබාගෙන හෝ ඒ පිළිබදව ඇය විසින් කරුණු පැහැදිලි කිරීමක් කරනු ඇති බවට අප විසින් තබා තිබූ බලාපොරොත්තුවමෙම ලිපිය පළකරන අවස්ථාව වන තුරුම ඉටු නොවීය.

නිලධාරී ගිලිටීනයට හසු වූ වයඹ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ

පෙර කී ලෙසම මෙම අසාධාරණයට සහ පත් වූ එක් ක‍්‍රීඩාකාවක් වූ ප‍්‍රියංගිකා මධුමන්තිගේ හැකියාවන් සහ දක්ෂතාවය ගැන කියන්නට අමුතුවෙන් වචන වැය කළ යුතු නොවන අතර මධුමන්ති යනු වයඹට පමණක් නොව රටටත් කෙතරම් වටිනා ක‍්‍රීඩිකාවක්දැයි ඇය ගැන නොදන්නා අයෙකුට විස්තර කරදීම සදහා ලියුම්කරුට වැය කරන්නට සිදුවන්නේ වැකි තුනක් පමණකි.

01. 2010 වසරේ බංග්ලාදේශයේ ,බංගබන්දු ක‍්‍රිඩාංගණයේදි පැවැති 11 වැනි දකුණු ආසියාතික ක‍්‍රීඩා උළෙලේදී උස පැනීම කාන්තා ඉසව්වෙන් මීටර් 1.81ක උසක් පනිමින් නව සාග් තරග වාර්තාවක්ද පිහිටුවමින් රන් පදක්කම දිනාගැනීමට මධුමන්ති සමත් වූ අතර අදටත් නොබිදුණු එම සාග් වාර්තාව මධුමන්තිගේ නම ඉදිරියේ සටහන් වී පවතී.

02. 2004 වර්ෂයේ සිට මේ දක්වා වූ වසර 11 ක කාලයක් පුරාවට මීටර 1. 85 ක උසක් සහිත ශ‍්‍රී ලංකා උසපැනීමේ වාර්තාවට හිමිකම් කියන්නේ මධුමන්ති වන අතර ඇය විසින් පනිනු ලැබූ එම උස ප‍්‍රමාණය ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩිකාවක විසින් පනිනු ලැබූ වැඩිම උස ප‍්‍රමාණය ලෙසද ඉතිහාසයට එක් වෙයි.

03.  ජාතික මහා ක‍්‍රීඩා උළෙල, ජාතික ශූරතාවලිය සහ ජාතික යෞවන ක‍්‍රීඩා උළෙල යන මෙරට ප‍්‍රධානම ක‍්‍රීඩා උළෙලවල් තුනෙහිම උස පැනීමේ කාන්තා ඉසව්වෙන් අද දක්වා යම් වාර්තාවක් ලියැවී ඇතිද ඒ සියඵ වාර්තා පවතින්නේ ප‍්‍රියංගිකා මධුන්තිගේ නමිනි.
sport4 copy

ක‍්‍රීඩාව පිළිබද එවැනි අසමසම දක්ෂතාවයකින් හෙබි මධුමන්ති වයඹ පළාත් ක‍්‍රීඩාඅමාත්‍යංශයේ ක‍්‍රීඩා නිලධාරී තනතුරකට ඇතුළත්වීම පිණිස වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසම වෙත අයදුම්පතක් යොමුකරන්නේ 2015 ජූනි මස 23 වැනිදාය.ක‍්‍රීඩා නිලධාරී තනතුරක් පිළිබදව මාස ගණනක් තිස්සේ සිහින දකිමින් සිටි මධුමන්තිගේ සුබ සිහින බොදකරවමින් වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ සහකාර ලේකම් අරුණි ජයවීර මහත්මියගේ අත්සනින් යුතුව මධුමන්ති වෙත ලිපියක් ලැබෙන්නේ 2015 සැප්තැම්බර් 02 වැනිදාය.එම ලිපියෙන් මධුමන්ති වෙත දන්වා ඇත්තේ අපොස සාමාන්‍ය පෙළ සුදුසුකම් සහ ජාතික ක‍්‍රීඩා විද්‍යායතනය මගින් පවත්වනු ලබන වසරකට නොඅඩු ඩිප්ලෝමාව පාඨමාලාවක් හදාරා සමත් වී තිබීම යන සුදුසුකම් ද්විත්වය නොමැතිවීම මත ඇයගේ අයදුම් පත‍්‍රය ප‍්‍රතික්ෂේප කරන්නට සිදුවූ බවකි.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පළමු අවස්ථාවේදී ගණිතය විෂයට ඌණ සාමාර්ථයක් ලැබීමේ පාපය මත (දෙවැනිවර ඇයට ඇති සම්මාන සාමාර්ථය හෝ නොසලකා )වසර එකොළක් තිස්සේ නොබිදුණු ජාතික වාර්තාවක් සහ වසර පහක් තිස්සේ නොබිදුණු ජාත්‍යන්තර වාර්තාවක් පිහිටුවන්නට සමත් වූ මධුමන්තිව වයඹ පළාත් සභාවෙන් ‘ඇගයීමට’ ලක් කළේ එලෙසිනි. එමෙන්ම මෙරට සහ පිටරටදී ඉහළ පිළිගැනීමක් ඇති බවට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව විසින් සහතික කරනු ලැබුවාවත්,මෙරට උසස්ම විශ්ව  විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පිරිනැමෙන්නාවූත්,ක‍්‍රීඩා විද්‍යාව පිළිබද ඩිප්ලෝමාව ඉහළින්ම සමත් වී සිටින මධුමන්තිට,එම ඩිප්ලෝමාව ජාතික ක‍්‍රීඩා විද්‍යායතනය මගින් පවත්වනු ලබන ඩිප්ලෝමාවක් නොවීමේ පාපය මත වයඹ පළාත් සභාවේ දොර වැසී ගියේය.

අමිහිරි ප‍්‍රතිඵල

වයඹ ක‍්‍රීඩාවේ පරිපාලනය භාරව සිටි නිල බලධාරීන්ගේ තීන්දු තීරණවල හොදකම නිසාවෙන්ම උක්ත සිදුවීමෙන් දැඩි කළකිරීමට පත් ප‍්‍රියංගිකා මධුමන්ති පසුගිය මාසයේදි අකල්හි ක‍්‍රීඩාවට සමුදුන්නාය.මේ පිටුපස ඇති බේදවාචකය වන්නේ මධුමන්තිගේ අහලින් හෝ යා හැකි මට්ටමේ ක‍්‍රීඩිකාවක් බිහිවන ලකුණක් වයඹ පළාත තුළින් තබා සමස්ත ලංකාව තුළින්වත් පෙනෙන්නට නොවීමයි.සම්මාන සාමාර්ථ,අධි සාමාර්ථ මත වයඹ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ අනාගතය තීන්දු කරන්නට ගත් උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙස ක‍්‍රීඩාව එපා වූයේ මධුමන්තිට පමණකැයි ලඝු කළ යුතු නොවේ.මෙම ගවේෂණයේදි හෙළි වූ තොරතුරුවලට අනුව වයඹ පළාත බිහිකළ පදක්කම්ලාභී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දහදෙනෙකුට වැඩි පිරිසකට ක‍්‍රීඩා නිලධාරී තනතුරෙහි දොරවල් වැසීයාම නිසා එම පිරිසද මේ වන විට සිටින්නේ ක‍්‍රීඩාවෙන් සමුගැනීම සනිටුහන් කරන මානයේය. පී. ඩී. යූ. චංචනායක ( ඇවිදීමේ තරග ) අයි. එම්. එස්. අසංක ( තුන් පිම්ම) ලක්නාත් ඉන්දික ඒකනායක ( මීටර් 800 කෙටි දුර ) රුවන් සම්පත් රාජපක්ෂ (උස පැනීම සහ හෙල්ල විසිකිරීම )යනු වයඹ පළාත වෙනුවෙන් ජාතික මට්ටමේ පදක්කම් දිනා දුන් නමුත් ක‍්‍රීඩා නිලධාරී තනතුරේ සුදුසුකම් ගිලටීනයට හසු වී ගෙළ සිදගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතරින් කිහිප දෙනෙකු පමණි.

අතීතයේ ගත් ස්වර්ණමය තීන්දු දැන් කෝ ?

මේ අයුරින් අසාධාරණයට ලක්කිරීම සහ අවස්ථාව අහිමිකරවීම හරහා සිය ජීවිතයම ක‍්‍රීඩාව වෙනුවෙන් කැප කළ මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ අනාගතය අදුරුවීම එක් අතකින් සිදුවෙද්දී,ඔවුන්ගේ අත්දැකීම් සහ පළපුරුද්ද ක‍්‍රීඩාවේ සංවර්ධනය යොදානොගැනීම හේතුවෙන් තවත් අතකින් අදුරු වී යන්නේ වයඹ ක‍්‍රීඩාවේ අනාගතය බව සක්සුදක් සේ පැහැදිලිය.ජාතික මහ ක‍්‍රීඩා උළෙලේදී වයඹ පළාතට උදා වී ඇති පදක්කම් ඉඩෝරයම මෙම ප‍්‍රවීණයින්ගේ සේවාව වයඹ පළාත වෙනුවෙන් ලැබිය යුතු බවට දෙස් දෙයි.එබැවින් මෙම ප‍්‍රවීන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සේවාව වයඹ ක‍්‍රීඩාව වෙනුවෙන් ලබාගැනීමට අධ්‍යාපන සුදුසුකම් හරස්වන්නේ නම් ඊට විකල්ප මාර්ගයක් තැනීම වයඹ ක‍්‍රීඩා බලධාරීන් වෙත පැවරෙන වගකීමකි. ඒ වෙනුවෙන් අමුතු ආයාසයක් දරන්නට අවශ්‍ය නොවන අතර, එවැනි අතීතයක් වයඹ ක‍්‍රීඩාවට තිබූ බවට සනාථ කළ හැකි උදාහරණ වයඹ පළාත් සභාවේ අතීත ක‍්‍රියාකාරකම් පරීක්ෂාවට ලක්කිරීමේදී ලියුම්කරුට හමුවිය.වයඹ පළාත් සභාවේ ක‍්‍රීඩා නිලධාරිවරයෙකු ලෙස ගනේවත්ත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි දැනට සේවයේ යෙදී සිටින රුක්ෂාන් ගුණතිලක මහතා විශේෂ අවශ්‍යතාවයක් ලෙස සලකා පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශය වෙත බදවාගනු ලබන්නේ වයඹ පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩල තීරණයක් මතය.2011 වසරේදී ගත් අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය වයඹ පළාත් සභා ඉතිහාසයෙහි ස්වර්ණමය තීන්දුවක් බවට පත්කරවමින්,පොදු රාජ්‍ය මණ්ඩලියීය පදක්කමක් ඇතුඵ ජාත්‍යන්තර පදක්කම් වැළක් රටට දිනාදෙන්නට සමත් වූ යොවුන් බර ඉසිලීමේ ක‍්‍රීඩක ශෂික ඒකනායක ක‍්‍රීඩකයා වයඹ පළාතට දායාද කරදෙන්නට රුක්ෂාන් ගුණතිලක මහතා මේ වන විට සමත් වී සිටී.වර්තමානය වන විට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තොග ගණනින් ප‍්‍රතික්ෂේප කෙරෙමින් පවතින්නේ ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් එවැනි ස්වර්ණමය තීන්දු තීරණ ගනු වයඹ පළාත් සභාවෙන්ම වීම එක් අතකින් පුදුම එළවන සුඵය.

එබැවින්,ක‍්‍රීඩාව වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට මෙන්ම ඔවුන් සතු අත්දැකීම් සහ පළපුරුද්ද වයඹ ක‍්‍රීඩාවේ සංවර්ධනය සදහා උරාගැනීමේ අත්හළ නොහැකි වගකීමක් වයඹ ක‍්‍රීඩා අමාත්‍යවරයා ඇතුඵ ක‍්‍රීඩා බලධාරීන් වෙත පැවරී ඇති බව පැහැදිලිය.ක‍්‍රීඩා පරිපාලනයට පහසුවෙන් ප‍්‍රවේශවීම සදහා ඇති පහසු මං අවහිර කරවමින් වයඹ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉදිරියේ ඇති දැවැන්ත වැඩ කඩොඵ බිදහෙළන විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය මේ වන විට වයඹ පළාතට අන් කවරදාටත් වඩා දැනෙමින් ඇති බවට මෙම ගවේෂණයේ හෙළිකර ගත් කරුණු මත පිහිටා අප විසින් වයඹ පළාතේ ක‍්‍රීඩා බලධාරීන් වෙත යෝජනා කර සිටිමු.මේ වන විට පිටියෙන් ඈතට පියඹා යමින් සිටින වයඹ ක‍්‍රීඩා සමනල සමනලියන් තවදුරටත් පිටිය තුළම රදවාගැනීමට මෙන්ම වයඹ පළාතට උදා වී ඇති පදක්කම් ඉඩෝරය නිමා කරවන අක්වැස්සක් බලාපොරොත්තු විය හැක්කේද එවැනි විධිමත් වැඩපිළවෙළකින් පසුවය.spots1 copy

 ජාතික මහා ක‍්‍රීඩා උළෙල – ජවන හා පිටිය තරග – වයඹ පළාත

වර්ෂය        රන්         රිදී      ලෝකඩ    එකතුව

2011          12           06        07            25

2012          07           05        03           15

2013           05         06         06           17

2014          09          03        05            17
මූලාශ‍්‍රය – ක‍්‍රීඩා අමාත්‍යංශය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article