Tuesday, May 7, 2024

ගිය සතියේ මහින්ද ගෙදරට ගෙන්වූ ලංසකාර මේ සතියේ දයාසිරිත් එක්ක ඉන්දියා යයි!

Must read

alu_yata_gini_nov11Dරනිල්ගේ ආරක්ෂකයෝ සිහිසුන් වෙති.

පසුගිය සති අන්තය කුරුණෑගලට වඩාත් සුවිශේෂි විය. මක්නිසාදයත් පක්ෂ විපක්ෂ දේශපාලන නායකයින් සියලූ දෙනාම පාහේ ගෙවී ගිය සති අන්තය ගත කළේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ වූ බැවිනි. ඒ අනුව අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙන්ම ජවිපෙ නායක අනුර කුමාර දිසානායකද පසුගිය සතිඅන්තයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කය පුරා පැවැති වැඩසටහන් සහ ජනහමු කිහිපයකටම සහභාගී වූහ. අගමැති රනිල් වික‍්‍රමසිංහ කුලියාපිටියට ආවේ පසුගිය සෙනසුරාදාය. ඒ වයඹ පළාතේ සංවර්ධන කටයුතු පිළිබදව පළාතේ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡාවක් සදහාය. සාකච්ඡාව සූදානම් කර තිබුණේ කුලියාපිටිය විශ්ව විද්‍යාලයේ නව ශ‍්‍රවණාගාරයේදීය. වයඹ පළාත මුල් කරගත් මෙවැනි සාකච්ඡාවක් වෙනදාට පැවැත්වෙන්නේ කුරුණෑගල කේන්ද්‍ර කරගනිමින් වුවත් ඇමැති අකිලගේ මැදිහත්වීමෙන්දෝ අදාළ සාකච්ඡාව මෙවර කුලියාපිටියට මාරු වී ගොස් තිබිණි. කෙසේවෙතත් අගමැති රනිල්ගේ සම්ප‍්‍රාප්තියට කුලියාපිටිය විශ්ව විද්‍යාලයේ සිසුන්ගෙන් ලැබී තිබුණේ එතරම් යහපත් ප‍්‍රතිචාරයක් නොවේ. අගමැතිවරයාට විරෝධය පළකරමින් සිසුන් විසින් එල්ලා තිබූ බැනරයක් විශ්ව විද්‍යාල පිවිසුම් දොරටුව අසල බැබලෙමින් තිබිණි. කෙසේවෙතත් සිය විරෝධය බැනරයකට පමණක් සීමා කරන්නට විශ්ව විද්‍යාල සිසුන් විසින් වගබලාගෙන තිබූ අතර වෙනත් කිසිදු අන්දමේ බාධාවක් සිසුන් වෙතින් අගමැති රනිල්ට හෝ රැස්වීමට පැමිණි සෙසු පිරිස වෙත එල්ල වූයේ නැත. සංවර්ධන කටයුතු පිළිබද කෙරෙන සාකච්ඡාවක් යැයි හැදින්වුනු නමුත් අදාල රැස්වීම මාධ්‍යයටද විවෘත නොවීය. රැස්වීම සදහා වයඹ පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් මැති ඇමැතිවරුන් සියලූ දෙනාම කැදවා තිබූ නමුත් සම්මුතිවාදී ආණ්ඩුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය නියෝජනය කරන ටී. බී. ඒකනායක, අරුන්දික ප‍්‍රනාන්දු, ප‍්‍රියංකර ජයරත්න, ඉන්දික බණ්ඩාරනායක මෙන්ම තාරානාත් බස්නායකගේ මුහුණුද රැස්වීමේදී දැකගත හැකි නොවීය. එසේ නමුත් ඇමැති අනුර යාපා, මහ ඇමැති ධර්මසිරි, පළාත් ඇමැතිවරුන් වන ගුණදාස දෙහිගමද සහ සන්ධ්‍ය රාජපක්ෂද රැස්වීමට සහභාගී වී සිටිනු පෙණිනි. ඇමැති දයාසිරි විදෙස් ගත වී සිටීම හේතුවෙනුත්, මන්ත‍්‍රී නලින් බණ්ඩාරගේ මාමණ්ඩිය අභාවප‍්‍රාප්තවීම නිසාත් රැස්වීමට එන්නට නොහැකි බව ඔවුන් විසින් කල්ඇතිවම දන්වා එවා තිබිණි. රැස්වීම ආරම්භ කරමින් අදහස් දැක් වූ රනිල් වයඹ සංවර්ධන සැලැස්ම විස්තර කළේය. අනතුරුව මන්ත‍්‍රීවරුන්ටද සිය ගැටලූ පිළිබදව අදහස් දක්වන්නට අවස්ථාවක් ලැබුණු අතර පළාත් සභා මන්ත‍්‍රී මොහාන් පෙරේරා සුපුරුදු ලෙසම ගල්ගමුවේ වල් අලි ගැටලූව ගැන කතා කළේය. ඇමැති අනුර යාපා, මහ ඇමැති ධර්මසිරි, පළාත් සභා මන්ත‍්‍රී රංජිත් ගුණසේකර, අලව්ව ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂනායක මොහාන් වික‍්‍රමනායක ඇතුලූ කිහිපදෙනෙකුද තම තමන්ගේ බලප‍්‍රදේශවල ඇති ගැටලූ සම්බන්ධයෙන් මෙහිදී අගමැතිවරයා දැනුම්වත් කළහ. අනතුරුව රාජ්‍ය නිලධාරීන්ටද අදහස් හා යෝජනා ඉදිරිපත්කිරීමේ අවස්ථාවක් ලැබුණු නමුත් රාජ්‍ය නිලධාරීන් අතරින් නැගී සිට අදහස් දැක්වීමක් කළේ වයඹ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා මල්ලිකා තල්ගොඩපිටිය පමණි. පළාත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇති සංවර්ධන වැඩපිළිවෙලක් විස්තර කර දුන් වාර්මාර්ග අධ්‍යක්ෂවරිය ඒ සදහා රජයෙන් ප‍්‍රතිපාදන ලබාදෙන ලෙසට අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියාය. ඒ හැර අනික් නිලධාරීන් සියලූ දෙනාම අගමැතිවරයා ඉදිරියේ අනුගමනය කළේ නිහඩ පිළිවෙතකි. මේ අයුරින් රැස්වීම පැවැත්වෙමින් යද්දී වේදිකාව ඉදිරිපිට යම් කලබලයක් ඇති වූ බවක් දැකගත හැකි විය. රැස්වීමේ ඉදිරිපෙළෙහි අසුන්ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ජේ. සී. අලවතුවල සහ හෙක්ටර් අප්පුහාමි ඇතුලූ කිහිපදෙනෙකු යම් අයෙකු ඔසවාගෙන යන ආකාරයද පෙණිනි. ඒ පිළිබදව විමසිලිමත් වූ අයට දැකගත හැකි වූයේ අගමැතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් වේදිකාව ඉදිරිපිට ස්ථානගත කර සිටි ඇමැති ආරක්ෂක නිලධාරියෙකු බිම ඇද වැටී ඇති බවය. එම ආරක්ෂක නිලධාරියාට ඇති වූ හදිසි ක්ලාන්තයක් හේතුවෙන් බිම ඇදගෙන වැටී තිබූ බවද කියැවිණි. කෙසේවෙතත් ආරක්ෂක නිලධාරියාගේ ඇදවැටීම රැුස්වීමේ කටයුතුවලට බාධාවක් නොවීය. රැස්වීම අවසානයේදී සංවර්ධන කමිටුවක් පත්කෙරුණු අතර කමිටු සාමාජිකයින්ගේ නම් කියවන්නට යාමේදී අගමැති රනිල් අතින් මන්ත‍්‍රී ජේ. සී. අලවතුවලට උසස්වීමක් ලැබී තිබිණි. ‘‘නාවින්න ඇමැතිතුමා, අකිල විරාජ් ඇමැතිතුමා, අනුර යාපා ඇමැතිතුමා, සහ ජේ. සී. අලවතුවල ඇමැතිතුමා ’’ යැයි රනිල් කීවේය. කමිටු සාමාජිකයින් සියලූදෙනාම ඇමැතිකම් දරන නමුත් ජේ. සී. අලවතුවලට ඇමැතිකමක් නැති බව අගමැති රනිල්ට අමතක වී තිබිණි. කෙසේවෙතත් රැස්වීම අවසන්වීමෙන් පසුව ඊට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වය ඇතිව කුරුණෑගල දිස්ත‍්‍රික් නියෝජිත හමුව පැවැත්වුණේ ඇමැති අකිලගේ නිවසේදීය. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ රනිල් ඒකාබද්ධ විපක්ෂය විසින් එදින සීනීගම දේවාලයේදී සංවිධානය කර තිබූ පොල් ගැසීම උපහාසයට ලක්කිරීමට අමතක නොකළේය. එජාප මැති ඇමැතිවරුන් වෙනුවෙන් අකිලගේ නිවසේ දිවා ආහාරය සූදානම් කර තිබූ අතර අගමැති රනිල් ආපසු කොළඹ බලා පිටත්වුනේ නලින් බණ්ඩාරගේ මාමණ්ඩියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුවය.

මහින්දගේ රැස්වීම දා ටී. බී. රංජිත්ගේ ගෙදර.

අගමැති රනිල් කුරුණෑගල එහා කොණේ පිහිටි කුලියාපිටියේ සිටියදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂද ඒ වෙලාවේ සිටියේ කුරුණෑගල මෙහා කොණේ පිහිටි පොල්පිතිගමය. ඒ බෝධි ප‍්‍රාකාරයකට මුල්ගල් තැබීම වෙනුවෙන් පොල්පිතිගම, පෙතියාගල පුරාණ රාජමහා විහාරස්ථානයේදී පැවැති උත්සවයකට සහභාගීවෙමිනි. මහින්ද එදිනම පස්වරුවේ උහුමීය, රත්මලේ පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේ පැවැති බුද්ධ ප‍්‍රතිමාවක් නිරාවරණය කිරීමේ පින්කමකටද එක් වූ නමුත් වඩාත් අවධානයක් යොමු වූයේ පෙතියාගල පන්සලේ පැවැති උත්සවයයි. මක්නිසාද යත් මීට කලකට පෙර මහින්ද පිලේ බල කණුවක් වී සිටි ටී. බී. ඒකනායක ජාතික ආණ්ඩුවට එක් වී ඉඩම් රාජ්‍ය ඇමැතිකමට කරගැසීමෙන් පසුව ප‍්‍රසිද්ධ රැස්වීමක් සදහා මහින්ද ටී. බී. ගේ වැයික්කියට පා තැබූ පළමු අවස්ථාව එය වීම නිසාය. පොල්පිතිගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් විජේනායක විසින් වැඩිබරක් කරට ගෙන සංවිධානය කර තිබූ මෙම උත්සවයට මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සාලින්ද දිසානායක, වයඹ පළාත් සභා මන්ත‍්‍රී ඞී. බී. හේරත් ඇතුඵ මහින්ද පිලේ කුරුණෑගල මුල් පෙළ සාමාජිකයින් සියලූ දෙනාම පාහේ සහභාගී වී සිටියහ. බෝධි ප‍්‍රාකාරයකට මුල්ගල් තැබීමෙන් පසුව උත්සවය ආරම්භ වූ අතර මහින්ද සිය කතාව ආරම්භයේදීම ටී. බී. ට හින්ට් එකක් ගැසීමටද වගබලා ගත්තේය. සාලින්ද සහ ජොන්ස්ටන්ගෙන් අවසර ගනිද්දී මහින්ද කීවේ ‘‘මාව දාලා නොගිය මන්ත‍්‍රීවරු දෙන්නා’’ යැයි කියාය. ඞී. බී. ගේ නම කියමින් මහින්ද කීවේ ‘‘යහපාලනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් මම නිසා ඇමැතිකම නැතිවෙච්ච ඞී. බී. හේරත් මැතිතුමාගෙන් අවසරයි ’’ කියාය. මහින්දගේ කතාව පුරාම රැස්ව සිටි පිරිස ඊට හූ මිටි තබන්නටවීම නිසා මහින්දට එක දිගට කතාව කරගෙන යන්නට පවා අපහසු විය. එක් අවස්ථාවක උත්සවයේ සිටි අයෙකු ‘‘ ඕං කෑගැසුවේ අර යාපහුවේ ගන්ධබ්බයා එහෙම ආපහු ගන්න එපා.’’ යැයි කියමින් කෑ ගැසීම නිසා මුලූ සභාවම සිනාවේ ගිලී ගියේය. මහින්දද ඊට සිනාවකින්ම සංග‍්‍රහ කළා විනා ගන්ධබ්බ කතාවට පිළිතුරු දෙන්නට ගියේ නැත. සිය කතාව අවසන් කිරීමට පෙර උත්සවයට එන්නට ප‍්‍රමාදවීම ගැන ජනතාවගෙන් සමාව ගන්නටත් මහින්ද අමතක නොකළේය.‘‘ මහ ඇත්ත වශයෙන්ම කණගාටු වෙනවා අද මෙතැනට එන්න ප‍්‍රමාදවීම ගැන. මම සාමාන්‍යයෙන් ප‍්‍රමාද වෙන්නේ නෑ. නොවැලැක්විය හැකි හේතු නිසයි ප‍්‍රමාද වෙන්න සිද්ධ වුණේ. මට දැන් හෙලිකොප්ටර් එහෙමත් නෑනේ. ’’ මහින්ද කීය. මෙම රැුස්වීම අතරවාරයේදී රංජිත් විජේනායකගේ දුරකථනයට ඇමැතුමක් ලැබිණි. ඇමැතුම ලැබී තිබුණේ ඇමැති ටී. බී. ගෙනි. ඇමැතුම කෙටියෙන් අවසන් කළ රංජිත් කීවේ ‘‘අන්න ටී. බී. මාව හොයාගෙන අපේ ගෙදර ඇවිත් ඉන්නවලූ. මෙතැනට එන්නත් බැරි එකේ මම කිව්වා එනකම් අපේ ගෙදරට වෙලා ඉන්න කියලා. ’’ රංජිත් කීය.

ජේ. සී. තෙල් ගහයි.

මැති ඇමැතිවරුන් අතින් යම් විවෘත කිරීමක් සිදුකිරීමේදී අදාළ විවෘත කිරීමට අදාළ පළමු රාජකාරිය එම මැති ඇමැතිවරුන් අතින් සිදු කිරීම සාමාන්‍ය සම්ප‍්‍රදාය වෙයි. ඒ අනුව අධිවේගී මාර්ගය විවෘත කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එහි වාහනයක් පැද වූ අයුරුත්, කොළඹ පැත්තේ පාසලක පන්ති කාමරයක් විවෘත කළ බන්දුල ගුණවර්ධන එම පන්තියට ආර්ථික විද්‍යා පාඩමක් ඉගැන් වූ අයුරුත් , පසුගිය සමයේදී මාධ්‍ය විසින් වාර්තා කළේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවලටද පසුගිය දිනක මේ හා සමාන අත්දැකීමට මුහුණදීමට සිදු විය. නමුත් ජේ. සී. ට විවෘත කිරීමට ලැබී තිබුණේ පාරක්වත්, පාසලක්වත් නොව ඉන්ධන පිරවුම්හලකි. ඒ පොල්පිතිගම සණස සමිතිය විසින් ගල්ටැන්වැව ප‍්‍රදේශයේ ඉදි කළ නව ඉන්ධන පිරවුම්හලය. ඉන්ධනහල් සේවකයින් විසින් බුලත් හුරුඵ දී පිළිගනු ලැබූ අලවතුවලගේ අතින් පීත්ත පටියක් කැපී යාමෙන් ඉන්ධන පිරවුම්හල ජනතාව වෙත විවෘත කෙරිණි. අනතුරුව යෙදී තිබූණේ පළමු පාරිභෝගිකයා වෙත ඉන්ධන නිකුත්කිරීමේ අවස්ථාවය. ඉන්ධන පොම්පය අතට ගත් සණස සේවකයින් එය තමන් අතටදීමට මැලිවන බව දුටු අලවතුවල ‘‘දෙන්න, දෙන්න, ෂෙඞ් එක විවෘත කළා නම් තෙලූත් ගහන්න එපායැයි.’’ කියමින් පොම්පය අතට ගත්තේය. ඒ අනුව අලවතුවලගේ අතින් පළමුවරට ඉන්ධන නිකුත් කරන්නට තිබුණේ මෝටර් රථයකටය. ‘‘කීයක්ද ගහන්නේ ? ’’ අලවතුවල රියදුරුගෙන් ඇසීය. ‘‘ඔබතුමා අතින් ගහනවා නම් ෆුල් ටෑන්ක්ම ගහන්න.’’ රියදුරු කීය. ඒ අනුව පොම්පය අතට ගත් අලවතුවල එම මෝටර් රථයේ ඉන්ධන ටැංකිය පිරෙන්නට තෙල් ගසා දුන්නේය.

පළාත් සභාව පොලිසියට පිටුපායි.

වයඹ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වාර්ෂික උපදෙස් පන්තිය පසුගිය ඉරිදා පවත්වන්නට සැලසුම් කර තිබුණේ කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදීය. නමුත් එම ශාලාවට ඇතුළත් කළ හැකි පිරිසට වඩා වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් එම උපදෙස් පන්තිය සදහා සහභාගී වී සිටීම හේතුවෙන් එහි සංවිධාන කටයුතු භාරව සිටි කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක මංගල වික‍්‍රමනායක ඇතුලූ නිලධාරීහු දැඩි දුෂ්කරතාවයකට පත් වූහ. හතර අතේ දුවමින් වෙනත් ශාලාවක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළ නමුත් කුරුණෑගල නගරයේ සෑම පාසලකම පාහේ එදින යම් යම් කටයුතු සංවිධානය වී තිබීම හේතුවෙන් එයද අසාර්ථක විය. අවසානයේදී පොලිස් නිලධාරීන් තීරණය කළේ පළාත් සභාවේ පිහිට පැතීමටය. පළාත් සභාවේ ශ‍්‍රවණාගාරය ලබාගැනීමේ අරමුණින් පොලිස් නිලධාරීන් මහ ඇමැති ධර්මසිරි ඇමැතූහ. ‘ශ‍්‍රවණාගාරය දෙන්න කියලා නියෝග කරන්න මට බලයක් නෑ. අනික මම දන්න තරමින් ඒකට මුදල් අයකිරීමකුත් කරනවා. ඒ නිසා ඔය ගැන කතා කරනවා නම් නිලධාරීන් එක්ක තමයි කතා කරන්න වෙන්නේ. නමුත් පළාත් සභාවේ ලිච්ඡුවි ශාලාවේදී ඔය වැඬේ කරගන්න පුලූවන් නම් මම ඒක සූදානම් කරලා දෙන්නම්. මට ඒක කරන්න පුලූවන් . ’ධර්මසිරි කීය. ලිච්ඡවි ශාලාව අදාළ කාර්යය සදහා ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඊළගට කතා කළේ වයඹ ප‍්‍රධාන ලේකම් කාර්යාලයේ උසස් නිලධාරිනියකටය. එම නිලධාරිනිය විසින් පැය කිහිපයක් සදහා පළාත් සභාවේ ශ‍්‍රවණාගාරය ලබාදීමට එකග වූ නමුත් ඒ සදහා රුපියල් තිස් පන්දහසක් ගෙවිය යුතු බව කීවේ පොලිස් නිලධාරීන්ගේ නළලතට හීන් දහඩියද නංවමිනි. ශාලාවක් වෙන්කිරීම වෙනුවෙන් තබා උත්සවයක් වෙනුවෙන්වත් එවැනි මුදලක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් වෙන් නොකරන තත්වයක් තුළ තමන් මුහුණ දී සිටින අසරණ තත්වය පිළිබදව සලකා බලා ඊට වඩා අඩු මුදලකට ශ‍්‍රවණාගාරය ලබාදෙන්නැයි පොලිස් නිලධාරීන් ඉල්ලා සිටි නමුත් නිලධාරිනියගේ පැත්තෙන් ලැබුණු පිළිතුර වූයේ ශ‍්‍රවණාගාරය ලබාදීම වෙනුවෙන් සකස් වී ඇති නීති රීතිවල වෙනසක් කිරීමට තමන්ට නොහැකි බවය. කෙසේවෙතත් පළාත් සභා ශ‍්‍රවණාගාරය පිළිබද බලාපොරොත්තු සුන්කරගත් පොලිස් නිලධාරීන්ට අවසානයේදී පිහිටක් ලැබුණේ මලියදේව බාලිකාවෙනි. මලියදේව බාලිකාවේ විදුහල්පතිනිය විසින් එහි ශ‍්‍රවණාගාරය ලබාදෙන්නට කැමැත්ත පළකර තිබීම නිසා එහි ගිය පොලිස් නිලධාරීහු වයඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වාර්ෂික උපදෙස් පන්තියට සහභාගී වූහ. තමන් අසරණ වී සිටි අවස්ථාවක පළාත් සභාව පැත්තෙන් ලැබුණු ප‍්‍රතිචාරය පිළිබදව ලොකු සහ පොඩි පොලිස් නිලධාරීන් දොගොල්ලන්ම මේ වන විට පසුවන්නේ නොසතුටකිනි. ‘පළාත් සභාවට වැඩියෙන්ම ආදායම් හොයලා දෙන්නේ පොලිසියෙන්. අපි හොයලා දෙන දඩවලින් තමයි ඒ ගොල්ලෝ ඔය ඔක්කෝම කරගන්නේ. මහ ඇමැතිතුමාටයි, ආණ්ඩුකාරතුමියටයි, පළාත් සභාවටයි අපේ විසි ගණනක ස්කොඞ් එක්ක දීලා තියෙනවා. ඒ ඔක්කෝටමත් වඩා මොකෙක් හරි ඇවිත් පළාත් සභාවේ ගේට්ටු පෙරළන්න හදනවා කීවාම දුවගෙන එන්නෙත් අපි. එහෙම කියලා මේ වෙනකම් පළාත් සභාවෙන් අපිට ඉදගන්න පුටුවක්වත් දීලා නැහැ. ඒත් අපි ඩියුටියනේ කියලා අපේ රාජකාරිය හරියට කළා. නමුත් එදා පොලිසියේ මිනිස්සු පාරට වැටුණු වෙලාවේ පළාත් සභාවේ උදවිය වැඩ කරපු හැටි අන්තිම නරකයි. යන්න තැනක් නැති අන්තිම අසරණ තත්වයක් උඩ තමයි පොලිසියෙන් ශ‍්‍රවණාගාරය ඉල්ලන්න ආවේ. නමුත් ඒකත් දෙන්න බෑ කිව්වා. ඒ හින්දා මින් පස්සේ පළාත් සභාවෙන් මොනවට හරි කතාකරනකොට අපිටත් ඒ ගැන තීරණයක් ගන්න වෙයි.’සිද්ධිය පිළිබදව කලකිරීමට පත් උසස් පොලිස් නිලධාරියෙකු කීය.

පියුමාල් පළාත් අධ්‍යක්ෂ අත් නොහරී !

වයඹ පළාත් සභා මන්ත‍්‍රී පියුමාල් හේරත් පසුගිය බදදා පස්වරුවේ වයඹ ආණ්ඩුකාර කාර්යාලය වෙත ආවේ ‘නිහඩව නොසිට’ජනතා ව්‍යාපාරයේ සාමාජිකයින් කිහිපදෙනෙකුද සමගිනි. ඒ වයඹ පළාත් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සිදු කර ඇතැයි කියන අක‍්‍රමිකතාවයන් පිළිබදව විධිමත් සහ අක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී වෙත ලිඛිත පැමිණිල්ලක් භාරදීම සදහාය. අදාළ පැමිණිල්ල ආණ්ඩුකාරවරිය වෙත භාරදුන් පියුමාල් එම පැමිණිල්ලෙහි ඇතුළත් තොරතුරු සනාථ කිරීම සදහා තවත් ලිපි ගොනුවක්ද ආණ්ඩුකාරවරිය වෙත භාරදුන්නේය. ‘‘අද වෙනකොට රට තූළ බරපතල නිලධාරිවාදයක් ගොඩනැගිලා තියෙනවා. ඒ නිලධාරීවාදය එක් පැත්තකින් ඇඹිලිපිටියේ මිනිස්සු බිල්ඩින්වලින් බිමට තල්ලූකරලා මරද්දී, රටේ සාමාන්‍ය මිනිහෙකුට ආණ්ඩුවේ කන්තෝරුවකට ගිහින් වැඩක් කරගන්න බැරිතැනට වැඩකටයුතු සිද්ධකරලා තියෙද්දී , පළාත් සභා මට්ටමිනුත් මේ නිලධාරිවාදය හිස ඔසවමින් ඉන්න බව පේනවා. ප‍්‍රජාතාන්ත‍්‍රික ජනරජයක් කෙසේවෙතත් නිලධාරීවාදී ජනරජයක් කරා පත්වෙමින් යන බවට පෙනෙන මේ ගමනේදී නිලධාරීන් කරන වංචා සහ අක‍්‍රමිකතාවයන් පිළිබදව අද වෙනකොට හොයන්න බලන්න කෙනෙක් නැතිවෙලා තියෙනවා. ඒකේ ප‍්‍රතිපලයක් විදිහට වයඹ පළාත් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන එන්. ෆරීඞ් මැතිතුමා විසින් තමන්ගේ අත් අකුරින් ලියවිච්ච ධාවන සටහන් ඉදිරිපත් කරලා මුදල් වංචා කරපු විදිහ, සතියේ දින 05 ම දිවා රාත‍්‍රී නැතුව පැය 24ම සේවයේ යෙදෙන සහ ඒ වෙනුවෙන් අතිකාල ලබන රියදුරෝ තියාගත්තු ආකාරය ඇතුලූ අක‍්‍රමිකතාවයන් ගණනාවක් ඇතුළත් සවිස්තරාත්මක පැමිණිල්ලක් අද අපි ආණ්ඩුකාරවරිය වෙත ඉදිරිපත් කළා. අපි විසින් කළ පැමිණිල්ල පිළිබදව ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බවට ගරු ආණ්ඩුකාරතුමිය අපට සහතික වුණා. එතැනින් නොනැවතී මේ පිළිබදව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සදහා මෙම පැමිණිල්ල පොලිස්පතිවරයා, අල්ලස් හෝ දූෂණ කොමිසම, එෆ් සී අයිඞී අයතනය ඇතුලූ ආයතන ගණනාවක් වෙත ඉදිරිපත් කරන්නත් නිහඩව නොසිට ජනතා ව්‍යාපාරය විදිහට අපි කටයුතු කරනවා. ’’ යැයි ආණ්ඩුකාර කාර්යාලයෙන් පිටතට පැමිණි පියුමාල් මාධ්‍යට පැවසීය.

දයාසිරි පිටියට බහී !

ක‍්‍රීඩා ඇමැති දයාසිරි මේ දිනවල සිටින්නේ ඉන්දියාවේය. ඒ දකුණු ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේදී මේ දිනවල පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගීවීමට ගොසිනි. ක‍්‍රීඩා උළෙලේ මුල් දින කිහිපය පමණක් එහි රැදී සිටීමට මුලින් සැලසුම් කර තිබූ නමුත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විසින් ඉන්දියානු භූමියෙහි සුරුවිරුකම් දක්වමින් ශ‍්‍රී ලංකාවේ පදක්කම් ගණන ඉහළ නංවන්නට සමත් වී සිටීම නිසා තරගාවලිය අවසන් වන තුරුම එහි රුදී සිටීමට දයාසිරි විසින් තීරණය කර තිබිණි’.එමෙන්ම ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරග වදින තරග බිම්වලට ගොස් පුද්ගලිකවම ඔවුන් හමු වී ධෛර්යය ලබාදෙන්නට දයාසිරි මේ වන විට කටයුතු කරමින් සිටී. තරග ජයග‍්‍රහණය කළ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමග එක් වී දයාසිරි සතුට බෙදාගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප ගණනාවක් ෆේස් බුක් වෙබ් අඩවියටද එකතු කර තිබිණි. පසුගිය සමයේ දයාසිරිගේ දේශපාලන ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් මුහුණුපොත ඔස්සේ දැඩි ලෙස විවේචනය කෙරුණු නමුත් පසුගිය සතිය පුරාම එහි දැකගත හැකි වූයේ දයාසිරි පිළිබදව හොද කියැවුණු අදහස්ය.

රංජිත් ලංසකාරත් ඉන්දියා යයි !

මෙතෙක් සිටි කිසිදු ක‍්‍රීඩා අමාත්‍යවරයෙකු වෙතින් දැකගත නොහැකි වූ කැපකිරීමක් කරමින් දයාසිරි ඉන්දියාවට වී මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරිමත් කරමින් සිටියදී කිරි කළේට ගොම බිදුවක් මුහුවුණා සේ වැඩ කටයුතුත් ක‍්‍රීඩා අමාත්‍යංශය අස්සේ සිදුවෙමින් තිබේ. මන්ද ක‍්‍රීඩාවට කිසිදු සම්බන්ධයක් නැති දයාසිරිගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ විවිධ තනතුරු හොබවමින් සිටින නඩයක්ම දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල පිට දමා ඉන්දියානු සංචාරයක නිරත වී සිටින බැවිනි. දයාසිරිගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන සමන්සිරි පීරිස්, රංජිත් ලංසකාර සහ මාධ්‍ය නිලධාරී ප‍්‍රසන්න අධිකාරීද මේ වන විට සිටින්නේ ඉන්දියාවේය. ක‍්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ මාධ්‍ය කටයුතු ආවරණය කිරීම සදහා මාධ්‍ය නිලධාරී නිලන්ත අධිකාරී කල්වේලා ඇතිවම ඉන්දියාවට ගොස් තිබිණි. එවැනි තත්වයක් තුළ පවා ප‍්‍රසන්න අධිකාරීත් මාධ්‍ය කටයුතු ආවරණය කිරීම වෙනුවෙන් එහි ගියේ යැයි උපකල්පනය කළ හැකි වුවත් දයාසිරිගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් ඉන්දියාවට ගියේ කුමන කටයුත්තක් සම්බන්ධීකරණ කිරීම වෙනුවෙන්දැයි ඇත්තේ ගැටලූවකි. මෙයිනුත් රංජිත් ලංසකාරගේ ඉන්දියානු ගමන සුවිශේෂි වන්නේ ඔහු පසුගිය සතියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සිය නිවසට ගෙන්වා දිවා භෝජන සංග‍්‍රහයක්ද පැවැත්වීමෙන් පසුව, අලූතින් හදන්නට යන පක්ෂයක් පිළිබදව රැස්වීමක්ද පවත්වා තිබීම හේතුවෙනි. යහපාලන ආණ්ඩුවේ වියදමින් සහ අනුග‍්‍රහයෙන් පෙරේදා ඉන්දියාව බලා පිටත්වී ගියේ මහින්ද සමග එම ආණ්ඩුවම පෙරළන්නට වලි කන රංජිත් ලංසකාර වීම එක් අතකින් පුදුම සහගතය.

(උපුටාගැනීම – මව්බිම පුවත්පත – 2016 පෙබරවාරි 11 වැනි බ‍්‍රහස්පතින්දා )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article