Thursday, May 2, 2024

ටිකිරි බණ්ඩා මහ ඇමැතිව යළිත් අන්දවයි ! ( වයඹ අළු යට ගිනි )

Must read

alu_yata_june_22ඇමැති හැරිසන් හැංගිමුත්තම් සෙල්ලමක.

ඇමැති පී. හැරිසන් පසුගිය සදුදා කුරුණෑගල පැත්තේ රවුමක් ගසා යන්නට ඇවිත් තිබිණි. හැරිසන්ගේ ගමනේ අරමුණ වී තිබුණේ කුරුණෑගල සහ ඒ අවට පිහිටි ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොල කිහිපයක් නිරීක්ෂණය කිරීමය. ඒ අනුව ගලේවෙල, බෙලිගමුව ගොවිපොළෙන් ආරම්භ වූ හැරිසන්ගේ නිරීක්ෂණ චාරිකාව මැල්සිරිපුර, නාරම්මල, කුලියාපිටිය, නිකවැරටිය හරහා කොට්ටුකච්චිය ගොවිපල දක්වා සැලසුම් වී තිබිණි. මේ හැමතැනකටම වාගේ පැමිණ සිටි මාධ්‍යවේදීන්ට ඇමැති හැරිසන්ගෙන් සුහද ප‍්‍රතිචාරයක් පළ වී තිබූ නමුත් , නිකවැරටියේදී නම් ඊට හාත්පසින්ම වෙනස් පියවරකට යමින් ඇමැති හැරිසන් මාධ්‍යවේදීන් සමග හැංගිමුත්තම් කෙළියක යෙදුණු බවක් පෙණිනි. ඇමැති හැරිසන් එදින පස්වරු 2.30 ට පමණ නිකවැරටිය සත්ව ගොවිපල නිරීක්ෂණය කිරීමට පැමිණෙන බව දන්වමින් ප‍්‍රදේශයේ මාධ්‍යවේදීන් දැනුවත් කර තිබුණේ අමාත්‍යංශ මාධ්‍ය ඒකකය විසිනි. ඒ අනුව එදින පස්වරු 2 පමණ වන නිකවැරටිය ප‍්‍රදේශයේ මාධ්‍යවේදීන් සත්ත්ව ගොවිපල අසලට පැමිණි සිටි නමුත් පස්වරු 2.30 පසුවන තුරුම ඇමැති හැරිසන් ගැන හාවක් හූවක් නොවීය. මේ හේතුවෙන් එතැනට රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමැති හැරිසන්ගේ මාධ්‍ය ලේකම්වරයා දුරකථනයෙන් ඇමතූ අතර එහිදී මාධ්‍ය ලේකම්තැන දැක් වූ ප‍්‍රතිචාරය ඇසූ මාධ්‍යවේදීන්ගේ ඇස් උඩ ඉන්දවිණි. ලේකම්තැන කියා සිටියේ අමාත්‍යවරයා නියමිත වේලාවට කලින් ගොවිපොලට පැමිණ ආපසු ගිය බවත් ඒ වන විට කොට්ටුකච්චිය ගොවිපොල බලා ගමන් කරමින් සිටින බවත්ය. නියමිත වේලාවට පසු වී මිස නියමිත වෙලාවට හෝ ඊට කලින් පැමිණි අපේ රටේ ඇමැතිවරයෙකු ගැන උපන් තේකට අසා නොතිබූ මාධ්‍යවේදීන් විමතියට පත්ව තවත් ටික වේලාවක් ගොවිපොල දොරටුව අසල රැදී සිටියහ. ගොවිපොල දෙසින් දූවිලි නංවාගෙන ආ ප‍්‍රභූ රථ පෙළක් එතැනින් පිට වී යන්නට ආවෙත් ඔය ඒ අතරතුරේදීය. ගොවිපල ගේට්ටුව අසල රැදී සිටි මාධ්‍යවේදීන් තවත් වතාවක් උඩ ගොස් බිම වැටුණේ කොට්ටුකච්චිය ගොවිපොල බලා ගමන් කරමින් සිටින බව කී ඇමැති හැරිසනුත් එම වාහන පෙළේ එක් වාහනයක අසුන්ගෙන සිටිනු දැකීමෙනි. ප‍්‍රවෘත්ති ආවරණයට බව කියමින් මාධ්‍යවේදීන් කැඳවා, එලෙස පැමිණි මාධ්‍යවේදීන් බොරු දෙසා රවටමින් ඇමැති හැරිසන් නිකවැරටිය ගොවිපොල ඇතුලේ කළේ අහවල් මෙම නිරීක්ෂණයක්දැයි දැන් දැන් මාධ්‍යවේදිහු සොයමින් සිටිති.

ටිකිරි බණ්ඩගේ – ආරේ ගුණ නෑරේ

මාධ්‍යවේදීන් සහ පළාත් සභාව අතර ඇතිව තිබෙන ආරවුල විසදාගැනීමට තිබූ තවත් අවස්ථාවක් සභාපති ටිකිරි බණ්ඩා විසින් පසුගිය අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමේදී නැති නාස්ති කර දැම්මේය. ඒ නිකම්ම නිකම් නොව ගැටඵව විසදීමට සද්භාවයෙන් මැදිහත් වූ වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායකගේ සායමද යවමිනි. සභාපති ටිකිරි බණ්ඩා විසින් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කර ඇති අපහාසාත්මක ප‍්‍රකාශය ඉල්ලා අස්කරගැනීම හරහා ප‍්‍රශ්නය විසදුමක් ලබාදෙන්නට මහ ඇමැති ධර්මසිරි විසින් දෙවැනි වතාවටද මාධ්‍යවේදීන්ගෙන් කල් ඉල්ලාගත් අයුරු පසුගිය සතියේදී ‘අඵ යට ගිනි ’ඔස්සේ හෙළිකෙරිණි. ඉන් අනතුරුව පැවැති කැබිනට් රැස්වීමේදී මෙන්ම ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදීත් ඒ පිළිබදව පුඵල් ලෙස සාකච්ඡාවට ගැනීමෙන් පසුව තම ප‍්‍රකාශය ඉල්ලා අස්කරගෙන මාධ්‍යවේදීන් සමග ඇතිකරගත් ආරෝවට තිත තබන බවට ටිකිරි බණ්ඩා විසින් මහ ඇමැති ධර්මසිරිට පොරොන්දුවක් පවා ලබා දී බව කියැවෙයි. ඒ අනුව අගහරුවාදා පැවැත්වෙන පළාත් සභා රැස්වීමේදී සභාපතිවරයාගේ නිවේදන අවස්ථාවේදී අදාළ ප‍්‍රකාශය ඉල්ලා අස්කරගැනෙන බැවින් එදින පළාත් සභා රැස්වීමට සහභාගිවන ලෙසට ප‍්‍රධාන අමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් මාධ්‍යවේදීන්ට ආරාධනා කර තිබූ අතර එය සුහද සිතින් පිළිගත් මාධ්‍යවේදීන්ද සිව් මසකට පසුව පළාත් සභා රැස්වීමට ගොඩවැදී තිබිණි. කෙස්වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු හදිසි කැදවීමක් හේතුවෙන් මහඇමැති ධර්මසිරි අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමට සහභාගි වී නොසිටියේය. සභා රැස්වීම ආරම්භ වීමෙන් පසුව සුපුරුදු ලෙසම එහි පළමු අංගය ලෙස සභාපතිවරයාගේ නිවේදන යෙදී තිබූ නමුත් ටිකිරි බණ්ඩා අදාල ප‍්‍රකාශය පිළිබදව කිසිදු සදහනක් නොකරම ඊළග අවස්ථාව වෙත ලිස්සා ගියේය. සභාව මෙහෙය වූ ටිකිරි බණ්ඩා විසින් සභාව න්‍යාය පත‍්‍රයේ අංග එකින් එක පසුකරමින් විවාද අවස්ථාව දක්වා සභාව ගෙන ආවේ අදාළ ප‍්‍රකාශය පිළිබද වගේ වගක් නැතිවය. සුපුරුදු පරිදිම ටිකිරි බණ්ඩා විසින් සිය ජන්ම ගතිය නැවත වතාවක් ප‍්‍රදර්ශණය කළ බව මෙන්ම මහ ඇමැති ධර්මසිරිද ගාණට අන්දවා ඇති බව වටහාගත් මාධ්‍යවේදිහු සභා රැස්වීමෙන් නැගිට පිටතට පැමිණියේ යළි කිසිදු අවස්ථාවක මෙම ප‍්‍රශ්නය විසදාගැනීම පිණිස කෙරෙන කිසිදු මැදිහත්වීමක් පිළිනොගන්නා බවට සහ ටිකිරි බණ්ඩා සභාපති පුටුවෙන් පමණක් නොව දේශපාලනයෙන්ද පල්ලම් බස්සවා ගෙදර යවන තෙක් සටන අත්නොහරින බවට පොදු එකගතාවයක්ද ඇතිකරගනිමිනි.

රිදීගම කමිටුවේ මසුරන් කතා

ජාතික දේශපාලනය තුළ ක‍්‍රියාත්මක වෙමින් පවතින සම්මුතිවාදය හෙවත් හවුල් ආණ්ඩු සංකල්පය බිම් මට්ටම වෙත තවමත් කාන්දු වී නැති බව කියැවෙන සිදුවීම් ගණනාවක් මින් පෙර අඵ යට ගිනි ඔස්සේ විටින්විට හෙළිකෙරිණි. ඒ සදහා තවත් උදාහරණයක් දැකගත හැකි වූයේ පසුගිය සදුදා පැවැති රිදීගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය. ඇමැති දයාසිරි වෙනුවට රිදීගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයෙකු ලෙස අලුතින් පත්වීම් ලැබූ ඇමැති අනුර ප‍්‍රියදර්ශණ යාපා හාපුරා කියා වාඩි වූ පළමු සංවර්ධන කමිටු රැස්වීමද එය විය. අනුර යාපාට අමතරව අනෙක් සම සභාපතිවරයා වන පළාත් සභා මන්ත‍්‍රී එම්. එස්. පෙරේරා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. ඩී. විමලදාසද ඊට සහභාගි වී සිටියේය. රැස්වීම ආරම්භයේදීම මන්ත‍්‍රී එම්. එස්. පෙරේරා විසින්, සමෘද්ධි කාර්යාලවල ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පින්තූර එල්ලා නැති බව කියමින් පසුගිය සංවර්ධන කමිටුවේදීත් ඇදගත් මාතෘකාවක් එදිනද ඇදගත්තේය. රිදීගම සමෘද්ධි මූලස්ථාන කළමනාකරු විසින් ප‍්‍රගතිය ඉදිරිපත් කර අවසන් වූ අවස්ථාවේදී ඔහු ඇමැතූ මන්ත‍්‍රී පෙරේරා. ‘‘සමෘද්ධියේ ගැටඵ නම් මොනවාත් නෑ කියනවා. නමුත් එක ගැටලුවක් තියෙනවා. ජනාධිපතිතුමාගෙයි, අගමැතිතුමාගෙයි පොටෝ එල්ලන වැඩේ තවම හරියට වෙලා නැහැ. ’’යැයි කීය. ‘‘අපි ඒකට ඇස්තමේන්තුවක් හදලා බැලුවාම ඒකට ටිකක් ලොකු මුදලක් වැයවෙනවා. අපිට දැනට තියෙන ප‍්‍රතිපාදන ඒ සදහා ප‍්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි මිල ගණන් කැදවීමක් කරලා තියෙනවා. සුදුසු මිලක් තෝරගැනීමේ කටයුතු මේ දිනවල සිදුවෙනවා. නමුත් ඒක තවම අවසන් වෙලා නැහැ. ’’සමෘද්ධි මූලස්ථාන කළමනාකරු කීය. ‘‘එහෙම ඇද ඇද ඉදලා බැහැ. මේක හැකි ඉක්මනින්ම වෙන්න ඕනෑ. ’මන්ත‍්‍රී පෙරේරා කීය.

හිටපු මන්ත‍්‍රී විමලදාස විසින් කළ චෝදනාවක් දුර දිගයාම හේතුවෙන් එක් අවස්ථාවකදී සංවර්ධන කමිටු රැස්වීම රත් වී ගියේය. ආසනයේ සංවර්ධන යෝජනා නම් කරද්දී දොඩම්ගස්ලන්ද ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙසට තමන් ඒ කිසිවක් පිළිබද දැනුම්වත් කර නැතැයි විමලදාස චෝදනා කළේය. නමුත් විමලදාසගේ චෝදනාව භාරගැනීමට දොඩම්ගස්ලන්ද ආසනයේ එජාප සංවිධායකවරයා වන මන්ත‍්‍රී පෙරේරා සූදානම් බවක් නොපෙණිනි. ‘‘අපි හැම ගමකම ජනසභා කැදවලා තමයි මේ සංවර්ධන යෝජනා ගත්තේ. ඔබතුමා ඒවට සහභාගි නොවී දැන් මෙතැන මම දන්නේ නෑ කිව්වට කරන්න දෙයක් නෑ. ’’මන්ත‍්‍රී පෙරේරා කීය. පෙරේරාගේ ප‍්‍රතිචාරයත් සමග විමලදාසද ඊට ප‍්‍රතිචාර දැක්වීම හේතුවෙන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය. විමලදාස සහ පෙරේරා අතර අසුන්ගෙන සිටි රිදීගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂනායක ලයනල් චන්ද්‍රවංශ යමක් කියන්නට වූයේ විමලදාස කතාකරමින් සිටින අතරේදීය. ඒ දුටු විමලදාසට යකා නැග්ගේය. ‘‘චන්ද්‍රවංශ තමුසේ කටවහන්නවා. මම කතාකරන වෙලාවට මැදට පනින්නෙ නැතිව ඉන්නවා.’’ විමලදාස කටට ආ නොසරුප් වචනයක්ද පාලනය කරගනිමින් ආවේගයෙන් යුතුව පැවසීය. විමලදාසගේ ස්වරයෙන් පසු බා ගිය චන්ද්‍රවංශ ‘‘මම කතා කළේ අපේ මන්ත‍්‍රීතුමාට’’යැයි කියමින් නිහඩ විය.

කමිටු රැස්වීමට සහභාගි වී සිටි රිදීගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී ප‍්‍රියනාත් සේනපාල විසින් රිදීගම ප‍්‍රාදේශීය සභාව වෙත දෝස්මුරයක්ම දැම්මේය. ‘‘රිදීගම ප‍්‍රාදේශීය සභාවෙන් ඕගොඩපොළ ප‍්‍රදේශයේදී දැදුරු ඔය ආසන්නයට කසල බැහැර කරලා මහා විනාශයක් කරමින් ඉන්නවා. කසල බැහැර කරන තැන ඉදලා දැදුරු ඔයට තියෙන්නේ මීටර් පනහක විතර දුරක්. මේ නිසා ඔක්කෝම කැලිකසල දැදුරුඔයට එකතුවෙමින් තියෙනවා.’’සේනපාල කීය. ඊට පිළිතුරු දුන්නේ ඇමැති අනුර යාපාය. ‘‘අනේ මට නම් තේරෙන්නේ නෑ ලංකාවේ ප‍්‍රාදේශිය සභා ඔක්කොමගෙන්ම ඇයි මේ ජල මූලාශ‍්‍රවලට කුණු ගෙනත් දාන්නේ ඇයි කියලා. ලංකාවේ කොයි ප‍්‍රාදේශීය සභාවෙත් තත්වය ඕක තමයි. වහාම මේ වැඩේ නවත්වන්න. කරුණාකරලා මෙතැන කුණු නොදා වෙන තැනකට කුණු දාන්න. කෝ රිදීගම ප‍්‍රාදේශීය සභාවේ ලේකම්තුමා ?’’ඇමැති අනුර යාපා කීය. ලේකම්වරයා වෙනුවට නැගී සිටියේ ඔහු නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරියෙකි. ‘‘අපි කසල බැහැර කරන්න අලුතින් ඉඩමක් මිලදීගෙන තියෙනවා. ඒක සකස්කරලා මේ කුණු ඒකට දාන්න කටයුතු කරන්නම්. ’’නිලධාරියා කීය. ‘‘නෑ. නෑ. කටයුතු කරන්නම් නොවයි. වහාම මේ කුණු දැමීම නවත්තන්න ඕනැ. අපි කමිටුව විදිහට ඒක නියෝග කරනවා. දැදුරු ඔයට කුණු දාන්නේ නැතිව වෙන ඕනෑ තැනකට ගිහින් දාගන්න. ’’ඇමැති අනුර යාපා කීය. අනුර යාපාගේ නියෝගයට අවනත වූ නිලධාරියා අසුන්ගන්නා අතර ඇමැති යාපා කී කතාවක් සභාවම සිනා සයුරේ ගිල්වීමට සමත් විය. ‘‘කටයුතු කරන්නම්, බලන්නම්, සලකලා බලන්නම් කිය කිය ඔයාලාත් නිකම් අපි (දේශපානඥයෝ ) වගේනේ කතාකරන්නේ. නිලධාරි වුණාම ඔයිට වඩා කෙලින් වැඩ කරන්න එපායැයි’’ඇමැති යාපාගේ මුවින් පැන්නේය.

සමූපේ බලය දයාසිරි යළි අල්ලයි.

උඩුබද්දාව සමූපකාර මහ සභා නිලවරණය පසුගියදා අවසන් වූයේ ඇමැති දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කර තිබූ කණ්ඩායමට ජය අත්කරදෙමිනි. ඒ අනුව මන්ත‍්‍රී නලින් බණ්ඩාරගේ අනුග‍්‍රහය ඇතිව ඉදිරිපත් කර තිබූ කණ්ඩායමට පරාජය අත් වූ අතර තමන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ සභාපති ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හත් දෙනාම ජයග‍්‍රහණය කරවමින් උඩුබද්දාව සමූපකාරයේ බලය නැවත වතාවක් තමන්ගේ පැත්තට බර කරගැනීමට ඇමැති දයාසිරි මේ වන විට සමත් වී තිබේ. මීට මාස කිහිපයකට පෙර පැවැති කාරක සභා නියෝජිතයින් තෝරාගැනීමේ නිලවරණයේදී මන්ත‍්‍රී නලින් බණ්ඩාරගේ අනුදැනුම ඇතිව ඉදිරිපත් කෙරුණු කණ්ඩායම මහ සභා නියෝජිතයින් 68 ට 31 ක් වශයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගෙන උඩුබද්දාව සමූපකාරයේ එජාප බලය ව්‍යාප්ත කිරීමට සමත් විය. නමුත් ඉන් මාස කිහිපයකට පසුව පැවැති මහ සභා නියෝජිත නිලවරණයේදී ඊට පෙරළා ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට දයාසිරි ඇතුලු පිරිස අවස්ථාවක් උදාකරගෙන ඇති බව පෙනේ. කෙසේ නමුත් උඩුබද්දාව සමූපකාරයේ බලය ඇල්ලීම පිණිස එජාපය පැත්තෙන් සහ ශ‍්‍රීලනිපය අතර ඇති වූ තිබු තරගය හේතුවෙන් දෙපැත්තෙන්ම දියත් වී තිබූ සීතල මෙහෙයුම් ගණනාවක තොරතුරුද දැන් දැන් කරළියට එමින් තිබේ. දයාසිරිගේ කණ්ඩායම වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමට නියමිතව සිටි සමූපකාර ඡන්ද දායිකාවක පැහැරගෙන ගිය බවට හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකුට චෝදනා එල්ලවන්නේද ඒ අනුවය. අදාල කන්තාව ඡන්දය දැමීමට යමු යැයි පවසා වාහනයකට නංවාගෙන මාරවිල ප‍්‍රදේශයේ රදවාගෙන සිටීමෙන් ඇයට ඡන්දය පාවිචිචි කිරීමේ අවස්ථාව අහිමි කළ බවට ලැබෙන පැමිණිල්ලක් මත දුම්මලසූරිය පොලිසිය විසින් අදාල මන්ත‍්‍රීවරයා අත්අඩංගුවටද ගනු ලැබීය. පවතින්නේ සම්මුතිවාදී ආණ්ඩුවක්වීම නිසාම අදාල අත්අඩංගුවට ගැනීමත් සමග වැඩියෙන්ම තැලෙන්නට වූයේ පොලිසියයි. එක් පාර්ශ්වයකින් අත්අඩංගුවට ගත් මන්ත‍්‍රීවරයා නිදහස් කරන ලෙසටත්, අනෙක් අතට අත්අඩංගුවට ගත් මන්ත‍්‍රීවරයා තවදුරටත් හිරකරන ලෙසටත් පොලිසිය වෙත දෙපැත්තෙන්ම බලපෑම් එල්ල වූ බව අඵ යට ගිනි වෙත ලැබෙන ආරංචිවලින් කියැවෙයි. කුමන බලපෑම් මධ්‍යයේ වුවද අත්අඩංගුවට ගත් මන්ත‍්‍රීවරයා අධිකරණය වෙත ඉදිරිපත් කරන්නට පොලිසිය විසින් කටයුතු කර තිබූ අතර, සැකකාර මන්ත‍්‍රීවරයා ඇප මත මුදාහරින්නට අධිකරණයෙන් නියෝග ලැබී තිබිණි.

ටිකිරි බණ්ඩාගේ ඇස් පෑදෙයි.

හිස්වැසුම් සහ පාවහන් සහිතව පහන් දල්වා කම්බි කණුවක එල්ලූ ටින් බෙලෙක්කයක බුදුන් පුදමින් වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි විසින් බුදුන්ට කළ නිගාව පිළිබදව පසුගිය සතියක අඵ යට ගිනි පිටුවෙන් කළ හෙළිදරව්ව අපතේ ගොස් නැති බව පසුගිය පොසොන් පොහෝ දිනයේදී තහවුරු විය. පොල්ගහවෙල, සාප්පුවත්ත ප‍්‍රදේශයේ ඉදිකෙරුණු ශෛලමය බුදු මැදුර පොසාන් පෝදා ප‍්‍රදේශයේ භික්ෂූන් වහන්සේ අතින් නිරාවරණය කෙරුණේ ඊට හිස්වැසුම් සහ පාවහන් පිටින් මුල්ගල් තැබූ ටිකිරි බණ්ඩාගේද සහභාගිත්වයද ඇතිවය. මුල්ගල් තියන්නට සැරසී ආ වෛවර්ණ කමිසය, සරම, තොප්පිය සහ පාවහන් වෙනුවට මෙදින ටිකිරි බණ්ඩා සුදෝ සුදුවතින් සැරසීගෙන ඊට සහභාගි වී සිටිනු දක්නට ලැබිණි. අනෙක් අතට පෙරදී මෙන් කම්බි කණුවක එල්ලූ හිස් විස්කෝතු ටින් බෙලෙක්කයක බුදුන් පුදනු වෙනුවට මනාව සැකසූ ගිලන්පස පූජාවක්ද ටිකිරි බණ්ඩා අතින් පිළිම වහන්සේ වෙත පූජා කෙරිණි. (අදාල ගිලන්පස පූජාව ටිකිරි බණ්ඩා විසින්ම සකස් කරගෙන ආ එකක්දැයි නැතහොත් අන් කවුරුන් විසින් හෝ සකස් කර අතට දුන් එක්කදැයි නිශ්චිතවම අනාවරණය කරගත නොහැකි විය. ) කෙසේවෙතත් අපගේ හෙළිදරව්ව හේතුවෙන් හෝ වෙනත් හේතුවකින් හෝ ටිකිරි බණ්ඩා වැරදි නිවැරදි කරගෙන සුමගට යොමුවීම පිළිබදව අපට නම් ඇත්තේ නිහතමානී සතුටකි. මක් නිසාදයත් බුදුන්ටත්, උන් වහන්සේගේ ධර්මයටත් ගැරහූ මිසදිටුවන් ගුණ නැණ බෙලෙන් දමනය කළා වූ තථාගථයන් වහන්සේගේ ගුණ සුවද ගැන වැඩි වැඩියෙන් කියැවෙන කාලයකම සිදු වූ මේ නිවැරදිවීම එක් අතතින් සැලකිය හැක්කේ ආශ්චර්යක් ලෙසටය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත , 2016 ජූනි 23 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article