Sunday, May 19, 2024

තුන වසර සිසුවෙකුට වද දුන් මාවතගම ගුරුවරයා තෙවැනි වරටත් රිමාන්ඩ්.

Must read

mawatagama_teacher_arrested

මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ තෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකු, පන්තියේ අනෙකුත් සිසුන් යොදවා අමානුෂික අන්දමින් වද හිංසාවට ලක්කළේයැයි කියන එම විදුහලේ ගුරුවරයෙකු ලබන 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට පිලැස්ස මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා පසුගිය 06 වැනිදා නියම කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ මාවතගම, පුස්සැලිතැන්න, බෝගමුව ප්‍රදේශයේ පදිංචි අශෝක ජනශාන්ත නැමැති ගුරුවරයෙකි.

මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ තෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින පසිදු නිම්සර කුමාර නැමැති සිසුවෙකු, ඉකුත් පෙබරවාරි 22 වැනිදා පාසල් වේලාව තුළදී වදහිංසාවට ලක්කිරීම සම්බන්ධයෙන් මෙම ගුරුවරයාට චෝදනා එල්ල වී තිබේ. තමාගේ දෑත් දම්වැලකින් බැද, ඇදුම් ගැලවීමෙන් පසුව පහරදීමට සහ ඔලුවට කෙළ ගැසීමට විත්තිකාර ගුරුවරයා විසින් පන්තියේ අනෙකුත් සිසුන් මෙහෙය වූ බවට හිංසාවට ලක් වූ සිසුවා විසින් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දී තිබිණි. අදාල පහරදීමෙන් දින කිහිපයක් ගතවන තුරු විත්තිකාර ගුරුවරයා ප්‍රදේශයෙන් අතුරුදන් වී සිටි අතර පසුගිය 26 වැනිදා අලුයම් කාලයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම ගුරුවරයා එදිනම පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඉකුත් 28 වැනිදා දක්වා පළමුවරට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි විත්තිකාර ගුරුවරයා පසුගිය 28 වැනිදා බන්ධනාගාර නිලධාරින් විසින් දෙවැනි වරටත් පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. විත්තිකාර ගුරුවරයාගේ මානසික සෞඛ්‍ය තත්වය පිළිබදව කුරුණෑගල පළාත් මහ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් සකස් කළ වෛද්‍ය වාර්තාවක්ද පොලිසිය මගින් එදින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. විත්තිකාර ගුරුවරයා උග්‍ර මානසික රෝගී තත්වයකින් පෙළෙමින් සිටින අයෙකු බවත්, ඔහු අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු අයෙකු බවටත් එම වෛද්‍ය වාර්තාවෙන් නිර්දේශ කර තිබිණි. අදාල වෛද්‍ය වාර්තාව පිළිබදව සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විත්තිකාර ගුරුවරයා පසුගිය 06 වැනිදා යළි බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කළ අතර, බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ කුරුණෑගල පළාත් මහ රෝහලේදී හෝ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේදී විද්‍යාතනයේදී නේවාසික වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකරන ලෙසටත් බන්ධනාගාර අධිකාරිවරයා වෙත වැඩිදුරටත් නියෝග කළේය.

පසුගිය 06 වැනිදා පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව තෙවැනි වරටත් විභාගයට ගත් අතර, එදින රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින විත්තිකාර ගුරුවරයා අධිකරණය වෙත ඉදිරිපත් නොකෙරිණි. අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය මගින් නිකුත් කළ වෛද්‍ය වාර්තාවක්ද සමග අධිකරණයට කරුණු දැක් වූ බන්ධනාගාර නිලධාරින් පැවසුවේ , විත්තිකරු මේ වනවිට බන්ධනාගාර ආරක්ෂාව යටතේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේදී නේවාසික ප්‍රතිකාර ලබමින් පසුවන බවය. විත්තිකරු අඛණ්ඩ නේවාසික ප්‍රතිකාර ලැබිය යුතු අයෙකු බවට එහි වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බැවින් ඔහු එදින අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොතිබූ බවද බන්ධනාගාර නිලධාරිහු අධිකරණය වෙත වැඩිදුරටත් දැනුම්දුන්හ.

අගතියට පත් සිසුවා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් එදින කරුණු දැක් වූ නීතිඥවරයා, අදාල සිදුවීම හේතුවෙන් දැඩි කම්පන තත්වයකට පත්ව ඇති සිසුවා පාසල්යාම පවා ප්‍රතික්ෂේප කරන බවත්, එම සිදුවීමෙන් පසුව මේ දක්වා ඔහු පාසල් ගොස් නොමැති බවත් පැවසීය. දරුවා මුහුණදෙමින් සිටින මෙම තත්වය හමුවේ ඔහුට වෙනත් පාසලක් ලබාදෙන බවට අධ්‍යාපන බලධාරින් විසින් දරුවාගේ මව්පියන් වෙත පොරොන්දු වී ඇති නමුත් මේ දක්වා එවැනි පාසලක් ලැබී නොමැති බවද හෙතෙම පැවැසීය.

එදින අධිකරණය හමුවේ කරුණු දක්වමින් මාවතගම පොලිසිය පැවසුවේ වින්දිත සිසුවාගේ පන්තියේ ඉගෙනුම ලබමින් සිටින සිද්ධිය ඇසින් දුටු තවත් සිසුන් කිහිප දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගැනීමට නියමිත බවය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අගතියට පත් දරුවා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැදවන ලෙසට පරිවාස සේවා දෙපාර්තමේන්තුව වෙත නියෝග කරමින් විත්තිකාර ගුරුවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

අගතියට පත් දරුවා වෙනුවෙන් නීතිඥ මැකී මාරසිංහ සහ විත්තිකාර ගුරුවරයා වෙනුවෙන් නීතිඥ කළ්‍යාණි රත්නායක යන මහත්ම මහත්මීහු මෙම නඩුවේදී අධිකරණය හමුවේ පෙනී සිටින අතර මාර්තු 13 වැනිදා මෙම නඩුව යළි කැදවීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article