spot_img
spot_img
Thursday, September 17, 2026
spot_img
spot_img

දිට්වා නිසා නිවාස අහිමි වූ සින්ද්‍රාත්‍රිට ජනතාවට තාමත් ඉඩම් ,නිවාස ලැබී නැහැ

Must read

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් තම නිවාස සහ ඉඩම් වෙනුවෙන් රජය විසින් ලබා දෙන බව පැවසූ සහන කිසිවක් මෙතෙක් තමන්ට ලැබී නොමැති බව වෙන්නප්පුව – සහනගම සහ සින්දාත්‍රිය ගම් වල පදිංචිකරුවන් කියා සිටී.

දිට්වා සුළි කුණාටව හේතුවෙන් මාඔය පිටාර ගලා යාම නිසා සහනගම ගමේ නිවාස 02 ක් සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇති අතර,එක් නිවසක් ගිලා බැසීමකට ලක්ව ඇත.
සින්දාත්‍රිය ගමේද නිවාස 03 කට අර්ධ හානි සිදුවී ඇත.මෙම නිවාස සියල්ල පිහිටා ඇත්තේ මාඔය ආසන්නයේ බැවින් එම නිවාස වල නැවත පදිංචි නොවන ලෙස ගොඩනැගිළි පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිමිකරුවන්ට පවසා ඇත.

සහනගම ගම්මානය දිවංගත හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ උදාගම් සංකල්පය මත බිහිවූ ගම්මානයකි.සින්දාත්‍රිය ගම පාරම්පරික පිරිසක් පදිංචිව සිටින ගමකි.මෙම ගම්මාන දෙකෙහිම පදිංචි බොහෝ දෙනෙකු ස්ථීර රැකියාවන් නොකරන අතර,එදිනෙදා ආදායම් මාර්ග ගසක් කර ගෙන ජීවෝනෝපාය කර ගෙන යන අයවළුන් වේ.දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මාඔය පිටාර ගලා යාම නිසා ඔවුන් බොහෝ දෙනෙකු ඇදිවතට පමණක් සීමා විය.ඇතම් නිවස බිමටම කඩා වැටී ඇත.

පදිංචිව සිටි ඉඩම් වල නැවත නිවාස ඉදිකිරීමට නොහැකි නම් ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකි කිරීම සදහා රුපියල් ලක්ෂ 100 ක මුදලක වන්දි මුදලක් ලබා දෙන බව රජය විසින් මීට පෙර පවසා තිබුණි.ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව එම වන්දි මුදල තක්සේරුව අනුව රුපියල් මිලියන 05 දක්වා ලබා දීමට කටයුතු කළ යුතුය.

නමුත් රජය විසින් සදහන් කරන එම වන්දි මුදල් තමන්ට මෙතෙක් නොලැබුණු බව සහනගම සහ සින්දාත්‍රිය ගම්වැසියන් කියා සිටී.

සහනගම පදිංචිකරුවෙකු වන නිරෝෂන් සේනානායක මෙසේ කියා සිටියේය.

“මම පදිංචි වෙලා ඉන්නේ මාඔය ආසන්නයේමයි.මගේ ගේ එක පැත්තක් ගිලා බැහැලා තියෙන්නේ.දරුවෝ තුන් දෙනා එක්ක ගේ ඇතුලේ ඉන්න බයයි. මොකද ගේ කොයි වෙලාවේ කඩා ගෙන වැටෙයිද දන්නේ නැති නිසා. ආණ්ඩුවෙන් කියපු විධියට අපි ඉඩම් හොයලා,තක්සේරු වාර්තා  සහ අනෙකුත් සියළුම ලියකියවිලි සූදානම් කර ගත්තට පස්සේ දැන් කියනවා දෙන්න පුළුවන් රුපියල් ලක්ෂ 50 ක් විතරයි කියලා.රුපියල් ලක්ෂ 50 කට ඉඩමක් අරගෙන ගෙයක් හදා ගන්නවා කියන එක හීනයක් විතරයි.හෙට අනිද්දා නැවත වැසි ඇති වෙලා මාඔය පිටාර ගලන්න පටන් ගත්තොත් මගේ ගේ අනිවාර්යෙන්ම කඩා ගෙන වැටෙනවා.එතකොට අපිට යන්න – එන්න තැනක් ඇත්තේම නෑ.

විපතට පත් වෙලා ඉන්න සෑම කෙනෙක් වෙනුවෙන්ම මම ඉල්ලා සිටින්නේ අපිට දෙනවා කියපු වන්දි මුදල දෙන්න කියන එකයි”.

මාඔය පිටාර ගැලීම නිසා හරිස්චන්ද්‍ර මහතාගේ නිවස බිමටම කඩා ගෙන වැටී ඇත.කඩා වැටුණු නිවස තිබූ ස්ථානයේ තාවකාලික ඇටවුමක ජීවත් වන ඔහු මෙසේ කියා සිටියේය.

“ගේ කඩා ගෙන වැටිලා අපේ තිබුණු සියළුම දේ මාඔයට ගහ ගෙන ගියා.අපි ඇදි වතට පමණක් සීමා වුණා.අපිට කියනවා මෙතන ඉන්න එපා වෙන තැනකට යන්න කියල.ඒත් වෙන තැනකට ගිහිං ගෙයක් හදා ගන්න තරම් ආර්ථිකයක් මට නැහැ.අපි අද ජීවත් වෙන්නෙත් අන්ත අසරණ විධියට.රජය දෙනවා කියපු වන්දි මුදල අපිට තවම ලැබුනේ නැත්තේ ඇයි කියන එක ගැටළුවක්.හැබැයි මේ ගැන කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් නම් උත්සාහ කරනවා සම්පූර්ණ වන්දි මුදල අරගෙන දෙන්න.නමුත් ඉහළින් මුදල් නොලැබුණු බව තමයි ඒ අය කියන්නේ.”

ජීවනී ප්‍රනාන්දු මහත්මිය පදිංචිව සිටි නිවසද දිට්වාව හේතුවෙන් මාඔයට බිලිවී ඇත.ඇය මෙසේ කියා සිටින්නීය.

“අපේ ගේ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ගොඩනැගිළි පර්යේෂණ නිලධාරීන් ඇවිත් කිව්වා නැවත මේ ඉඩම් වල ගෙවල් හදන්න එපා කියලා.අපි දැනට වෙන්නප්පුවේ කුලී ගෙදරක පදිංචි වෙලා ඉන්නේ.ගෙවල් කුළියත් මාස කීපයක ඉදලා රජයෙන් අපිට ලැබුනේ නෑ.දැන් කියනවා දෙනවා කියපු සම්පූර්ණ මුදල දෙන්න බැහැ කොටසක් පමණක් දෙන්නම් කියලා.ඒ මුදල අරගෙන අපිට ඉඩමක් මිලදී ගන්නවත් හැකි වෙන්නේ නෑ.තවත් ලක්ෂ කීපයක් ණයට හොයා ගන්න වෙනවා ඉඩම මිලදී ගන්න විතරක්.ඒත් සල්ලි සම්පූර්ණයෙන්ම දෙන්නේ ඉඩම අරගෙන ගේ හදලා ඉවර වුනාට පස්සේ කියලත් කියනවා.කුලී වැඩ කරලා ජීවත් වෙන අපිට කොහෙන්ද ගෙවල් හදන්න සල්ලි තියෙන්නේ.

හැබැයි ගේ ඇතුළට වතුර ටිකක් ආපු අයටත් මේ වෙන කොට ලොකු වන්දි මුදල් ලැබිලා තියනවා.ඇත්තටම හානියට පත් වුණ අපිට විතරයි සහනයක් තවමත් ලැබුනේ නැත්තේ”.

මේ ආකාරයට අපට මුණ ගැසුණු සෑම කෙනෙකුම තම තමන්ගේ දුක කියා සිටියේය.ඒ සෑම වචනයක තිබුනේ හෙට දවසේ ඇති අවිනිශ්චිත බවය. දේශපාලකයින් වේදිකා වල මොර දිදී කුමක් කියා සිටියත්,වාර්තා පිට වාර්තා පිට වුනත්  සත්‍ය පීඩිතයාට ඉන් කිසිදු පළක් නොමැති බව සහනගම සහ සින්දාත්‍රිය ගම් වල පදිංචිකරුවන් ගෙන් සනාථ වන්නේය.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article