Saturday, May 18, 2024

දෙදහස් පහළොවේ – වයඹට මොකද වුණේ ?

Must read

wayamba_2015ගෙවී ගිය 2015 වසර නිමාවන්නේ වයඹ දේශපාලනය තුළ සුවිශේෂී සහ ඵෙතිහාසික සිදුවීම් ගණනාවක් සනිටුහන් කළ වසරක් ලෙසය. ලාංකීය දේශපාලනයට හුරු පුරුදු අත්හැරීම්, එකතුවීම්, පළිගැනීම් , කප්පාදුකිරීම්, පාවාදීම්, නෙරපාහැරීම්, සතුට කදුඵ සහ දුක් කදුඵද මැද්දේ ගලා ගිය 2015 වසර තරම් සක‍්‍රිය දේශපාලනික වසරක් මෑත කාලීන වයඹ දේශපාලන ඉතිහාසය තුළ හමු නොවන බව ලියුම්කරුගේ අදහසයි. ජාතික දේශපාලනය මෙන්ම පළාත් දේශපාලනයද උඩුයටිකුරු කරවන තීන්දු තීරණ ගණනාවකට පාර කැපුණු වයඹ දේශපාලනයේ ගෙවී ගිය වසරෙහි ගමන්මග පිළිබදව සිහිපත් කෙරෙන කෙටි ආවර්ජනයකි මේ.

දෙදහස් පහළොව වසර වයඹ ජනතාව ඇතුඵ සමස්ත ශ‍්‍රී ලංකාවාසීන් විසින් පිළිගත්තේ අතිශය තීරණාත්මක ජනාධිපතිවරණයක් කට උඩටම පැමිණ තිබියදීය.ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කිරීමත් සමග ඇති වූ යහපාලන වෙනස වයඹ දේශපාලනය තුළටද කාන්දුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජනවාරි මාසය මැද පමණ වනවිට වයඹ පළාත් සභාවේ බල පෙරළියක් පිළිබද කතාබහක් ඇති වී තිබිණි. විපක්ෂ නායක ජේ. සී. අලවතුවල ඇතුඵ විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම විසින් වයඹ පළාත් සභාවේ බලය මාරුවීමක් සදහා ආණ්ඩුකාරවරයා වෙත යැවීමට අවශ්‍ය කරන දිවුරුම් පෙත්සම් පවා සූදානම් කරගෙන සිටි අතර මහ ඇමැති දයාසිරි නම් කීවේ ආණ්ඩු පක්ෂයේ සියඵ මන්ත‍්‍රීවරුන් තමා සමග සිටින බැවින් කිසිදු බල පෙරළියක් පළාත් සභාව තුළ සිදුනොවන බවය. මේ උණුසුම මැද්දේම ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට පක්ෂව සහ විපක්ෂව පැවැති උද්ඝෝෂණ දෙකක් හේතුවෙන් ජනවාරි 20 වැනිදා වයඹ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිටදී උණුසුම් තත්වයක් නිර්මාණය විය. දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙසට බලකරමින් එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් උද්ඝෝෂණක යෙදුණු අතර දයාසිරි ජයසේකර මහතාට සහය පළකරමින් ඔහුගේ ආධාරකරුවන් පිරිසක්ද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. මේ තත්වය හමුවේ මීළග පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බවට මහ ඇමැති දයාසිරි විසින් හෙට්ටිපොළදී පැවැති පාක්ෂික හමුවකදී ප‍්‍රකාශ කර තිබිණි. වයඹ නව ආණ්ඩුකාරවරිය ලෙස ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් අමරා පියසීලී රත්නායක මහත්මිය ජනවාරි 29 දා වයඹ ආණ්ඩුකාර කාර්යාලයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළාය.wayamba_review1 wayamba_review2 wayamba_review3

ජාතිවාදය ඇවිස්සෙන ආකාරයෙන් තවදුරටත් කටයුතු කරන්නේ නම් එම මුද්‍රිත මාධ්‍යන්වලට එරෙහිව ‘ඔකියුපයි’ පියවරක් ගන්නා බවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සුප‍්‍රක‍්‍රට ප‍්‍රකාශය කළේ පෙබරවාරි 22 වැනිදා කුරුණෑගලදී පැවැති එක්සත් ජාතික පක්ෂ ක‍්‍රියාකාරීන්ගේ හමුවක් අමතමිනි. අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරවන්නට සමත් වූ අතර අගමැතිවරවයා ජනමාධ්‍යයට තර්ජනය බව කියමින් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් මාර්තු 03 වැනිදා පැවැති පළාත් සභා රැස්වීමට කඵ පටි බැදගෙන පැමිණ විරෝධතාවයකද යෙදුණහ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා මාර්තු 12 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කැදවා තිබූ අතර ඔහු විසින් පැය පහක් තිස්සේ සිය වත්කම් සහ බැරකම් පිළිබදව එම කොමිසම වෙත ප‍්‍රකාශයක් ලබා දී තිබිණි. මාර්තුවේදී එළි දුටු ජාතික ආණ්ඩු සංකල්පය යටතේ වයඹ පළාත නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනඥයින් වන එස්. බී. නාවින්න , ශාන්ත බණ්ඩාර , නෙරංජන් වික‍්‍රමසිංහ සහ දයාශ‍්‍රිත තිසේරා ජාතික ආණ්ඩුවේ ඇමැතිකම් භාර ගත්හ. ඇමැති සනත් නිශාන්තගේ පාවිච්චිය පිණිස පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් නිකුත් කර තිබූ වාහනයක් ප‍්‍රදේශයේ භික්ෂූන් වහන්සේ නමක් විසින් පාවිච්චි කරමින් තිබියදී හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබීම පිළිබදව උදහස් වූ පළාත් ඇමැති සනත් නිශාන්ත විසින් පොලිසියට වැදී එහි යකා නටා තිබුණේද ඒ දිනවලදීමය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට කැදවීමට විරෝධය පළකරමින් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැද විරෝධතාවයක යෙදීම නිසා මාර්තු 21 දා පැවැති වයඹ පළාත් සභා රැස්වීම මැයි 5 වැනිදා දක්වා කල් තැබීමට සිදු විය.wayamba_review6 wayamba_review4

සිංහල අඵත් අවුරුද්දට දින කිහිපයට පෙර මලියදේව බාලිකාවේ පැවැති ශ‍්‍රීලනිප කුරුණෑගල දිස්ත‍්‍රික් සම්මේලනයේදි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට හූ කීම සහ එම සම්මේලනය නිමා වී එළියට පැමිණි පළාත් පාලන ආයතනවල මන්ත‍්‍රීවරුන් දෙපිරිසක් අතර ඇති වූ ගුටි කෙළිය පිළිබදව කුරුණෑගල නාගරික මන්ත‍්‍රීවරුන් වන අබ්දුල් සත්තාර්, තුෂාර සංජීව සහ කුරුණෑගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අසංක ප‍්‍රදීප් රණසිංහට චෝදනා එල්ල වූ අතර එම සිදුවීම අවසන් වූයේ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී ධූරය දැරූ මහින්ද දිසානායක මහතා හැටන් ප‍්‍රදේශයට මාරු කර යවමිනි. වයඹ පළාත් සභා මැතිවරණ සමයේදී ලක් සතොස ආයනයෙන් භාණ්ඩ මිලදීගෙන මුදල් නොගෙවා පැහැරහැරිය බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා නියෝග කළේ මැයි 6 වැනිදාය. මහින්ද රාජපක්ෂ මහතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා කළ යුතු බවට බලකෙරෙමින් රට පුරා පවත්වමින් ගිය ජන රැළි මාලාවක කුරුණෑගල රැළිය දඹුඵ පාරේ , රණවිරු ස්මාරකය අසලදී පසුගියදා පැවැත්විණේ මැයි 08 වැනිදාය. මෙම රැළියට වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 34 දෙනාගෙන් 27 දෙනෙකුම සහභාගී වී සිටියහ. ඊට දෙදිනකට පසු එනම්,මැයි 12 දා වැනිදා නීතිය සහ සාමය හා ක‍්‍රිස්තියානි කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික‍්‍රමසිංහ මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප‍්‍රාප්ත වූ අතර ඒ මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සදහා ආර්. ඞී. විමලදාස මහතා පත්විය.

wayamba_review5 wayamba_review7 wayamba_review8 wayamba_review9wayamba_review11

අවි ගත් පිරිසක් විසින් ජූනි 05 දා අඵයම එල්ල කළ ප‍්‍රහාර දෙකක් හේතුවෙන් කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ මහතාගේ නිවසට අලාභහානි සිදු වී තිබිණි. වයඹ පළාත් සභාවේ නව නියෝජ්‍ය සභාපතිවරයා ලෙස වයඹ පළාත් සභා මන්ත‍්‍රී ටිකිරි අධිකාරී මහතා ජූනි 06 වැනිදා පැවැති සභා රැස්වීමේදී වැඩි ඡන්දයෙන් තේරී පත් විය. මාවතගම මැතිවරණ කොට්ඨාශයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරිය ලෙස දර්ශණී වික‍්‍රමසිංහ මහත්මිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් ජූනි 24 වැනිදා පත්වීම් ලිපිය ලබාගත්තාය. ජූනි මස අගදී ජනපති මෛත‍්‍රී විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට අත්සන් තැබීමත් සමග මැතිවරණ උණුසුම වයඹ පළාත වෙළාගත් අතර අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික සහ කුරුණෑගල දිස්ත‍්‍රික් නායක ලෙස කටයුතු කරමින් සිටි එස්. බී. නාවින්න මහතා එක්සත් ජාතික පක්ෂයට එක් විය.wayamba_review10 wayamba_review12 wayamba_review13

කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී තරග කිරීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නාමයෝජනා පත‍්‍ර භාරදෙන ලැබුවේ ජූලි 13 දාය. නාමයෝජනා භාරදීමෙන් පසුව අපේක්ෂකයින්ට සෙත්පැතීම වෙනුවෙන් කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේ සංවිධානය කර තිබූ ජය පිරිත් සජ්ජායනයක් අතරතුරදී කිසිදිනෙක මහින්ද රාජපක්ෂ මහතා හැර නොයන බවට ප‍්‍රතිඥාවක් ලබාදීමටද සෙසු අපේක්ෂකයින්ට සිදු විය. නීති විරෝධී ලෙස මැතිවරණ ප‍්‍රචාරක කාඞ්පත් තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටියදී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ. බී. ලිලන්ත පෙරේරා මහතා ඇතුඵ තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමත්, තැපැල් ඡන්ද විමසීම සිදු වූ දිනයේදී වයඹ පළාත් සංකීර්ණයට ඇතුඵ වී නීතිවිරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තක යෙදී සිටි ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආධාරකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් මැතිවරණය සමයේදී සිදු වූ කැපීපෙනන නීතිවිරෝධී ක‍්‍රියාවන් විය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල අවසන් මහා රැළිය අගෝස්තු මස 12 වැනිදා පැවැති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් මහා රැළිය ඊට පසුදින මාළිගා පිටියේදී පැවැත්වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙනි. මැතිවරණයට එක් දිනයක් පමණක් ඉතිරිව තිබියදී කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී පැවැති කිරිඅම්මාවරුන්ගේ දානයකදී ඊට සහභාගී වූ කිරි අම්මාවරුන් වෙත සිල්රෙදි බෙදාදීමේ උත්සාහයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් වැළැකි ගිය අතර, සිය නිවසේදී නීතිවිරෝධී මැතිවරණ සංග‍්‍රහයක් පැවැත් වූ බවට සැකපිට වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේද එදිනමය. අගෝස්තු 17 වැනිදා පැවැති මහ මැතිවරණ ඡන්ද විමසීම සාමකාමී ලෙස අවසන් වූ අතර කුරුණෑගල දිස්ත‍්‍රික්කය ජයග‍්‍රහණය කිරීමට ජනතා නිදහස් සන්ධානයත්, පුත්තලම දිස්ත‍්‍රික්කය ජයග‍්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයත් සමත් වී තිබිණි. මනාප ප‍්‍රතිඵල නිකුත්වෙද්දී හිටපු අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර, ජයරත්න හේරත් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන නිමල් විජේසිංහ සහ ආර්. ඞී. විමලදාස යන මහත්වරුන් මැතිවරණයෙන් පරාජයට පත් වී තිබිණි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස තේරී පත්වීම නිසා වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර සහ කෘෂිකර්ම අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා යන මහත්වරුන් අගෝස්තු 31 වැනිදා වයඹ පළාත් සභාවෙන් සමුගත්හ.wayamba_review14 wayamba_review15 wayamba_review16

දයාසිරිගේ නික්මයාමත් සමග පුරප්පාඩු වූ වයඹ පළාතේ මහ ඇමැති තනතුරෙහි ධර්මසිරි දසනායක මහතා සැප්තැම්බර් 08 වැනිදා දිවුරුම් දෙනු ලැබීමත් සමග සති ගණනක් තිස්සේ පැවැති මහ ඇමැති පොරයට නැවතීමේ තිත වැටිණි. වයඹ පළාත් සභාවේ හත් වැනි මහ ඇමැතිවරයා වශයෙන් ධර්මසිරි සැප්තැම්බර් 10 දා වයඹ ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී සිය රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කරද්දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක ඒ වේලාවේදීම කොළඹ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය හමුවේ ප‍්‍රකාශයක් ලබාදෙමින් සිටියේය. සැප්තැම්බර් 17 වැනිදා සිදු වූ වයඹ පළාත් සභාවේ ඇමැති සංශෝධනයත් සමග ලක්ෂ්මන් වේඩරුව සහ සුමල් තිසේරා ඇමැති මණ්ඩලයට ඇතුඵවෙද්දී ඩී. බී. හේරත් මහතා ඇමැතිකමින් විසි වී ගොස් තිබිණි. ඒ නිසාම සිය අමාත්‍යංශ නිලධාරීන්ද ආයුබෝවන් කියන්නට පළාත් සභාවට ආ ඞී.බී. ආපසු ගෙදර ගියේ ත‍්‍රීරෝද රථයකිනි. ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ විරල අවස්ථාවක් සනිටුහන් කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය ඉදිරියේ එකම පුතණුවන් වූ මංජුල බණ්ඩාර වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 18 වැනිදාය. වයඹ ආණ්ඩුකාරවරියට එරෙහිව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝගය සැප්තැම්බර් 22 දා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී ආණ්ඩු පක්ෂය විසින්ම ඉල්ලා අස්කරගනු ලැබීය.wayamba_review18 wayamba_review17 wayamba_review20 wayamba_review19

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට සහභාගිවීම සදහා කුරුණෑගල පිහිටි වයඹ පළාත් සභා සංකීර්ණය වෙත පැමිණ සිටි වයඹ පළාත් සභා මන්ත‍්‍රී මල්රාජ් පීරිස් මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ඔක්තෝම්බර් 01 වැනිදා පස්වරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය. මාස ගණණක් තිස්සේ පැවැති තනතුරු සටන නිමාකරවමින් ඔක්තෝම්බර් 06 වැනිදා වයඹ පළාත් සභාවේ හත් වැනි සභාපතිවරයා වශයෙන් ටිකිරි අධිකාරී මහතා සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස සෝමසිරි ගුණතිලක මහතාද නියෝජ්‍ය සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූහ. අධිකරණය මගහැරීමේ චෝදනාව මත මන්ත‍්‍රී පුත්තලම් දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේද එම දිනවලදීම වූ අතර මහා භාණ්ඩාගාරය විසින් වයඹ පළාත් සභාව වෙත ලබා දී තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදලක් වැය කරමින් හිටපු ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ස්වේච්ඡුා සංවිධාන සදහා උපකරණ බෙදාදී ඇති බව නොවැම්බර් 04 වැනිදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී අනාවරණය විය.wayamba_review21 wayamba_review22 wayamba_review23

අධිකරණය හමුවේ පෙනී නොසිටී වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය විසින් පසුගිය නොවැම්බර් 19 වැනිදා වරෙන්තු නිකුත් කළාය. නොවැම්බර් මාසය අවසානයේදී සහ දෙසැම්බර් මස මැදදී වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් විදෙස් සංචාරයක යෙදුණු අතර, මහ ඇමැති ධර්මසිරි දසනායක විසින් ඉදිරිපත් කළ අය වැයද පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කර ගත්හ.

කුරුණෑගල අජන්ත බණ්ඩාර රත්නායක.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article