Sunday, May 5, 2024

පාර්ලිමේන්තුව සහ පුත්තලම් බූරු නිදහස

Must read

“ප්‍රජාතන්ත්‍රවාදය වල් බූරු නිදහසක් නොවිය යුතු ය”යන රුවන් වැකිය පවසන ලද්දේ යටත් විජිත යුගයේ අප රටේ සිටි කෘතහස්ත දේශපාලනඥයකු වන ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් විසිනි.එහෙත්, මේ වන විට එය කොතෙක් ඔඩු දුවා තිබේද?යත් පාර්ලිමේන්තුව තුළ පුත්තලම් බූරු නිදහසට ඉඩ නොතැබිය යුතුය යනුවෙන් එය යාවත්කාලීන කළ යුතු තැනට මේ වන විට වැඩ සිදු වී තිබේ. රට තුළ මතුවී ඇති බරපතල ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දේශීය වශයෙන් නොව ජාත්‍යන්තර වශයෙන්ද මහත් ආන්දෝලනයකට තුඩු දුන් එකකි.එය මුල් කොට කතානායකවරයාට දන්වා පෙර කළ වේලාව වෙන්කරවා ගැනීමක් මත සමගි ජන බලවේග හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ(21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිටියේය. එහිදී ඔහු කියා සිටියේ එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව රට බංකොළොත් කිරීමට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳව රජය ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටින බවයි.එහි දී මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අය ආර්ථිකයට කළ විනාශයට පාඩුව ඔවුන්ගෙන් අයකරගත යුතු බවද විපක්ෂනායක වරයා පැවසූ අතර ආර්ථිකය බංකොලොත් කළ ඔවුන් තව දුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ ජීවත් වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය.මෙය ඉතා වැදගත් තර්කයකි.එබැවින් ඒ සඳහා විය යුතුව තිබුණේ එම තර්කානුකූල පදනමින්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් තුළ ඊට පිළිතුරු ලබා දීම පමණි.

නමුත් ඒ වෙනුවට ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කෑ ගසමින් ගසමින් ඊට විරෝධය පළ කළ ඇතැමුන් සිය අසුන්වලින් නැගිට විපක්ෂ නායක වරයා වටා එක් රොක් වූහ. මෙසේ පැමිණි අය අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හා ප්‍රසන්න රණවීර ද සිටියහ. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීන් ආරක්ෂකයින් එය වැළැක්වීමට උත්සාහ කළත් ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂය දෙසට කඩාපැන්න රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත එක්වරම ඉදිරියට විත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියවමින් සිටි ලේඛනය උදුරාගනු දක්නට ලැබිණ.එමෙන්ම මෙම සිදුවීම විඩියෝ ගත නොකරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන විපක්ෂ මන්ත්‍රී නලින් බණ්ඩාර ගෙන් ඉල්ලීමක්ද සිදු කළ මුත් මන්ත්‍රී වරයා එය වීඩියෝ කොට සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හරින ලදී. මෙම අවස්ථාවේ සභාව විනාඩි පහකට නතර කරන්නට ද කතානායකවරයා කටයුතු කළේය.පසුව මෙම මිලේච්ඡ හැසිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කතානායක වරයා වෙත පැමිණිලි කරමින් ඊට ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටි නමුත් කතානායකවරයා කීයේ ඒ ගැන පරීක්ෂණයක් අරඹන බව පමණි.

පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමාජ ජාල පරිශීලකයන් වැඩිම දෙනකු විසින් හඳුන්වන නමක් තිබේ.ඒ “පුත්තලම් බූරුවා” යන්න ය.ඊට හේතුව ඔහු මැදමුලන රාජපක්ෂ පවුලේ දේශපාලන දාසයකු ලෙස ප්‍රසිද්ධියේ ක්‍රියා කිරීමට වඩා ඔහුගේ අවිචාරවත් හැසිරීම් නිසා බව අපගේ වැටහීමය.ලිංගික කාරියක් සඳහා බූරු දෙනක ලුහු බඳින පුත්තලම් බූරුවා එම වේගයෙන්ම පාරේ ඉදිරියෙන් එන රථවාහන ඉදිරියට දිව අවුත් කර ගන්නා වින්නැහිය ගැන පුත්තලමේම වෙසෙන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත තුළ අපට වඩා දැනුවත් කමක් ඇතැයි අපි සිතමු.

සනත් නිශාන්ත නම මෑත භාගයේ වැඩිදුර කතා බහකට ලක් වූයේ 2019 දී තංගල්ලේ පැවැත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයේ ලක්ෂ 26ක විදුලි බිල ගෙවා දැමීම නිසා ය.එහි දී ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂ වරුන්ට ඇතුළු රාජපක්ෂ පවුලට එල්ල වන සමාජමය අපවාදයෙන් ඔවුන් නිදහස් කරනු පිණිස තමන් පෞද්ගලික මුදලින් මෙය ගෙවා දැමූ බව ය.නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඒ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ තමන්ගේ නමට හිඟ විදුලි බිලක් නොතිබුණු බවත්, 2019 දී පැවති තම විවාහයට අදාල “කිනම් හෝ බිලක්” සනත් නිශාන්ත ගෙවා ඇති බවත් ය.එහෙත්, ගෙවීමට නොමැති බිලක් ගෙවන්නේ කෙසේද?යන්න ගැන නාමල් රාජපක්ෂ කීයේ නැත.අනෙක එය ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ වැරදීමක් නම් එය හනික සොයා ගැනීමේ පහසු හැකියාවක් නාමල් රාජපක්ෂ සතුව තිබිය යුතුය. එමෙන්ම එය ඔහුගේ බිලක් නොවේ නම් එම බිල ගෙවීමෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිදු කොට ඇත්තේ ඉහත සඳහන් “පුත්තලම්” ආකාරයේ වැඩකි.නමුත් මේ වන විට මනාව තහවුරු වී ඇති අන්දමට එය ලංකා විදුලි බල මණ්ඩලය රාජපක්ෂ පවුල වෙත යොමු කළ මෙතෙක් නොගෙවා පැහැර හැර තිබූ විදුලි බිල් පතකි.

මේ අතර ශ්‍රී ලංකා පොදු පෙරමුණු දේශපාලනයේ බොහෝ ජ්‍යෙෂ්ඨයන් අබිභවා තම පවුල් බලය යොදා දිගට හරහට “වැරදි පැත්තෙන් ඉස්සර කොට” පෙරට පැමිණ සිටින නාමල් රාජපක්ෂ මෙවර අය-වැය එළි දැක්වුණු සැනින් ඊට එරෙහි ව අදහස් පළ කරන්නට පටන් ගෙන තිබේ.ඔහු එහි දී කියා සිටියේ තමා ජනතාවට සහන දීම වෙනුවෙන් පෙනී සිටින බැවින් මෙවර අයවැයෙන් ජනතාවට සහන නැති හෙයින් අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී තමා ඡන්දය දීමෙන් වැළකී සිටිය බවකි. මෙවර අයවැය යෝජනාවල හොඳ නරක දෙකම ඇති බවත් සමහර යෝජනා ප්‍රායෝගිකව ඉටු කළ නොහැකි ඒවා බවත් කී මන්ත්‍රීවරයා 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය යෝජනාම මෙවර අයවැයට ද ඇතුළත් කර ඇති බව ද කියා තිබේ.විශේෂයෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු ලෙස අයවැයේ වැරදි හා දුර්වලතා පෙන්වා පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සහ ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කිරීම තමන්ගේ යුතුකමක් බව ද ඔහු පැවසීය.මෙවර අයවැයේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක්ද නොමැති බවත් එසේම අයවැය යෝජනා බිම් මට්ටමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටළු ඇතිබව පෙනී යන බවත් මන්ත්‍රීවරයා කීය.ඒ අනුව අය-වැය එළි දැක්වූ සැනින් ඒ සම්බන්ධ විශ්ලේෂනාත්මක ප්‍රකාශයක් කිරීමට තමන්ට හැකියාවක් ප්‍රතිභාවක් ඇති බව ජනතාව හමුවේ අනාවරණය කිරීම මන්ත්‍රීවරයාගේ අභිලාෂය වන්නට ඇත.එමෙන්ම තම පියා පවා අය වැයට පක්ෂව ඡන්දය පාවිච්චි කරන අතරේ මෙරට පොදු ජනතාව ගැන සිතා අය-වැයට ඡන්දය නොදුන් “නාමල් කුමාරයා” රට ජාතිය බේරා ගැනීම පිණිස තම පියාට එරෙහි වූ ගැමුණු කුමාරයාට සමාන යැයි ඉතා කලාතුරකින් වුව යමකුට සිතෙන්නට පුළුවන. ඒ කෙසේ හෝ රාජපක්ෂ පවුල සංවර්ධනයේ නාමයෙන් හම්බන්තොට මුල් කොට මහජන මුදල් යොදා කළ රුපියල් ප්‍රකෝටි ගණන් වල නිස්කාරණ වියදම් හමුවේ ලුණු කැඳ ටිකකට වැඩි යමක් බඩට දමා ගන්නට නොහැකි බහුතර ජනතාවක් මේ මොහොතේ ද සිටින බව නාමල් රාජපක්ෂ අදටත් නොදන්නවා විය හැක.

සෙසු කල් ක්‍රියාවන් පසෙක තිබිය දී හම්බන්තොට අන්ත දිළිඳු පැල්පතක උළුවස්සෙන් ඇතුලට මෑත භාගයේ හිස පෙවූ එකම නායකයා හිටපු ජනපති ආර් ප්‍රේමදාස බව ද කිව යුතු ය. සනත් නිශාන්තගේ සහ නාමල් රාජපක්ෂගේ මෙම කියුම් කෙරුම් රාජපක්ෂ දේශපාලනයේ ප්‍රධාන අංග බව මේ වන විට බොහෝ දෙනෙක් දනිති.මෙවැනි මවා පෑම් මඟින් “බයියන්” ලෙස හංවඩු ගැසුණු අතාර්කික ජන කොටස ගෙන් පාලන බලය උදුරා ගැනීම රාජපක්ෂගේ මෙතෙක් පැවති සිරිත විය.එහෙත්, පසුගිය කාලයේ නිර්පාක්ෂිකව ඇරඹී පක්ෂ දේශපාලනයෙන් බෙලහීන වූ අරගලය වැනි තවත් අරගල රැසක් ඉදිරියේ පෙළ ගැසීමේ පහසු ඉඩකඩක් තිබේ.උත්තරීතර යැයි පැවසෙන පාර්ලිමේන්තුව තුළ සිදුවන මෙබඳු පුත්තලම් බූරු ක්‍රියා ආදිය හේතුවෙන් දිනෙන් දින ගරා වැටෙන පාර්ලිමේන්තු සම්ප්‍රදය සම්බන්ධයෙන් හට ගන්නා ජනතා කලකිර්‍රම ද ඊට පාදක වනු ඇත.එහෙත්, පසුගිය ජනතා අරගලය සම්බන්ධයෙන් වහසි බස් දොඩන නාමල් ලාටත් ලිංගික කාරියක් සඳහා සහකාරියක් සොයා දිව එන අතරේ එම වේගයෙන්ම පාරේ ඉදිරියෙන් එන රථවාහන ඉදිරියට දිව එන පුත්තලම් සත්වයකු මෙන් අවිචාරවත් ව හැසිරෙන සනත් නිශාන්තලාටත් එය සුවදායක සමයක් වීමට ඇති ඉඩ කඩ ශූන්‍ය මට්ටමක පවතින බව ද ඒකාන්තයෙන් කිව යුතුය.

රේණුකා දමයන්ති /www.vinivida.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article