Friday, May 3, 2024

බිලි බෝයිලා පෙන්නලා – ලංසලා යයිද ලිස්සලා ?

Must read

freddy_accusමාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතාට මීගමුව මහ නගර සභා පරිශ්‍රය තුළදී එල්ල වූ මැර ප්‍රහාරයට සම්බන්ධ බව කියන තරුණයින් දෙදෙනෙකු අද මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට වෙත ඉදිරිපත් කරනු ලැබීය.

23/1 , ජනජයගම, බෝලවලාන, මීගමුව යන ලිපිනයෙහි පදිංචිකරුවන් බව කියන අග්ගනගේ කුෂාන් ක්‍රිස්මාල් (28) සහ අග්ගනගේ සුපුන් රංග ප්‍රනාන්දු (22) යන අයවලුන් මෙලෙස අත්අඩංගුවට ගැණුනු අතර සැකකරුවන් දෙදෙනා දෙදෙනා එකකුස උපන් සහෝදරයින් බවද මීගමුව පොලීසිය කියයි.

මීට දෙතුන් වසරකට පෙරදී ඝාතනය කිරීමට, පහරදීමට , වධහිංසාවට සහ තර්ජනයට ලක් වූ උතුරේ සහ දකුණේ මාධ්‍යවේදීන් සිය ගණනාවකට මුහුණදීමට සිදු වූ‘දේශප්‍රේමී ප්‍රහාරයන්‘සම්බන්ධයෙන් සැකකරුවෙකු හෝ නම් නොකෙරුණු නීති සංස්කෘතියක් පැවැති රටක ෆ්‍රෙඩී ගමගේ මහතාට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් පැය 48 ක් ගෙවෙන්නටත් පෙර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ ශ්‍රී ලංකා පොලිසිය වෙත මෙරට සියලු මාධ්‍යවේදීන්ගේ ප්‍රශංසාව හිමිවෙයි. එමෙන්ම අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුලු දේශපාලන යාන්ත්‍රණයද මෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය ඇතුලු රාජ්‍ය යාන්ත්‍රණයද ප්‍රතිචාර දැක් වූ ආකාරය පෙර පාලනය සමයේදී තර්ජනයට ලක් වූ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් එකල දැක්වුණු දැක් වූ ප්‍රතිචාරයන්ට හාත්පසින්ම වෙනස් බවත්, එය මෙරට මාධ්‍ය නිදහස් වෙනුවෙන් දැල්වුණු කොළ එළියක් බවද මෙහි ලා කිව යුතුය.

තමන් සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවියේ පළ කර තිබූ ප්‍රවෘත්තියක් හේතුවෙන් ඇති වූ වෛරයක් මත මීපුර කර්තෘවරයාට පහරදීමට පෙළඹුණු බව පොලිස් ප්‍රශ්නකිරීම්වලදී සැකකාර සහෝදරයින් දෙපළ විසින් පාපොච්චාරණය කළ බව මීගමුව පොලිසිය කියයි.

නමුත් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන ප්‍රෙඩී ගමගේ මහතා කියන්නේ තමන් ඝාතනය කිරිමට තරම් වෛරයක් ඇතිවන ආකාරයේ කිසිදු ප්‍රවෘත්තියක් තම වෙබ් අඩවියේ කිසි කලෙකත් පළ වී නැති බවය. එබැවින් අදාල ප්‍රකාශය මෙම තරුණයින් ලවා සිදුකරවා ඇත්තේ ප්‍රහාරය සැලසුම් කළ මහ මොළකරුවන් විසින් බවත්, අත්අඩංගුවට ගත් සහෝදරයින් දෙදෙනා ඉටුකරමින් ඉන්නේ සැබෑ අපරාධකරුවන් විසින් ඔවුන් වෙත ලබා දුන් කොන්ත්‍රාත්තුවක් බවද ෆ්‍රෙඩී ගමගේ මහතා වැඩිදුරටත් කියයි.

සැබැවින්ම අපි විසින් මීට පෙරද ලියා ඇති ආකාරයට මීගමුව නගර සභාවේ සිදු වී ඇතැයි කියන වංචා සහ දූෂණ රැසක් රටට අනාවරණය කරමින් මීපුර වෙබ් අඩවිය විසින් පසුගිය සති කිහිපය පුරාම පුද්ගල නම් ගම් සහිත හෙළිදරව් කිරීම් ගණනාවක් සිදු කළේය. නමුත් ඒ කොතැනකවත් ඉහත සැකකරුවන් දෙදෙනාගේ නම් දෙක සදහන් වී නැති බව මොහොතේදීත් මීපුර වෙබ් අඩවියට පිවිසෙන ඕනෑම අයෙකුට දැකගත හැකි වෙයි. එසේ නම් තමන් සම්බන්ධ ප්‍රවෘත්තියක් මුල්කරගෙන මීපුර කතුවරයා සමග ජන්මාන්තර වෛරයක් ඇති කරගත් බවට ලාබාල වයස්වල පසුවන මෙම තරුණයින් දෙදෙනා විසින් දෙසාබාමින් ඉන්නේ ලත් තැනම ලොප්වෙන , අතේ පැළවෙන බොරුවක් බව පැහැදිලිය. මීපුරේ පළනොවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් වෛරයක් ඇති කරගත්තා යැයි ඔවුන් තවදුරටත් කියන්නේ නම් පොලිසිය දැන් කළ යුත්තේ ඒ දෙදෙනා මානසික රෝග පිළිබද විශේෂඥයෙකු වෙත වහා යොමුකර උන්ගේ මොළගෙඩි සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීමය.

කෙස්වෙතත් මෙම තරුණයින් දෙදෙනා විසින් පොලිසිය වෙත ලබා දුන් බව කියන උක්ත ප්‍රකාශය අර්ධ සත්‍යයක් බවත්, මීපුර කර්තෘ ෆ්‍රෙඩී ගමගේ සමග ජන්මාන්තර වෛරයක් ඇති වූ බව කියන කොටස සත්‍යයක් බවත් ලියුම්කරුගේ අදහස වෙයි. නමුත් වෛරය ඇති වූයේ අදාළ තරුණයින්ගේ සිත් තුළ යැයි කීම එහි ඇති අසත්‍ය කොටස වෙයි. සැබැවින්ම ෆ්‍රෙඩී සමග වෛරයක් හටගත්තේ මීගමුව තුළ නොනිල රාජධානියක් පවත්වාගෙන යමින් පසුගිය කාලය පුරා මීගමුව නගර සභාවේ සාරය උරා බිව් මගඩි දේශපාලකයින්ගේ කුණු වූ හිත් ඇතුළේය. රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කරමින්, මහජන මුදලින් රුපියල් කෝටි ගණනින් පිල්ලි ගසමින් මීගමුව නගර සභාව වලපල්ලට යැවීමේ අරගලයකට උරදී සිටි මෙම ජනතා ද්‍රෝහීන්ට එරෙහිව මීපුර සක්‍රීයවම නැගී සිටියේය. උන්ගේ හොරකම්, මැරකම්, ජඩකම් සාක්ෂි සහිතවම සයිබර් අවකාශය හරහා ජනතාව වෙත මුදාහැරීමට මීපුර පියවර ගත්තේය. ඒ නිසාම මේ දූෂිතයින් ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ නිරුවත් වී ගියේය. මීපුරේ ඇතැම් අනාවරණය කිරීම් හමුවේ මේ කම්බ හොරුන්ට පාරක බැහැලා යන්නට බැරි තැනට වැඩකටයුතු සිදු වූ බව නොරහසකි. ඊටත් වඩා උන්ට සිදු වූ බරපතලම හානිය වූයේ මීපුර අනාවරණය කිරීම් හේතුවෙන් ඉදිරියේ හොරාකන්නට සැලසුම් කරගෙන සිටි සුවිසල් ධනස්කන්දයක් අහිමි වී යාමය. ලැබෙන්නට තිබූ වරදාන, වරප්‍රසාද ඇස්පනාපිටම ගිලිහීයාමය. එවන් පසුබිමෙක වෙඩි කෑ ඌරන්ගේ තත්වයට පත් වූ මේ මගඩින්ට මීපුර වෙබ් අඩවිය කෙරෙහිත්, මීපුර මෙහෙයවන හස්තය වන ෆ්‍රෙඩී සමගත් ජන්මාන්තර වෛරයක් ඇතිවීම අහන්නටත් දෙයක්ද ?

මුලින් මුලින් මේ හොර නඩය සූදානම් වූයේ තර්ජනය කිරීම් සහ බියවැද්දීම් හරහා මීපුර මෙල්ල කරගැනීමටය. මීගමුව මහ නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මීපුර වෙබ් අඩවියට එරෙහිව අශුද්ධ සන්ධානයක් අටවා ගන්නේත්, එහි ප්‍රතිඵලයක් ලෙස මීගමුව නාගරික මන්ත්‍රී (එජාප) ගිහාන් ප්‍රනාන්දු විසින් මීපුර වෙබ් අඩවියට එරෙහිව පොලිසියට යන්නේත් ඒ අනුවය. එපමණක් නොව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් දුරකථනය ඔස්සේ ෆ්‍රෙඩී අමතා ‘උඹලා ගැන දෙවියෝ බලා ගනී‘යැයි තර්ජනය කරන්නේ මීට දින කිහිපයකට පෙරදීය. එවැනි පල්පාට් හරහා මීපුර හා නවත්වන්නට ලංසලාට නොහැකි වූ අතර මීපුර ඊට ප්‍රතිචාර දැක් වූයේ තම ප්‍රහාරය තවදුරටත් දැඩි කරමිනි. අවසානයේ ඔවුන් තීරණය කළේ බලපෑම් හෝ තර්ජනවලින් නොහැකිනම් ලෙයින් යකඩින් හෝ මීපුර මර්දනය කළ යුතු බවටය. මන්ද උන්ගේ අනුදැනුම හා ආශිර්වාදය ඇති වූ හොර මගඩි වැළක් ජනතාව වෙත හෙළිකරමින් ඒ වනවිටත් මීපුර විසින් ඔවුන් පොරවාගෙන සලු පිළි බර ගණනක් ගලවා තිබූ අතර ඉතිරිව තිබූ එකම ජංගි කොටයත් මීපුර විසින් ගලවා දමනු ඇතැයි මේ මහත්වරුන් බියට පත්වී සිටියහ. ඒ අනුව දයාන් ලංසා විසින් කී පරිදිම ෆ්‍රෙඩී ගැන බලාගන්නට පසුගිය 02 වැනිදා මීගමුව නගර සභාව වෙත කවුරුන් විසින් හෝ ‘අවියක් සහිතවම දෙවියන්‘එවනු ලැබ තිබිණි. නමුත් සැබෑ දෙවියන් පවා හොරුන්, තක්කඩින් හෝ දුෂිතයින් සමග නැති බව පෙන්වමින් මැර ප්‍රහාරයෙන් හාස්කමකින් මෙන් දිවිගලවාගන්නට ෆ්‍රෙඩී සමත් විය.

ෆ්‍රෙඩීට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රශස්ත සහ වෘත්තීමය මට්ටමේ හැසිරීමක් පෙන් වූ පොලිසියේ මහත්වරුන් වෙත අප අනතුරු අගවා සිටින්නේ මේ දක්වා පිරිසිදුව දොවමින් ආ කිරි කළයට ගොම බින්දුවක් එකතුවීමේ අවදානමක් ඇති බවටය. තමන් විසින් මීපුර කර්තෘවරයාට පහරදීමට පෙළඹුණේ එම වෙබ් අඩවියේ පළ වී තිබූ ප්‍රවෘත්තියක් හේතුවෙන් ඇති වූ වෛරයක් මත බවට හුදු කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු විසින් කරන ප්‍රකාශ පොලිස් පොත්වල ලියාගත්තාට කමක් නැත. නමුත් අදාල පහරදීම සම්බන්ධ විමර්ශණ එම ප්‍රකාශයට ලඝු නොකරන ලෙසට මෙන්ම එම ව්‍යාජ ප්‍රකාශය මත විමර්ශණයේ දිශානතිය වෙනස් නොකරන ලෙසටත් අදාල විමර්ශණයන් භාරව සිටින මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සිට මීගමු පොලිසියේ කණිෂ්ඨම කොස්තාපල්වරයා දක්වා වූ නිලධාරින්ගෙන් අප ඉල්ලා සිටිමු. අදාල තරුණයින්ගේ ප්‍රකාශය අසත්‍යයක් බව සනාථ කිරීම පිණිස උසාවිය හමුවේ කෙස් පැලෙන තර්ක කිරීමට අවශ්‍ය නොවන අතර එකම එකම මවුස් කිලික් එකක් හරහා මීපුර වෙබ් අඩවියට පිවිසීමෙන් ඇස්පනාපිටම තහවුරු කරගත හැකි වනු නිසැකය. එපමණක් නොව මීපුර යනු නිර්දෝෂී කිසිවෙකු ඉලක්ක නොකරන මෙන්ම නිර්දෝෂි කිසිවෙකුගේ සිතක වෛරයක් ඇති කරවන අන්දමේ පහත් මාධ්‍ය භාවිතාවක නොයෙදුණු වෙබ් අඩවියක් බවද ඒ හරහා වැඩිදුරටත් තහවුරු කර ගත හැකි වනු ඇත.

තමාට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව පොලිසියට සහ මාධ්‍ය වෙත කළ ප්‍රකාශයන් හරහා ෆ්‍රෙඩී ගමගේ මහතා අවධාරණය කර සිටියේ තමන්ට එල්ල වූ මැර ප්‍රහාරය පිටුපස සිටින්නේ ලංසා පවුලේ සාමාජිකයින් බවටය. නමුත් පොලිසිය විසින් මේ දක්වා කළ විමර්ශනවලදී ෆ්‍රෙඩී ගමගේ මහතාගේ එම ප්‍රකාශය කෙරෙහි බර තබා ක්‍රියාකරන බවක් දකින්නට නැත. යටත් පිරිසෙයින් ෆ්‍රෙඩී ගමගේ මහතා විසින් සෘජුවම චෝදනාවට ලක්කරන මීගමුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට පවා පොලිසිය කටයුතු කර ඇති බවක් වාර්තා නොවේ. එබැවින් අපිට පෙනෙන්නේ සැබෑ අපරාධකරුවන් විසින් බිලිබෝයිලා දෙදෙනෙකු නීතියේ දැල වෙත තල්ලු කර දමා ඔවුන් වෙත එල්ලවන චෝදනාවෙන් පලායාමට සැරසෙන බවකි. ෆ්‍රෙඩී ගමගේ මෙන්ම මෙරට අනෙක් මාධ්‍යවේදීන්ද මේ මොහොතේදීත් විශ්වාස කරන්නේ සැබෑ ප්‍රහාරකයා තවමත් නිදැල්ලේ බවය. පෙර පැවැති පාලන කාලයේදී මෙන් පරීක්ෂණ යට ගහන්නට හෝ සාක්ෂි වෙනස් කරන්නට පොලිසිය වෙත එල්ලවන බලපෑම් අවම කෙරී ඇති පසුබිමෙක අප පොලිසියෙන් ඉල්ලා සිටින්නේ බිලි බෝයිලා පෙන්නලා ලංසලාට ලිස්සලා යාමට ඉඩ නොතබන ලෙසටය.

අජන්ත බණ්ඩාර රත්නායක

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article