Sunday, May 5, 2024

මලියදේව ශ්‍රවණාගාරයට ඇල්ලීමට ගෙනා ටයිල් පෙට්ටි මේසන් බාස් උස්සලා.

Must read

maliyadeva_robber

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ඉදිකෙරෙන නව ශ්‍රවණාගාරයේ බිමට ඇතිරීමට ගෙනැවිත් තිබූ රුපියල් 95000 ක් පමණ වටිනා ටයිල් තොගයක් සොරකම් කළ බව කියන, එම ශ්‍රවණාගාරයේ ඉදිකිරීම්වල නියුතු පෙදෙරේරුවෙකු කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් පසුගියදා වාරියපොලදී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ වාරියපොල, කනත්තේවැව, හීලෝගම ප්‍රදේශයේ පදිංචි ධනුෂ්ක කුමාර හෙට්ටිආරච්චි නැමැති 25 හැවිරිදි පෙදරේරුවෙකි. මලියදේව විද්‍යාලයේ නව ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් මේ දිනවල සිදුවෙමින් පවතින අතර සැකකරු එම ඉදිකිරිම්වලට පෙදෙරේරුවෙකු ලෙස දායකත්වය ලබාදෙමින් සිටින අයෙකු බව පොලිසිය කියයි. සැකකරු විසින් පසුගිය දිනෙක රාත්‍රියේ ලොරියකින් පැමිණ ශ්‍රවණාගාර වැඩබිමට යාමට අවශ්‍ය බව පවසා ඇති අතර, සැකකරු එම වැඩබිමෙහි සේවයේ යෙදී සිටින අයෙකු බැවින් විද්‍යාලයේ මුරකරුවන්ද ඔහුට එහි ඇතුලුවීමට අවසර ලබා දී තිබේ. පසුව සැකකරු විසින් එම වැඩබිම තුළ ගබඩාකර තිබූ ටයිල් පෙට්ටි 20 ක් ලොරියේ පටවාගෙන සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. සිය වැඩබිම තුළ තිබූ ටයිල් තොගයක් අස්ථානගත වී ඇති බවට, ඉන් දින කිහිපයකට පසුව අදාල ඉදිකිරීම් භාර නිලධාරින් විසින් කළ පැමිණිල්ලකට අනුව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් ඒ පිළිබද පරීක්ෂණ ආරම්භ කර තිබේ. මූලික විමර්ශණවලදී හෙළිකරගත් තොරතුරු අනුව සැකකාර පෙදෙරේරුවා අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හීලෝගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙස් සගවා තිබූ ටයිල් තොගයද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් ටයිල් තොගයට අඩි දෙකයි දෙක ප්‍රමාණයේ ටයිල් කැට 60 ක් අයත්වන අතර ඒවායේ වෙළදපොල වටිනාකම රුපියල් 95000 ක් පමණ වන බවද පොලිසිය කියයි.

කුරුණෑගල පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ උපදෙස් මත, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. සී. දිසානායක, පොලිස් සැරයන් සේනානායක (27361), පොලිස් කොස්තාපල් සමන්ත (58584) සහ අත්පත්තු (77365) යන නිලධාරිහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති  ඉහත ඡායාරූප මෙම සිදුවීමට සම්බන්ධ ඡායාරූප නොවන අතර, ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article