Friday, May 3, 2024

මිනිරන් පතලකට එරෙහිව පන්ලියද්දේ ගම්මු විදී බසිති.

Must read

panliyadda_featured

ජන ජීවිතවලට සහ පරිසරයට බලපෑම් එල්ලවන අයුරින් මැල්සිරිපුර, පන්ලියද්ද ප‍්‍රදේශයේද ආරම්භ කිරිමට සැරසෙන මිනිරන් පතලක් සදහා බලපත්‍ර නිකුත් නොකරන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් ඊයේ  (13 දා) දහවල් පන්ලියද්ද මංසන්ධියේ දී උද්ඝෝෂණයක යෙදුණහ.

පන්ලියද්ද සුරැකීමේ ජනතා ව්‍යාපාරය නැමැති සංවිධානයක් විසින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණය සදහා පන්ලියද්ද, ඕමාරගොල්ල, කදුමුල්ල, නාබැට, උස්සාව, හැවනතැන්න සහ මඩහපොලකන්ද යන ගම්මානවල වෙසෙන දහසකට ආසන්න ගම්වාසීහු පිරිසක් එක් වී සිටියහ.

පුද්ගලික සමාගමක් විසින් පන්ලියද්ද, දාස්වත්ත ප‍්‍රදේශයේ ආරම්භ කිරිමට නියමිත බව කියන මෙම මිනිරන් පතල සදහා සේවක සේවිකාවන් බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඊයේ පැවැත්වෙන බවට නිවේදනය කරමින් එම සමාගම විසින් ප්‍රදේශය පුරා දැන්වීම් අලවා තිබෙනු දැකගත හැකිවිය.

පතල ආරම්භ කිරීමට එරෙහිව නැගෙන මහජන විරෝධය යටපත් කිරීම සදහා ගම්වාසීන් පිරිසක් පතල් සේවකයින් ලෙස බදවාගෙන ගම භේදබින්න කිරීමට අදාල සමාගම විසින් කටයුතු කරමින් සිටින බවට ගම්වාසීහු මෙහිදී චෝදනා කළහ. ජල පෝෂක ප්‍රදේශයක ආරම්භ කිරීමට සැරසෙන මෙම මෙම මිනිරන් පතලෙහි කැණීම් ආරම්භ කළහොත් ජල උල්පත් සිදීයාම හා ජලයට විස රසායනික මුසුවීම වැනි පරිසර ගැටලු රාශියක් හටගන්නා බවත් උද්ඝෝෂකයින් මෙහිදී පැවසූහ. මේ හේතුවෙන් පන්ලියද්ද සහ ඒ අවට පිහිටි ගම්මාන හතක් මෙන්ම ඒවායේ වෙසෙන පවුල් 3000 කට අයත් ජනතාවත් මෙම මිනිරන් පතල හේතුවෙන් තර්ජනයට  ලක් වී සිටින බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් උද්ඝෝෂණය ආරම්භ කළ පිරිස පසුව කුරුණෑගල – දඹුල්ල ප‍්‍රධාන මාර්ගය මැදට පිවිස, ඒ මත වාඩි වී මාර්ගය හරස් කිරීම හේතුවෙන් විනාඩි 30 ක පමණ කාලයක් එම මාර්ගයේ ගමනාගමන සම්පූර්ණයෙන්ම නැවතිණි. මේ හේතුවෙන් පන්ලියද්ද ප්‍රදේශයේදී දිගු වාහන පෝලිමක් දැකගත හැකි විය. උද්ඝෝෂණයේ යෙදුණු ගම්වාසීන් මාර්ගයෙන් ඉවත්කිරීමට යාමේදී ගම්වාසීන් සහ පොලිසිය අතර වචන හුවමාරුවක් ද ඇතිවිය.

පසුව පොලිසියේ ඉල්ලීම මත එහි පැමිණි ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් ඊ. ඒ. සෝමරත්න, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ධර්මකීර්ති අලවත්තගේ සහ මඩුගල්ල තිලංග මඩුගල්ල යන මහත්වරුන් විසින් අදාල මිනිරන් පතල ඇරඹීම සදහා ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව මගින් කිසිදු බලපත්‍රයක් නිකුත් නොකරන බවට විරෝධතාකරුවන් හමුවේ පොරොන්දු වූහ.

එම පොරොන්දුවට එකගත්වය පළකරමින් විරෝධතාවය අවසන් කළ පිරිස මාර්ගයෙන් ඉවත් වී සාමකාමීව විසිරී ගිය අතර ඉන් අනතුරුව කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්වයට පත්විය.

මෙම උද්ඝෝෂණයේ වීඩියෝ දර්ශණ පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article