ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද pregab නම් ඖෂධ කරල් 8,63,680 ක් තම බාරයට ගැනීමට කොස්වත්ත පොලීසියේ නිලධාරීන් සමත් වී ඇත.
මුහුදු මාර්ගයෙන් ගෙනවිත් ඇති මෙම ඖෂධ කරල් තොගය කරවල ප්‍රවාහනය කරණ මුවාවෙන් ලොරි රථයකින් රැගෙන යන බවට වන තොරතුරක් රාජ්‍ය බුද්ධි සේවයේ කල්පිටිය ඒකකයේ නිලධාරින්ට ලැබී ඇත. අදාල ලොරිය කල්පිටියේ සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් අනාවරණය කර ගෙන ඇත. ඒ අනුව එම ලොරි රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරණ ලෙස රාජ්‍ය බුද්ධි සේවය කල්පිටියේ සිට කොළඹ දක්වා ඇති පොලිස් ස්ථාන දැණුවත් කර ඇත.
25 වැනිදා අළුයම කොස්වත්ත පොලීසියේ නිලධාරීන්ට ද තොරතුරක් අනුව අදාල ලොරි රථය නාත්තන්ඩිය – කොට්ටරාමුල්ල ප්‍රදේශයේ ගරාජයක තිබී සොයා ගෙන ඇත. ලොරි රථය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් එහි පැමිණි අය රථය තබා ගිය බව ගරාජයේ හිමිකරු පොලීසියට පවසා ඇත.
26 වැනිදා අළුයම වනතුරු හිමිකරු හෝ රියදුරු නොපැමිණීම නිසා ලොරි රථය තම බාරයට ගැනීමට කොස්වත්ත පොලීසියේ නිලධාරීන් කටයුතු කර ඇත.
ලොරි රථය තුළ පිටතට පෙනෙන ලෙස කරවල පෙටිටි 12 ක් තිබී ඇත. අනතුරුව අසූරා තිබී ඇත්තේ Pregab නම් ඖෂධ කරල් අඩංගු පෙට්ටි 06 කි.
මෙම ඖෂධ වර්ගය පිළිකා සහ ස්නායු රෝගීන්ට අධික වේදනාව සමනය කිරිම සදහා පමණක් නිකුත් කරණ බවත්, විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව කිසිවෙකුට ළග තබා ගැනීම හෝ කළ නොහැකි බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
තම බාරයට ගෙන ඇති ඖෂධ තොගයේ වෙළද පළ වටිනාකම රුපියල් කෝටි 08 ක් පමණ වන බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි. ලොරි රථයේ හිමිකරු හදුනා ගෙන ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඉදිරි විමර්ශණ සිදු කරණ බව පොලීසිය කියයි.
හලාවත කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා, නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ යන මහත්වරුන්ගේ උපදෙස් මත කොස්වත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සනත් වර්ණකුළ, උප පොලිස් පරීක්ෂකවරුන් වන දිසානායක, අජිත් ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.







