Sunday, May 19, 2024

‘‘ රෝයල් රෙජීමය ගෙදර යවන තෙක් එජාපයට ගොඩයෑමක් නැහැ ! “

Must read

tissa_kurunegala

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ගජමිතුරන්ගෙන් සැදුම්ලත් රෝයල් රෙජීමය ගෙදර යවන තෙක්  එක්සත් ජාතික පක්ෂයට කිසිදිනෙක නැගී සිටිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.

හිටපු මහලේකම්වරයා මේ බව පැවසුවේ කුරුණෑගල, අලකොළදෙණිය මල්ගල පුරාණ රජමහා විහාරස්ථානයේදී පෙරේදා (31 දා)  පැවැති ආගමික වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී මාධ්‍යවේදීන්ගෙන් යොමු වූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් තිස්ස අත්තනායක මහතා මෙසේ ද පැවැසීය.

‘‘ රාජකීය රෙජීමය නිසා අද වනවිට එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම බිදවැටිලා තිබෙනවා. මේක තමයි පක්ෂයට තියෙන ලොකුම ප්‍රශ්නේ. ආසන සංවිධායකවරු, ශාඛා සමිති නිලධාරින් සහ ඡන්දපොල සංවිධායකයින් ඇතුලු ගමේ මිනිස්සු එකතුවෙලා පක්ෂය දිනෙව්වාම අන්තිමට පෙරහැරේ යන්නේ වෙනත් කවුරුවත්. පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කොටන් අදින්නේ කවුරුවත්. නමුත් පෙරහැරේ යන්නේ වෙනම කොට්ඨාශයක්. ඒ නිසා රෝයල් රෙජීමය ගෙදර යවන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය සුද්ද කරන්න කවදාවත් බැහැ. ඒ අය පක්ෂයෙන් යන්නම ඕනෑ. ගියොත් තමයි එක්සත් ජාතික පක්ෂයට නැගිටීමක් තියෙන්නේ. මේ අයට යන්න තැන් නැතුව නෙවෙයිනේ. මේගොල්ලෝ ජයග්‍රහණයේදී පක්ෂයට එනවා. පරාජයේදී හෙමිහිට මාරුවෙලා යනවා. ඒ නිසා මේ ගොල්ලො පක්ෂයෙන් යන එකෙන් ගමේ පාක්ෂිකයාට විශාල සෙතක් අත්වෙනවා.

දැන් එළැඹිලා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ විශාල වෙනසක් ඇතිවිය යුතු යුගයක් . හැබැයි පක්ෂය ප්‍රතිසංස්කරණය කරනවා කියන්නේ මූණු ගලවලා එහාට මෙහාට හයි කරන එකක් නෙවෙයි. මිනිස්සුන්ට දැනෙන සහ සැබෑ වෙනසක් එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ඇතිවෙන්න ඕන කියලා තමයි ජනතාව කියන්නේ. දේශපාලනය ඇතුලු ඕනම දෙයක පැවැත්ම තීරණය වෙන්නේ මාකටින් කියන සංකල්පය ඇතුලේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය තවදුරටත් මාකට් කරන්නට නම් අලුත් වෙනසක් සහ අලුත් ආරම්භයක් සහිතව නව එක්සත් ජාතික පක්ෂයක් බිහිවිය යුතුමයි.

අගමැතිතුමා සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන දෝෂාභියෝගය ගැන වුනත් මම මුලදී හිතුවේ මේක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලයි. නමුත් විවිධ පාර්ශවලින් දැන් ලැබෙන ආරංචිමාර්ග හරහා, දෝෂාභියෝගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට ලොකු අභියෝගයක් එල්ලවෙලා තියෙන බව පැහැදිලියි. ආණ්ඩුවේ කොටස්කාරයින් විදිහට ඉන්න පාර්ශ්වයන් අතර වගේම පක්ෂ අභ්‍යන්තරයේදීත් මේ සම්බන්ධයෙන් නොයෙකුත් හැලහැප්පිලි ඇති වී තිබෙන බවක් පෙනෙනවා. ඒ නිසා දෝෂාභියෝගය පරාජය කිරීම සම්බන්ධයෙන් සැකසංකා සහිත තත්වයක් තමයි මේ වනවිට දකින්න තියෙන්නේ. “

tissa_kurunegala_01

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article