Saturday, May 18, 2024

වටේ ගෙවල්වලට ‘ජෝඩු රැගුම්‘ නොමිලයේ පෙන් වූ වැල්ලව සිනමන් මෙනා වසාදැමීමට නියෝග !

Must read

cinamon-menaකිසිදු නීත්‍යානුකූල බලපත‍්‍රයක් ලබානොගෙන මහජන සෞඛ්‍යට අහිතකර අයුරින් සහ සමාජ විරෝධී ලෙස පවත්වාගෙන යමින් තිබූ බව කියන වැල්ලව ප‍්‍රදේශයේ පිහිටි කුලියට කාමර සපයන ලැගුම්හලක් වසාදමන ලෙසට කුරුණෑගල අතිරේක මහේස්ත‍්‍රාත් චාමර වික‍්‍රමනායක මහතා නියෝග කළේය.

මෙලෙස වසාදැමීමේ නියෝග නිකුත් කෙරුණේ නදී පියස, බඹරගොඩ, වැල්ලව ප‍්‍රදේශයේ සිනමන් මෙනා නමින් කුලී කාමර සපයන ලැගුම්හලක් පවත්වාගෙන ගිය කේ. එච්. පී. උදයකුමාර නැමැති අයෙකුටය.

1987 අංක 15 දරණ ප‍්‍රාදේශිය සභා පනතේ අංක 6 වගන්තිය යටතේ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවෙන් විත්තිකාර ලැගුම්හල් හිමියාට එරෙහිව නඩු පවරා තිබිණි. පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ කරුණු දැක් වූ බමුණාවල හිටපු මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික‍්‍රම මහතා අදාළ ලැගුම්හල පිළිබදව ලැබී තිබූ මහජන පැමිණිලි ගණනාවක් හේතුවෙන් එය වැටලීමට ලක්කළ බවත්, ලැගුම්හලක් පවත්වාගෙනයාමේදී ලබාගත යුතු පරිසර බලපත‍්‍රය, වෙළද බලපත‍්‍ර හෝ වෙනත් කිසිදු නීත්‍යානුකූල ලියැවිල්ලක් ඉදිරිපත් කිරීමට එහි හිමිකරු එම අවස්ථාවේදී අපොහොසත් වූ බවද පැවසීය. එම ලැගුම්හල් පරිශ‍්‍රය තුළ ඉදිකර තිබූ සියලූ ගොඩනැගිලි පළාත් පාලන ආයතනය වෙතින් අවසර ලබානොගෙන ඉදිකළ අනවසර ගොඩනැගිලි බවද මෙම වැටලීමේදී අනාවරණය කරගත හැකි වූ බවද පැවසීය.

ලැගුම්හලෙන් පිටකෙරෙන අපජලය බැහැරකිරීම සදහා විධිමත් ක‍්‍රමවේදයක් සකස්කර නොතිබූ බවත් එම අපජලය පාරට මුදාහරිමින් තිබූ බවත් හෙතෙම පැවසීය. එමෙන්ම කුණු කසල බැහැරකිරීමේ ක‍්‍රමවේදයක් සකස්කර නොතිබීම හේතුවෙන් කාමර කුලියට ගන්නා අයවඵන් ඉවතලන අපද්‍රව්‍ය පවා යාබද වත්තකට දමා තිබූ බවත්, විෂබීජ සහිත එම අපද්‍රව්‍ය සුනඛයින් විසින් ඇදදැමීම හේතුවෙන් පරිසරය පුරා විසිරී ගොස් තිබූ බවද අමරවික‍්‍රම මහතා කීය. ලැගුම්හල් පරිශ‍්‍රය තුළ එක්රැස් වන වැසි වතුර බැහැරකිරීමේ ක‍්‍රමවේදයක් සකසා නොතිබීමෙන් මදුරුවන් බෝ වන අයුරින් පරිශ‍්‍ර පවත්වාගෙනයාමේ චෝදනාවක් මෙහි හිමිකරුට මින් පෙරද එල්ල වී තිබූ බවද හෙතෙම පැවසීය.

මෙම ලැගුම්හලෙන් සිදුවන පරිසර හානියට අමතරව සමාජ ව්‍යසනයක්ද සිදුවෙමින් ඇති බව කී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලැගුම්හලේ කාමර ඇතුළත සිදුවන දෑ පිටතට පෙනෙන ලෙස ඒවා පවත්වාගෙන යමින් තිබූ බවද පැවසීය. කොටස් කර වෙන්දේසි කරන ලද ඉඩමක මෙම ලැගුම්හල පිහිටා තිබීම හේතුවෙන් ඒ අවට පිහිටි නිවාසවලට මෙම ලැගුම්හලේ කාමර ඇතුළත ඇති ඇදන් පවා දර්ශණය වන ආකාරයට නොසැලකිලිමත් ලෙස කාමර ඉදිකර තිබූ බව වැටලීමේදී අනාවරණය කරගත් බවද පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කුරුණෑගල අතිරේක මහේස්ත‍්‍රාත්වරයා, මාස දෙකක කාල සීමාවක් තුළදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නියම කරනු ලබන ප‍්‍රමිතීන්ට අනුකූලව අදාළ ලැගුම්හල සහ එහි ගොඩනැගිලි සෞඛ්‍යාරක්ෂිත ලෙස සකස්කරන ලෙසට සහ ඒ වෙනුවෙන් ලබාගත යුතු බලපත‍්‍ර ලබාගන්නා ලෙසට නියෝග කරමින් අදාළ ලැගුම්හල වසාදැමීමේ නියෝග නිකුත් කළේය.

කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ ලේකම් දුර්ගා වික‍්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත, බමුණාවල හිටපු මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික‍්‍රම මහතා විසින් වැටලීම කර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article