Sunday, May 19, 2024

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීමට පාර්ලිමේන්තුව තැඹිලි පැහැ ගැන්වෙයි

Must read

 
ජනාධිපතිතුමා, අගමැතිතුමා, කථානායකතුමා ඇතුළු මහජන නියොජිතයෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ගෝලීය ක්‍රියාකාරීත්වය (GBV) වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සමග එක්වෙති.

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලිය ක‍්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී අද (01) පැවැත්විණි. මෙම වැඩසටහනට සහයෝගය දැක්වීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරිණියන් තැඹිලි වර්ණයෙන් සැරසී සිටියහ.

ඒහිදී “කාන්තා හිංසනය පිටුකින්නටඅපි එක්වෙමු” යන වැකිය සහිත අත් පළඳනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පළඳවන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් විසිනි.

මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද සහභාගී විය. මෙහිදී ජනාධිපතිවරයා දන්වා සිටියේ කාන්තා පනත කෙටුම්පතක් කිරීම ඉතා ඉක්මනින් අවසන් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.

මෑතකදී පාර්ලිමේන්තුවේදී පිහිටුවන ලද ස්ත‍්‍රී පුරුෂ සමාජභාව හා සමානාත්මතා අංශයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පරිශීලනය කිරීම සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය විසින් පරිත්‍යාග කරන ලද ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවයට සහ සමාජ අන්තර්ගතකරණයට අදාළ ප‍්‍රකාශනවල විස්තර ඇතුළත් පත්‍රිකාවක්ද ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.

“කාන්තා හිංසනය පිටුදකින්නට අපි එක්වෙමු” වැකිය සහිත අත් පළඳනාව ගරු අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාට, කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට , විපක්ෂ නායක ගරු සජිත් ‌ප්‍රේමදාස මහතාට පැළඳවීම සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාව හා සමානාත්මතා අංශය පිළිබඳ පත්‍රිකා පිරිනැමීම ඉන් අනතුරුව සිදු කෙරිණි.

අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් “එක්සත් වන්න! කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය අවසන් කිරීමේ ක්‍රියාකාරීත්වය” නම් 2022 වසරේ ගෝලීය තේමාව පිළිබඳව මෙන්ම ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමට සියළුදෙනාගේ එකමුතුකම අත්‍යාවශ්‍යය සාධකයක් බවත් ඊට එරෙහිව කටයුතු කිරීම සඳහා රජයන්, සංවර්ධන හවුල්කරුවන්, සිවිල් සමාජ ක‍්‍රියාධරයන්, තරුණයින්, මාධ්‍ය සහ අනෙකුත් සියලූම පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ලැබිය යුතු බවත් අවධාරණය කරන ලදී.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ගෝලීය ක්‍රියාකාරීත්වය (GBV) වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගිය 25 වැනිදා සිට සමාජය දැනුවත් කිරීමේ විවිධ ක්‍රියාකාරකම් වල නිරත විය. ඒ් අනුව නොවැම්බර් 28 සහ 29 යන දිනවල ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වයන් වලට එරෙහිව සටන් කිරීම පිළිබඳ විද්වත් සාකච්ඡා දෙකක් පැවැත්විණි.

කාන්තා හිංසනයට එරෙහිව මාධ්‍ය ඔස්සේ සටන් කිරීම (VAW) මැයෙන් මාධ්‍යවේදීන් සමඟ දැනුම බෙදාගැනීමේ සැසියක් එළඹෙන දෙසැම්බර් 06 වැනිදා පැවැතිවීමට නියමිතව තිබේ.

එහිදී මාධ්‍ය වාර්තාකරණයේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි වීම පිළිබඳ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සහ ඔවුන් අතර ඒ් පිළිබඳ කථිකාවක් නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ ජනතාව දැනුවත් කිරීමේ අපේක්ෂාවෙන් උක්ත වැඩසටහන් මාලාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය, සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන් සංවිධානය කරන ලද අතර ඒ් සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) විසින් අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article