Wednesday, May 1, 2024

ළමා චිත‍්‍ර තරග මුවාවෙන් රක්ෂණ ඔප්පු විකිණිල්ලක් !

Must read

insuarance_case

අධ්‍යයන කටයුතු සදහා වෙන්කර ඇති වේලාව යොදාගනිමින් පාසැල් දරුවන් සදහා චිත‍්‍ර තරග පවත්වා, සහතික පිරිනැමීමට බව පවසමින් ඔවුන්ගේ මව්පියන් රක්ෂණ කාර්යාල වෙත කැදවීමෙන් පසු ජීවිත අවදානම් තත්වයක් ඇති විය හැකි බව අගවමින් රක්‍ෂණ ඔප්පු අලෙවිකරගැනීමට ඇතැම් රක්ෂණ සමාගම් විසින් ගෙනයන හිංසාකාරී වැඩපිළිවෙල නවතා දමන ලෙසට මව්පියන් වයඹ අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලා සිටී.

සමනලයෙකු වැනි ඉතා සරල චිත‍්‍රයක් වර්ණගැන්වීමට සලස්වා, ඉන් ජයග්‍රහණයක් ලබා ඇති බව කියමින් අදාල චිත්‍රය වර්ණ ගැන්වූ සෑම දරුවෙකුගේම මව්පියන් රක්ෂණ සමාගම් වෙත කැදවීමට රක්ෂණ නියෝජිතයින් විසින් කටයුතු කරමින් සිටින බව මව්පියෝ කියති. සහතිකය රැගෙනයාමට එන මව්පියන්ට දරුවාගේ දක්ෂකම් අතිශයෝක්තියෙන් වර්ණනා කරමින් ඔවුන්ට ජීවිත අවදානමක් ඇති විය හැකි බවට අනතුරු අගවා රක්‍ෂණාවරණ ලබාගැනීමට පොළඹවන බවද අපහසුතාවයට පත් මව්පියෝ කියති. අදාල ක‍්‍රියාවලියේ ඇති ගැටලු සහගත තත්වයන් පිළිබදව ප්‍රශ්න කරන මව්පියන්ට සමාගම් කලමනාකාරීත්වය විසින් නොරිස්සුම් ආකාරයෙන් ප්‍රතිචාර දක්වන අයුරුද එවැනි රක්‍ෂණ සමාගමක කුරුණෑගල ප‍්‍රාදේශීය කාර්යාලයට ගිය අපට දැකගතහැකි විය.

පසුගිය වසරේ පැවැති ශිෂ්‍යත්ව විභාගයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථමයා මෙන්ම ලංකාවෙන්ම දෙවැනියා බවට පත් වූ දියණියකගේ මව්පියන් මෙවැනි රක්‍ෂණාවරණයක් ලබාගෙන නොතිබීමෙන් ඒ හරහා මාසිකව ලැබීමට තිබූ රුපියල් දෙදහස් පන්සියයක මුදල් අහිමිවීයාම පිළිබදව එම මව්පියන් කණගාටු වන බව අදාල සමාගමේ රක්‍ෂණ නිලධාරිනියක විසින් ප්‍රකාශ කරමින් සිටින අතර වෛද්‍යවරයෙකු වන අදාල දියණියගේ පියාගෙන් අප කළ විමසීමකදී හෙතෙම පැවසුවේ තමන්ට එවැනි කිසිදු පසුතැවීමක් නැති බවත්, අදාල රක්ෂණ සමාගම විසින් එවැනි ප්‍රචාරයක් ගෙනයන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්ය.

චිත්‍ර තරග අත්දැකීමට මුහුණ දී අපහසුතාවයකට පත් පියෙකු වන කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් අලගියවන්න මහතා ප්‍රකාශ කළේ, මෙවැනි කටයුතුවලින් සිසුන්ගේ අභිමානය බිද වැටෙන බවත්, රක්ෂණ නියෝජිතයින් දරුවන් ඉදිරියේ තබාගෙන කරන ප‍්‍රකාශවලින් මව්පියන් දැඩි අපහසුතාවයට පත්වන බවය. එමෙන්ම පාසැල් වේලාව තුළ සිදුකරන මෙවැනි රක්ෂණ ප‍්‍රවර්ධන කටයුතු කිසිසේත්ම අනුමත කළ නොහැකි බව කී ඒ මහතා දඹදෙණිය විදුහලේ මව්පියන් පිරිසක් විසින් ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට තම උපදෙස් පැතූ බවද කීය.

අධ්‍යන කටයුතු සදහා නියමිත පාසල් වේලාව තුළදී මෙවැනි කටයුතු සිදුකිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් අප කළ විමසුමකදී කුලියාපිටිය ප‍්‍රකට පාසලක විදුහල්පතිවරයෙකු පැවසුවේ තමන්ද මෙවැනි චිත‍්‍ර තරග පැවැත්වීමට මුලදී අවස්ථාව ලබාදී තිබූ නමුත් එවැනි තරග හරහා අපහසුතාවයට පත් මව්පියන් සහ ගුරුවරුන්ගේ විරෝධය හේතුවෙන් තම විද්‍යාලයේ මෙන්ම අවට විද්‍යාල කිහිපයකත් එවැනි චිත‍්‍ර තරග පැවැත්වීම තහනම් කිරීමට එම විදුහල්වල විදුහල්පතිවරුන් සමග එක්ව කටයුතු කළ බවයි.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article