Friday, May 3, 2024

ආණමඩුව,පුත්තලම නව ගම්මාන වල වැඩ නාමල් අතින් ඇරඹෙයි

Must read

01(1)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන අපේ පක්ෂයේ ප්‍රතිපත්ති පිළි ගන්නවා නම්,එයට එකග වීමට හැකියාවක් ඇත්නම් පක්ෂ නායකයින් කැමති නම් පාර්ශව කාර පක්ෂ වල සාමාජිකයින්ට පොහොට්ටුව ලාංඡනය යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට හැකියාවක් ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ආණමඩුව සහ පුත්තලම මැතිවරණ කොට්ඨාස වල නව ගම්මාන 10 ක වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පසුගිය 29 වැනිදා පැවති උත්සවයකදී මාධ්‍ය හමුවේ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.නව ගම්මාන 10 අතර රාජ්‍ය සේවකයින් සදහාද ගම්මානයක් වෙන්වී තිබීම විශේෂත්වයකි.එමෙන්ම මෙම ගම්මාන වල මේ වන විට නිවාස නොමැති පවුල් 1500 ක් දෙනා වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමට නියමිතය.

තව දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

“පසුගිය කාලයේ නිවාස හදනවා,ගම්මාන හදනවා කියලා කළේ ජනතාව ණය කාරයින් බවට පරිවර්ථනය කිරීමයි.වත්මන් අගමැති තුමා අපේ ඇමතිවරුන්ට, රාජ්‍ය ඇමතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ ජනතාව ණය කාරයින් කිරීමට නෙමෙයි.මේ රටේ ජනතාව අසරණ කරන්න නෙමෙයි.එතුමා අපිට කියලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලා ගෞරවාන්විතව ජීවත් වීමේ පරිසරයක් නිර්මාණය කරන්න කියලයි.ඒ සදහා අවශ්‍ය කරන සියළුම වැඩ පිළිවෙළවල් අපි අද ආරම්භ කරනවා.

රට පුරා නිවාස 14,000 ක් මාස 06 ක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකිරීමේ වැඩ කටයුත්ත අපි අගමැතිතුමන්ගේ  ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීම කටයුතු කර තිබෙනවා.පසුගිය කාලයේ පෝස්ටර්,බැනර්,කටවුට් හැම තැනම ගහලා රූපවාහිනී සහ පත්තර වල දැන්වීම් දාලා තමයි ගෙවල් හදන්න පටන් ගත්තේ. ඒ සදහා විශාල මුදලක් වැය කරලා තියනවා. ජනතාවගේ බදු මුදල් රුපියල් කෝටි 300 ක් වියදම් කරලා තියනවා තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීම සදහා.වන රක්ෂිත ප්‍රදේශ විතරක් නෙමෙයි විල්පත්තුව වැනි ජාතික වනාන්තර, පුරා විද්‍යා භූමි  විනාශ කරලා තමයි ඒ අය ගෙවල් හැදුවේ.ඒ සියල්ල අපි අවසන් කළ යුතුව තිබෙනවා.ඒ අනුව පසුගිය කාලයේ කරපු බොරුව වෙනුවට ජනතාවගේ සැබෑ ප්‍රශ්ණ හදුනා ගෙන කටයුතු කරන්න අපි සුදානම් වෙනවා.”

ඉදිරි මැතිවරණය සහ ඒ සදහා ඉදිරිපත් කරන අපේක්ෂකයින් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

“අපි ඉදිරි මැතිවරණය සදහා පොදු ජන පෙරමුණක් ලෙස පුළුල් සංධානයකින් තරග කිරීමට මේ වන විට කටයුතු සුදානම් කර තිබෙනවා.ජනාධිපති තුමන්ගේ සහ අගමැති තුමන්ගේ අශීර්වාදයෙන් සහ නායකත්වයෙන් එම මැතිවරණය අපි අති විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරනවා කියන එක කියන්න කැමතියි.ඒ විතරක් නෙමෙයි අපි දන්නවා මේ රටේ ජනතාව බලා ගෙන ඉන්නවා මහින්ද මහත්තයාට ශක්තිමක් රජයක් ලබා දෙන්න.ඒ නිසා අපි 2/3 ක බලයක් ලබා ගැනීම කිසිවෙකුට වළක්වන්න හැකියාවක් නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අපේ පාර්ශව කරුවෙක්.ඒ පක්ෂය තීරණය කරනවා නම්,අපේ පක්ෂයේ ප්‍රතිපත්ති සමග එකග නම් ඔවුන්ට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සදහා අවස්ථාව ලබා දෙන්න අපි සුදානම්.නමුත් ඔවුන් අනිවාර්යෙන්ම අපේ පක්ෂයේ ප්‍රතිපත්ති සමග එකතු වී සිටිය යුතුමයි.”

මෙම අවස්ථාවට රාජ්‍ය ඇමතිවරුන් වන සනත් නිශාන්ත පෙරේරා,ප්‍රියංකර ජයරත්න,අරුන්දික ප්‍රනාන්දු,වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන අමල් චින්තර මායාදුන්න,පාලිත රෝහණ යන මහත්වරුන්ද සහභාගි වී සිටියේය.


ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article