Sunday, June 8, 2025

රිළා වඳුරු ගැටළුව තව තවත් ලෝකයා හිනැස්සීමක් නොවීමට නම්

Must read

 

වත්මන් ආණ්ඩුව කෙරෙහි සමාජයෙන් නොයෙකුත් විවේචන එල්ල වෙමින් තිබේ.ඕනෑම රජයක් බලයට පැමිණ යම් කාලයක් ගත වන විට එබඳු විවේචන එල්ල වීම සාමාන්‍ය ස්වභාවයකි.එහෙත්, වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්ව මාස හයකට පසුව පවත්වනු ලැබූ පළාත් පාලන මැතිවරණයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව ඡන්ද ලක්ෂ විසි තුනක් අඩුවීම මත ආණ්ඩුව කෙරෙහි පැවැති ජනතා ප්‍රසාදය ශීඝ්‍රයෙන් හීන වී ඇති බව ඉතා හොඳින් පෙනෙන්නට තිබිණි.ඒ සම්බන්ධයෙන් බලපෑ හේතු අතරට වත්මන් ආණ්ඩුවේ “කතාව දෝලාවෙන් ගමන පයින්” ස්වරූපය බොහෝ දුරට ඉවහල් වී ඇති බව පෙනේ.එමෙන්ම මේ වන විට රට හමුවේ ඇති ගෙවුම් ශේෂ අර්බුදය පියවීමට තරම් වන මුදලක් මින් පෙර බලයේ සිටි දේශපාලනඥයන් සොරකම් කොට ඇති අතර නැවත ඒවා ලබා ගෙන භාණ්ඩාගාරය සතු කරන බවට වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතමයන් මැතිවරණ වේදිකාවල කළ කතා මේ වන විට එවක බලයේ සිටි දේශපාලනඥයන් අනීතිකව බෙදා දුන් කැරම් දාම් බෝඩ් දක්වා ලඝු වී තිබීම සම්බන්ධයෙන් ද මැදහත් ජනයා විමසිලිමත් වෙති.

 එමෙන්ම වත්මන් ආණ්ඩුව තුළ මිනිසා සහ සොබා දහම අතර පවත්නා සංහිඳියාව එතරම් සවිමත් නොමැති වීම සම්බන්ධයෙන් ද සමාජයේ විවිධ පාර්ශව වලින් මැසිවිලි නැඟෙමින් තිබේ.මේවා දුර-දිග යන්නට ඉඩ හැරීම ආණ්ඩුවේ අනාගත ස්ථායීතාවයට බරපතල හානි සිදුවීමකි.ඒ සම්බන්ධ ආසන්නතම උදාහරණය ආණ්ඩුව මෑතක දී කරන ලද බෝග වගා කරන රිළා,වඳුරු,මොනර දඬු ලේන් යන සතුන් පිළිබඳ තොරතුරු සමීක්ෂණයයි.සංගණන මූල ධර්ම පවා සම්පූර්ණව නොතිබූ පසුබිමක් තුළ ආණ්ඩුව එය “ජාතික සංගණනයක්’ ලෙස බොරු වාගාලාප වලින් වසා දැමීමම එම විෂය හා සම්බන්ධ බොහෝ දෙනකුගේ හාස්‍ය මුසු උපහාසයට හේතු වී තිබේ.එමෙන්ම ඒ “සංගණනයේ පොඩි පොඩි අඩු පාඩු තියනවා තමයි “යනුවෙන් දැන් ආණ්ඩුව කරන ප්‍රකාශය ද එම විහිළුව තව දුරටත් ඉදිරියට ඇදගෙන යාමේ අනුවණ ක්‍රියාවකි.ඊට හේතුව නොවිධිමත් ක්‍රමෝපායන් පදනම් ව සිදු කරන ලද එම වන සත්ව සමීක්ෂණයේ දත්ත එපමණකටම විපරීත වීම ය.ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධනයන් කල් ඇතිවම කියා සිටියේ පර්යේෂණ ආයතනයක් විසින් කළ යුතු කාරියක් දේශපාලනික ස්වරූපයෙන් දියත් කිරීමෙන් කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත් නොවන බව ය.මේ වන විට ඔහු ගේ ඒ ප්‍රකාශය මුළුමනින් සනාථවී තිබේ.

බෝග පද්ධති හා හානිකර වන ජිවින් ඉලක්ක කර ගත් සමෝධානිත පළිබෝධ පාලන ක්‍රම හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වගකීම් දරන රාජ්‍ය ආයතනය වනුයේ කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පාලනය වන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයයි. 2024 වසරේ ඉන් නිකුත් කරන ලද “මානව- වන ජීවී සහජීවනයට ප්‍රවේශයක්” නම් පුස්තිකාව ඒ සම්බන්ධ විද්‍යාව හා නවීනත්වය එක් කොට සම්පාදනය වූවකි.එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී රේණුකා වීරක්කොඩි විසින් සම්පාදනය කොට ඇති එහි මෙසේ දැක්වෙයි.

“මෙතෙක් සිදු කරන ලද පූර්ව අභ්‍යාසවල අත්දැකීම් අනුව මානව- වන ජීවී කළමනා කරණය සඳහා ගැටුම බහු විධ ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බව නිශ්චිත ය. එනම්, තාක්ෂණය, ප්‍රතිපත්ති, නවෝත්පාදන, කළමනාකරණ, අධ්‍යාපන, දත්ත සන්නිවේදන, පර්යේෂණ, පුහුණු වැනි ක්ෂේත්‍ර රැසක සම්බන්ධීකරණය සහිතව ඊට ප්‍රවේශ විය යුතු ය. ඒ සඳහා අදාළ ක්ෂේත්‍රයන් හි ආයතන අතර සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය වන අතර එම ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂඥ දැනුම මත පදනම් වීම අනිවාර්ය වේ. එබැවින්, ගොවිජන -වනජීවී ගැටුම් කළමනාකරණ ඒකකය මඟින් මෙම සමස්ත සම්බන්ධීකරණ වගකීම දරමින්, හානිකර වන ජීවින්ගේ ජෛව විද්‍යාත්මක සාධක, හැසිරීම් රටා, වාසභූමි සහ මිනිසුන්ගේ ආකල්ප කෙරෙහි අවධානය යොමු කර, මෙම ගැටලුව කළමනාකරණය වෙනුවෙන් පියවර ගත යුතු ය. මේ වන විට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රැස් කළ දත්ත පදනම් කරගෙන ප්‍රධාන ආහාර බෝගවලට හානි කරන වනජිවීන්, වනජිවිහානි බහුල ප්‍රදේශ, හා බෝග හානිවල තීව්‍රතාව වශයෙන් ඇස්තමේන්තු කර ඇති බැවින් බෝග පද්ධති හා හානිකර වනජිවීන් ඉලක්ක කරගත් විශේෂඥ කමිටු ස්ථාපනය කර එම කමිටුවල මඟ පෙන්වීම මත සමෝධානිත පාලන ක්‍රම වෙන් වශයෙන් හඳුනා ගෙන දියත් කළ යුතු ය. (උපුටා දැක්වීම අවසන්)

නමුත් වත්මන් ආණ්ඩුව ඉහත සඳහන් විද්‍යාත්මක කරුණු පසෙක ලා තමන් ගේ පෞද්ගලික අභිලෂයන් මත කටයුතු කිරීමට යාම පැහැදිලිවම දක්නට ලැබෙන්නකි.එමෙන්ම “මේ ආණ්ඩුව අනුන්ට කන් දෙනවා වෙනුවට අනුන්ට දේශනා කරන එකම නේ කරන්නේ.හැබැයි තමන්ගේ වැරදි වහ ගන්න එහෙම කළත් ඒකෙන් වෙන්නේ ආණ්ඩුවේ වැරදි තව තවත් ඉහළ යන එක විතරයි”මේ ඒ සම්බන්ධයෙන් දැන් බොහෝ දෙනකු පවසන කතාවකි.ඒ අතර “මානව වන ජීවී සහජීවනයට ප්‍රවේශයක්” ප්‍රකාශනයේ මෙසේ ද සඳහන් වේ.

“රිලවා පොල් වගාවට උග්‍ර හානි පමුණුවන විශාල පළිබෝධකයෙක් ලෙස හඳුනාගෙන තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ පමණක් රිලවුන් අති විශාල සංඛ්‍යාවක් සැරිසරන බව ජනතාව විශ්වාස කරන අතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු වාර්තා වලින් ද ඒ බව සනාථ වේ. එය කෑගල්ල ජනතාව දැඩි ලෙස පීඩා විඳින ප්‍රධානතම ගැටලුවකි. එසේ වුවද, එවැනි අභිමතානුකූල දත්ත මත පදනම් වී තීරණ ගැනීම විද්‍යාත්මක ක්‍රමයට පටහැනි වේ. රිළවුන් පළවා හැරීම සඳහා භාවිත කරන වායු රයිෆල්, වෙස් මුහුණ වැනි මෙතෙක් අනුගමනය කළ පාලන ක්‍රම සාර්ථක නොවන බැවින් රිලවුන් අල්ලා වෙනත් තැනකට රැගෙන ගොස් මුදා හැරීම හෝ වන්ධ්‍යා කරණයට ලක් කිරීමට ඉක්මන් පියවර ගත යුතු බව ජනතාව යෝජනා කරති. ඒ සඳහා සහාය වන්නට පවා ජනතාව සූදානමින් සිටිති. එහෙත්, ප්‍රිමාටාවන් පිළිබඳ අධ්‍යයනයන් හි නිරත වන විශේෂඥයන්ට අනුව යම් ප්‍රදේශයක් වාස භූමිය කර ගත් රිලවුන් වෙනත් ප්‍රදේශයකට මුදා හැරීමෙන් ඔවුන්ට එම අලුත් පරිසරයට හුරු වීම අපහසු වී මිය යාමට පවතින ඉඩ ප්‍රස්තා බහුල ය. එමෙන් ම, රිළවුන් විශාල පරිසර ප්‍රදේශයක සැරිසරන බැවින් ඔවුන් ගේ ගහනය ඇස්තමේන්තු කළ හැක්කේ හැසිරීම් රටා අධ්‍යයනය කිරීම මඟින් පමණි. එනයින්, දිවයින පුරා රිලා ගහනය සංගණනය කළ යුතු ය යන්න ඉදිරිපත් වූ යෝජනාව සාධනිය එකක් වේ. ඒ අනුව, විද්‍යාත්මක අධ්‍යයනයන්ගෙන් තොරව, ඉහත දැක් වූ අභිමතානුකූල සංඛ්‍යා මත පදනම් වී පාලන ක්‍රම අනුගමනය කිරීම මගින් බොහෝ අහිතකර ප්‍රතිඵල ජනනය කරනු ඇත. තවද, රිළවුන් විශාල සංඛ්‍යාවක් අල්ලා ගැනීම, ඔවුන්ට ඔබින වාසස්ථාන සොයා ගැනීම හා ඒ සඳහා පහසුකම් සැපයීම පහසු කාර්යයන් නොවේ. එනමුත්, බොහෝ වේදිකා මත නිරන්තරයෙන් මතු කරනුයේ අපහරණය මගින් වනජීවී ගහනය පාලනය කළ යුතු බව යි. එය ශ්‍රී ලාංකීය සමාජ – සංස්කෘතික වට පිටාව, වනජිවී අයිතීන්, දේශපාලන පද්ධති සහ ජෛව විවිධත්වය සම්බන්ධ කාරණා මත පත්‍ය යෝජනාවක් නොවන බව සඳහන් කළ යුතුය. (උපුටා දැක්වීම අවසන්)

එම ප්‍රකාශනයේ සඳනන් “දිවයින පුරා රිලා ගහනය සංගණනය කළ යුතු ය යන්න ඉදිරිපත් වූ යෝජනාව සාධනිය එකක් වේ. ඒ අනුව, විද්‍යාත්මක අධ්‍යයනයන්ගෙන් තොරව, ඉහත දැක් වූ අභිමතානුකූල සංඛ්‍යා මත පදනම් වී පාලන ක්‍රම අනුගමනය කිරීම මගින් බොහෝ අහිතකර ප්‍රතිඵල ජනනය කරනු ඇත.” යන කරුණ විද්‍යාතමක අතින් අතිශයින් නිවැරදි ය. එහෙත් වත්මන් ආණ්ඩුව ඒ පිළිබඳ වගේ වගක් නොමැතිව හිතුමතේට රිළවුන් හා වඳුරන් ගණන් කරන්නට යාමෙන් වත්මන් දේශපාලනඥයන් ගේ නම් වලට “රිළා”යන අභිධානය එක් වීමට වඩා අතිශය අහිතකර ප්‍රතිවිපාක ඉදිරියේ දී ඇති වීම කෙසේවත් වැලකිය නොකැක.එමෙන්ම එම ප්‍රකාශනයේ එන මතු දැක්වෙන කොටස ද අපගේ විශේෂ අවධානයට යොමු කළ යුතුම ය.

“ජපානය වැනි රටවල හෝර්මෝන භාවිතයෙන් රිලවා වැනි මහා පළිබෝධකයන් ගේ උපත් පාලනය කර ගහනය පාලනය කරනු ලබයි. එය යම් මට්ටමකට ශ්‍රී ලංකාව වැනි රටක පවතින සමාජ ආකල්ප වලට ආගන්තුක නොවන, ඉහත සාධක වලට සමීප ක්‍රියා මාර්ගයක් ද වේ. විශේෂයෙන්, පොල් ත්‍රිකෝණයේ රිලා ගහනය විශාල වන බැවින්, නව්‍ය, අනුවර්තනය කළ හැකි සහ විශාල පරිමාණයෙන් දියත් කළ හැකි විසඳුම් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. ජනතාව ද ඊට සහය දැක්වීමට සුදානම් වී ඇති සාධනීය තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් විශාල ගැටලුවක් බවට පත් වී ඇති රිලා හානිය පිළිබඳ ගැටලුව කළමණා කරණය කිරීම සඳහා සමෝධානිත ක්‍රියාමාර්ගය දියත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. එම සමෝධානිත ක්‍රියා මාර්ග වෙත එළඹීම සඳහා විශේෂඥ කමිටු හරහා වනජිවීන්ගේ හැසිරීම් රටා අධ්‍යයනය කිරීම, ගහනය පිළිබඳ ඇස්තමේන්තු කිරීම හා උපත් පාලනය පිළිබඳ පර්යේෂණ සහ නියමු ව්‍යාපෘති දියත් කිරීම යනා දී කෙටි. මධ්‍ය හා දිගු කාලීන ක්‍රියාමාර්ග වෙත එළඹීම කෙරෙහි ගොවිජන – වනජීවී ගැටුම් කළමනාකරණ ඒකකය සිය කඩිනම් අවධානය යොමු කළ යුතු ය. තව ද, අනෙකුත් බෝග පද්ධති හානිකර වනජිවීන් සම්බන්ධයෙන් ද එලෙස ම ක්‍රියා කළ යුතු බව නිර්දේශ කෙරේ. එය විශාල අර්බුදයක් ලෙස ගම්‍ය වන මානව – වන ජීවි ගැටුම අනුක්‍රමයෙන් විසඳා ගැනීමේ සාධනීය පියවරකි”.(උපුටා දැක්වීම අවසන්)

ඒ අනුව ජනතාව රාජ්‍ය ප්‍රතිපත්ති හා ගැටීම් ඇති කර නොගත යුතුව තිබිය දී ආණ්ඩුව මේ ආකාරයෙන් එබඳු ගැටීම් ඇති කර ගැනීමෙන් රිළා වඳුරු ගැටළුව තව තවත් ලෝකයා හිනැස්සීමක් වන සේම ආණ්ඩුවේ ආයු කාලය ද වේගයෙන් ක්ෂය වීමට හේතුවක් වනු ඇත.අප මෙසේ පවසනුයේ මහනුවර අවට ගම්මාන වල රිළවුන් වික්ටෝරියා ජලාශයේ දූපතකට අපහරණය කිරීමේ ක්‍රියාවලියකට ආණ්ඩුව දැනටත් මුල පුරා ඇතැයි අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට දැන ගැනීමට ලැබී ඇති පසුබිමක ය.මහනුවර ආශිත ගම්මාන ගැවසෙන රිලවුන් අල්ලා ජලාශ ආශ්‍රිත දූපත් වලට දැමීම සඳහා මින් පෙර ගෙනැවිත් දැමීමේ යෝජනාවට ගොවීහු විරෝධය පළ කළහ.

මෙම ජලාශ දූපත් වලට රිළවුන් අල්ලා ගෙනැවිත් දැමීමේ යෝජනාව අසාර්ථක බවත් එම රිළවුන් වික්ටෝරියා, රන්දෙණිගල ජලාශ අවට ගම්මාන වලට කඩා වැදීම නිරන්තරයෙන් සිදුවිය හැකි බවත් ඔවුහු පෙන්වා දුන්හ.එහෙත් මේ වන විට රජයේ පාර්ශවය පවසන්නේ එසේ නම් ඒ සඳහා විදුලි වැටක් යොදන බවකි.ඒ අනුව මෙතෙක් පැවැති අලි වැට අතරට පනින රිළවුන්ට ඉනිමං වෙනුවට රිලා වැට බැඳීමේ ගෞරවය ආණ්ඩුවට හිමි වනු ඇත.එමෙන්ම ඒ සඳහා වන නියාමන ව්‍යාපෘතිය උදෙසා පමණක් මධ්‍යම පළාත් සභා අරමුදලින් රුපියල් මිලියන දහයක් වෙන් කොට ඇති බව ද දැන ගන්නට ඇත.එමෙන්ම “මානව- වන ජීවී සහජීවනයට ප්‍රවේශයක්” නම් පුස්තිකාවේ සඳහන් බොහෝ වේදිකා මත නිරන්තරයෙන් මතු කරනුයේ අපහරණය මගින් වනජීවී ගහනය පාලනය කළ යුතු බව යි.එය ශ්‍රී ලාංකීය සමාජ – සංස්කෘතික වට පිටාව, වන ජිවී අයිතීන්, දේශපාලන පද්ධති සහ ජෛව විවිධත්වය සම්බන්ධ කාරණා මත පත්‍ය යෝජනාවක් නොවන බව සඳහන් කළ යුතු ය” යන සඳහන ද මෙහි දී ඔබගේ විශේෂ අවධානයට යොමු කරමු.

වත්මන් ආණ්ඩුවේ පැවැත්ම තහවුරු කෙරෙන ප්‍රධානතම ආධාරක දෙක නම් වංචාව හා දූෂණය පිටු දැකීම ය,එම කටයුතු සම්බම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ක්‍රියාශීලීභාවය පසෙක තිබිය දී එහි ඊළඟ අනතුරු දායක විෂබීජය වන නාස්තිය වත්මන් ආණ්ඩුව නම් දේහය පුරා වේගයෙන් පැතිර යනු පෙනේ.ඉහත සඳහන් “රිළා විහිළුව” ඒ සඳහා වන එක් සාක්ෂියක් පමණි.

රීටා ජෙනට් පෙරේරා  

vinivida.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article