spot_img
Monday, March 16, 2026
spot_img

තෘණ භූමිය නොමැතිකමින් පුත්තලම දිස්ත්‍රික්කය තුළ මී ගවයින්ගේ වඳවීමක්

Must read

තෘණ භූමිය නොමැතිකම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කය තුළ මී ගවයින් අහිමි වෙමින් පවතින බව කිරි ගොවීන් සදහන් කරයි. ඉකුත් 14 වැනිදා පැවති පුත්තලම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී මේ බව අනාවරණය විය.

කෘෂිකර්ම,වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත පිහිටි වයඹ පළාත් ධීවර අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ කිරි ගොවීන් මෙසේ කියා සිටියේය.

මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කය තුළ මී ගවයින් නැති වෙමින් පවතිනවා.ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සතුන්ට ආහාර පිණිස තෘණ ලබා දීමට ප්‍රමාණවත් තරම් ඉඩම් නොමැති වීමයි.අතීතයේදී ගවයින්ට තෘණ උලා කෑම සදහා තිබූණු ඉඩම් අයිතිව තිබුනේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට.නමුත් එම ඉඩම් මේ වන විට වන ජීවී හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වලට පවරා ගෙන තිබෙනවා.එසේ පවරා ගෙන ඇති ඉඩම් වලට ගවයින් ඇතුළු කිරීම තහනම්.

පවතින තත්ත්වය නිසා ගොවීන් ගවයින් මස් පිණිස අලවි කරන තත්ත්වයක් උදා වී තිබීම කනගාටුවට කරුණක්.එක කන්නයකදී දළ වශයෙන් මී ගවයින් 100 ක් පමණ මස් පිණිස අලවි කරන බව තමයි දැන ගන්න තිබෙන්නේ.

මෙම හේතුව නිසා පුත්තලම දිස්ත්‍රික්කය තුළ මී කිරි නිෂ්පාදනය විශාල වශයෙන් කඩා වැටී තිබෙනවා.දැනට වන ජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වලට පවරා ගෙන තිබෙන ඉඩම් නැවත ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත් නොකළ හොත් ඉදිරියේදී මී ගව සම්පත පුත්තලම දිස්ත්‍රික්කයෙන් නැතිව යන්නම ඉඩ තියනවා.

ගොවීන්ගේ අදහස් වලට පිළිතුරු ලබා දුන් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙසේ පැවසීය.

මේ වන විට රට තුළ දෛනිකව නිෂ්පාදනය වන්නේ කිරි ලීටර් ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයක්.එය දෛනික අවශ්‍යතාවයෙන් 35% ක් පමණ වනවා.අපි මේ දිනවල උත්සාහ කරමින් සිටින්නේ දෛනික කිරි නිෂ්පාදනය වැඩි කරන්නයි. පාකිස්තානයෙන් මේ වන විට මී ගවයින් 07 දෙනෙකු මෙරටට ගෙනවිත් තිබෙනවා.අදාල නීරෝධායන කටයුතු අවසන් වුනාට පසුව එම ගවයින් ගොවීන් වෙත මුදා හරින්නත්,ඒ තුළින් කිරි ගවයින් බෝ කරන්නත් අදහසක් තිබෙනවා.

එමෙන්ම විවිධ රෝගා බාධ පාලනය කිරීම සදහා සතුන් එන්නත් කරන්න රජය රුපියල් ලක්ෂ 25,000 ක් වෙන් කර තිබෙනවා.මේ සියල්ලම අපි සිදු කරන්නේ කිරි ගව සම්පත වැඩි කරන්නයි.මෙහිදී කිරි ගවයින් පමණක් නොව එම සතුන්ට ලබා දෙන ආහාර සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබෙනවා.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article