spot_img
spot_img
Sunday, June 28, 2026
spot_img
spot_img

”බහු දින යාත්‍රා සදහා ඉන්ධන සහනාධාර දෙනවා කියලා දැන් මාස එකහමාරකට වැඩියි”

Must read

බහු දින යාත්‍රා සදහා ඉන්ධන සහනාධාරයක් ලබා දෙන බවට පවසා අවශ්‍ය ලියකියවිලි පුරවරගෙන ගිහිං ගෙන මාස 1 ½ කට වැඩි කාලයක් ගත වී ඇතත් එම සහනාධාරයත් රජය විසින් තමන්ට ලබා දුන් තවත් එක් බොරු පොරොන්දුවක් බවට පත්ව ඇතැයි සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමය සදහන් කරයි.

23 වැනිදා පෙරවරුවේ වෙන්නප්පුව – වෙල්ලමංකරය ධීවර වරායේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් මේ බව කියා සිටියේය.

සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා මෙම සාකච්ඡාවේදී මෙසේ පැවසීය.

ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම සදහා පිටත්ව යන බහු දින යාත්‍රා 5000 කට වැඩි ප්‍රමාණයක් දිවයින පුරා තිබෙනවා.ඉන් බහු දින යාත්‍රා 2500 ක් පමණ මේ වන විට ධීවර වරායන් තුළ ගාල් කර තිබෙන්නේ.ඊට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ යාත්‍රාවන් පිටත් කර යැවීම සදහා හිමිකරුවන්ට ඉන්ධන සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබීමයි.

මීට මාස කීපයකට පෙර එක් ගමන් වාරයක් සදහා ඉන්ධන වෙනුවෙන් වැය කරපු මුදල් ප්‍රමාණය 100% කින් පමණ මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන මිල ඉහළ ගියාට මාළු මිල ඉහළ ගොස් නැහැ.මොකද මාළු මිල තීරණය කරන්නේ බහු දින යාත්‍රා හිමිකරුවා හෝ රජය නෙමෙයි.මිල තීරණය කරන්නේ ගැණුම්කරුවන් විසින්.ඔවුන්ට අවශ්‍ය මුදලට තමයි මාළු මිලදී ගන්නේ.පසුගිය මාස කීපය තුළම අපි අතින් පාඩු විදගෙන තමයි බහු දින කර්මාන්තය කරගෙන ආවේ.මේ තත්ත්වය තව දුරටත් ඉදිරියට ගෙනි යන්න බැරි වෙන පාටක් තියෙන්නේ.

ඉන්ධන මිල පසුගිය වතාවේ වැඩි කළ විටත් අපි මේ සම්බන්ධයෙන් රජයට කිව්වා.එම අවස්ථාවේදී රජය කියා සිටියා ධීවරයාට ඉන්ධන සහනාධාරයක් ලබා දෙන බව.ඒ සදහා අවශ්‍ය කරන පෝරම පවා පුරවා ගත්තා.නමුත් මේ වන තුරු අපිට ශත පහකවත් සහනාධාරයක් ලැබිලා නැහැ.

මේ වෙන කොට ගොවියා,මා දැල් කර්මාන්තකරුවන් ඇතුළු රටට ආදායම් උපයන වෘත්තීන් කීපයක්ම පාරට බැහැලා ඉන්නේ.හෙට අනිද්දා වෙන කොට රට පුරාම සිටින ධීවරයින් සමග අපිටත් පාරට බහින්න වෙනවා. මොකද රැකියාවන් නැති නිසා වර්තමානයේ ධීවර පවුල් බහුතරයකට කුස ගින්නේ ඉන්න සිද්ධ වෙලා තියෙන නිසා.

සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

බහු දින යාත්‍රාකරුවන් මේ වන විට වැටෙන්න ඕනේ අන්තිම බින්දුවට වැටිලා තියෙන්නේ.අපි කරන්නේ රටට විදේශ විනිමය ගෙන එන කර්මාන්තයක්. වෙනත් රටවල් වල මෙවැනි කර්මාන්ත වලට සහන ලබා දෙනවා.නමුත් අපේ රටේ එහෙම නෑ.අපේ රටත් සමග තරගකාරීව ජාත්‍යන්තර වෙළද පළට මාළු ලබා දෙන රටවල් එම සහනය ඔවුන්ගේ බහු දින යාත්‍රා වලට ලබා දී තිබෙනවා. එම හේතුව නිසා ඒ රටවල් වලින් ජාත්‍යන්තර මුහුදට මසුන් මැරීම සදහා යන යාත්‍රා වලට වැය කරන්න වෙන්නේ අපිට වඩා අඩු මුදලක්.වියදම අඩු නිසා ඒ රටවල් වලින් ජාත්‍යන්තර වෙළද පළට අඩු මිලට මාළු ලබා දීම සිදු කරනවා. වැඩි වියදම් දරලා අල්ලා ගෙන ආපු මාළු අස්වැන්න අඩු මිලට ලබා දෙන්න අපිට හැකියාවක් නැති නිසා ඉල්ලුම ටිකෙන් ටික අඩු වෙමින් පවතිනවා.

මේ විධියට ගියොත් හෙට – අනිද්දා වෙන කොට අපිට ජාත්‍යන්තර වෙළද පළට මාළු අලවි කරන්න බැරිව යාවි.ඊට පෙර කිසියම් විසදුමක් ලබා දෙන්න කියලයි අපි මේ ඉල්ලා සිටිනේන.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article