spot_img
spot_img
Thursday, July 2, 2026
spot_img
spot_img

උතුරු නැගෙනහිර ධීවර වරායන් සහ ජලජීවී වගා ක්ෂේත්‍රය නංවාලීමට ලෝක බැංකු සහාය

Must read

උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රයේ ආර්ථික පුනර්ජීවනය උදෙසා ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ‘REVIVE’ (Regional Empowerment through Vibrant, Inclusive and Viable Economies) ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ එහි දෙවන අදියරේ සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (30) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ලෝක බැංකුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ විශේෂඥයින් පිරිසක් සහභාගී වූහ.

මෙහිදී ‘REVIVE 1’ ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් රිකුණාමලය – කොඩ්බේ (Cod Bay) ධීවර වරාය සහ යාපනය – ගුරුනගර් (Gurunagar) ධීවර ගම්මානය ආශ්‍රිත යටිතල පහසුකම් නවීකරණය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය. මෙම ව්‍යාපෘතිවල ශක්‍යතා අධ්‍යයන කටයුතු එළඹෙන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර, එය මාස හතරක් ඇතුළත නිම කිරීමට අපේක්ෂිතය.

කොඩ්බේ (Cod Bay) වරාය ජැටිය සහ ස්ලිප්වේ (Slipway) ප්‍රතිසංස්කරණය, නවීන ශීතකරණ පද්ධති ස්ථාපිත කිරීම සහ අපනයනය ඉලක්ක කරගත් මත්ස්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන සඳහා අක්කර 27ක භූමියක් සංවර්ධනය කිරීමෙ සහ ගුරුනගර් (Gurunagar) ධීවර ගම්මානයේ ධීවරයින් 3,500කගේ ජීවනෝපාය නංවාලීම සඳහා නවීන මත්ස්‍ය වෙන්දේසි ශාලා, සෞඛ්‍යාරක්ෂිත කරවල වේලන අංගන සහ මංතීරු දෙකකින් යුතු පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන යෝජනා සහ ඉලක්ක වෙයි.

සාකච්ඡාවේදී අවධානය යොමු වූ වැදගත්ම කරුණක් වූයේ ව්‍යාපෘතියේ දෙවන අදියර හෙවත් ‘REVIVE 2’ සඳහා වන ව්‍යාපෘති යෝජනා සම්පාදනය කිරීමයි. ඒ යටතේ උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් මුහුදු පැලෑටි (Seaweed), මුහුදු කූඩැල්ලන් (Sea Cucumber), කකුළුවන් (Mud Crab), සීබාස් (Sea Bass) සහ ඉස්සන් (Shrimp) වගාවන් සඳහා වන අගය එකතු කිරීමේ දාමයන් ශක්තිමත් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය කලාපකරණ සැලසුම් (Aquaculture Zoning) සකස් කිරීමටත් තීරණය විය.

විශේෂයෙන්ම මුහුදු පැලෑටි වගාව සඳහා වන වෙළෙඳපොළ විභවතාවන් හඳුනාගැනීම සහ දකුණු කොරියාව වැනි රටවල් සමඟ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි.

අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස මහතා මෙහිදී අවධාරණය කළේ, සාම්ප්‍රදායික මට්ටමේ පවතින මෙරට ධීවර ක්ෂේත්‍රය කාර්මීකරණය වූ සහ දත්ත මත පදනම් වූ (Data-driven) දියුණු ක්ෂේත්‍රයක් බවට පත් කිරීම රජයේ අරමුණ බවයි.

මෙම අවස්ථාවට ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති බී.ඒ.පී. කපිල බමුණුආරච්චි, නාරා (NARA) ආයතනයේ සභාපති සනත් හෙට්ටිආරච්චි, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article