ඉකුත් 20 වැනිදා රාත්‍රී කාලයේ දී ආනවිළුන්දාව රැම්සා අභය භූමිය ගින්නක් හට ගෙන තිබුණි.ගින්න හේතුවෙන් අභය භූමිය තුළ අක්කර 08 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.එම භූමියේ වාසය කළ ඉබ්බන්,පක්ෂීන් මෙන්ම ජලජ ජීවීන්ද ගින්නට හසුවී මිය ගොස් ඇති ආකාරයක් දක්නට ඇත.
හෙක්ටයාර් 1397 ක් විශාල ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ වැව් 05 ක් පිහිටා ඇත.2001 ඔක්තොම්බර් මස 03 වැනිදා මෙම ප්‍රදේශය ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.සෑම වසරකම දෙසැම්බර් මාසයේ අග කාලයේදී මෙම භූමිට විදේශීය සංචාරක පක්ෂීන් විශාල වශයෙන් පැමිනෙති.එම පක්ෂීන් මෙම භූමිය තුළදී ප්‍රජනන කටයුතු සිදු කර දරුවන්ද බිහිකර මාර්තු මාසයේ අග කාලය වන විට නැවත තම තමන්ගේ රටවල් කරා ආපසු යාම සාමාන්‍ය පිරිතක් වී ඇත.

පසුගිය නෙවැම්බර් මාසයේ ඇතිවූ දිට්වා සුළි කුණාටුව අවස්ථාවේදී මෙම රැම්සා අභය භූමිය තුළ ඇති වැව් 02 ක බැමි බිදී ගියේය.එම හේතුවෙන් ආනවිළුන්දාව රැම්සා අභය භූමිය මේ වන විට දැඩි ලෙස වියලී ගොස් ඇති ආකාරයක් දක්නට ඇත.
හට ගත් ගින්න පාලනය කිරීම සදහා ආරච්චිකට්ටුව පොලීසිය,ප්‍රාදේශීය සභාව,වන ජීවී දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන් එක්ව මහත් වෙහෙසක් ගෙන තිබුණි.නමුත් පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පැතිර යාම පාලනය කිරීම අපහසුවී ඇත.එම හේතුව නිසා ගින්න පාලනය කිරීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදා ගැනීමට සිදුවී ඇත.
කෙසේ වෙතත් ඇතිවූ ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවක් දක්නට ඇත.
සිදුවී ඇති හානිය දැක ගැනීම සදහා පැමිණි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා මෙසේද පැවසීය.
මෙම ගින්න කෙසේ හට ගත්තාද යන්න තවමත් අනාවරණය වී නැහැ. ස්වාභාවික හේතුවකින් තොරව කිසියම් කඩාපල්ලකාරී කටයුත්තක් හේතුවෙන් ගින්න හට ගෙන තිබුනේ නම් ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්න අපි කටයුතු කරනවා.
එමෙන්ම ඉදිරි දෙසැම්බර් මාසයට පෙර මෙම භූමිය තුළ තිබෙන බිදී ගොස් ඇති වැව් නැවත පිළිසකර කර සංචාරක පක්ෂීන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමටත් අපි කටයුතු කරනවා.විනාශයට පත්ව ඇති භූමිය තුළ ගින්නට හසුවී මිය ගොස් ඇති සතුන් කීප දෙනෙකුවද අපි දුටුවා.මේක අපරාධයක්.නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන්න අවශ්‍ය කටයුතු අපි සිදු කරනවා.එමෙන්ම හානියට පත්ව ඇති භූමිය නැවත යථා තත්ත්වයට පත් කරන්නට අවශ්‍ය මුදල් සහ සහායන් රජයක් ලෙස ලබා දෙන්නත් අපි සුදානම්.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයරත්න ජයසේකර මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
ජුඩ් සමන්ත









