යුද ගැටුම් මධ්‍යයේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයා මේ දිනවල ඇමරිකාවේ චාරිකාවක යෙදී සිටීම ලොව ප්‍රධානම පුවතකි. චාල්ස් ගැන කියැවෙනකොට ක්ෂණයකින් මතකයට එන අනෙක් නම ඩයනාය. චාල්ස් කුමාරයාගේ බිරිඳ සේම ඇය සතුවූ අපූරු මනබඳිනා රුව නිසාම අකාලයේ මියගියද ඩයනා ලොව පුරාම අදටත් ප්‍රසිද්ධ කාන්තා චරිතයකි.
අප කියන්නට යන මේ කතාවේ ඩයනාද ශ්‍රී ලංකාව පුරාම යම් තරමකට ප්‍රසිද්ධ චරිතයකි. විශේෂයෙන්ම කුරුණෑගල නගරයේ සිටින ඩයනා කිවහොත් ඈ ගැන නොදන්නා කෙනෙකු නැති තරම්ය. මේ කියන ඩයනා ලොව ඉපැරැණිම වෘත්තියට හිමිකම් කියූ වීදිසරණ අභිසරුලියකි.
මේ ඩයනා පෙරේදා (29) පස්වරුවේදී ඝාතනයට ලක්ව ඇති බව අනාවරණය කරනු ලැබුවේ දොරටියාව පොලීසිය විසින්ය. ඇය තමන්ගේ සේවය පතා පැමිණි පුද්ගලයෙකු අතින් ඝාතනයට ලක්ව ඇති බව එහිදී කියැවිණි. ඒ දොරටියාව පොලිස් වසමට අයත් දඹුල්ල ප්‍රධාන මාර්ගයේ සමන්පුර ප්‍රදේශය හරහා ගලා බසින දෙනගමුව ඇළේ ගිල්වා ඇය ඝාතනය කරන්නට ඇති බවට සැක කරන බව පොලීසිය සඳහන් කළේය.

මෙම සිද්ධිය සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පළතුරු වෙළෙන්දෙකු අත්අඩංගුවට ගෙන ඇති බව දොරටියාව පොලීසිය සඳහන් කළේය. සැකකරු දඹුල්ලේ පදිංචි හතළිස්පස් හැවිරිදි අයෙකු බව කියයි.
පෙරේදා (29) පස්වරුවේ ත්‍රීරෝද රථ රියැදුරෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව එම පළතුරු වෙළෙන්දා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු එම කාන්තාව සමග කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ සමන්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන ලැගුම්හළකට ගොස් සැකකරු සමග පිටව ගොස් ඇති බවද ඉන් අනතුරුව ඇය දක්නට නොලැබුණු බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත.
පෙරේදා පස්වරුවේ කුරුණෑගල ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ලැබී තිබූ අතර එම අවස්ථාවේදී සැකකරු එම කාන්තාව සමග සමන්පුර ප්‍රදේශය හරහා ගලාබසින දෙනගමුව ඇළට බැස සිටි බව පැවසේ. එම අවස්ථාවේදී වර්ෂාපතනය නිසා ඇළ මාර්ගය ජලයෙන් පිරී ගලාගෙන ගිය බවද සැකකරු එම කාන්තාව සමග ජලයේ පොර බදිමින් සිටිනවා හා සමාන සිදුවීමක් තමන් දුටු බවද තොරතුරු ලබාදුන් ත්‍රීරෝද රථ රියැදුරා පොලීසියට පවසා ඇත.
මේ අනුව සැකකාර පළතුරු වෙළෙන්දා එම කාන්තාව සමග ආරාවුලක් ඇතිකරගෙන ඇය ජලයේ ගිල්වා මරා දමන්නට ඇතැයි යන සැකය පොලීසියට පවතී. කෙසේ වුවද ඊයේ (30) පෙරවරුවේදීම ඩයනාගේ පණ සුන් සිරුර සිද්ධිය වූ බව පැවසෙන ස්ථානය ආසන්නයේම වූ දෙනගමුව ඇළේ රැඳී තිබියදීම සොයා ගැනීමට දොරටියාව පොලීසියේ නිලධාරින් සමත් වූහ.
නීතිවිරෝධී ගංජා අලෙවිකිරීමේ චෝදනාව යටතේ දොරටියාව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙකුට ඇප මුදල් බැඳීම සඳහා සැකකරු පෙරේදා කුරුණෑගල පැමිණ ඇති අතර එම කාර්යය නිමකර කුරුණෑගල නගරයට පැමිණි පසුව මේ අභිසරු ලිය ඔහුට හමුවී ඇති බවද පැවසේ.
පසුව රුපියල් දෙදහස් පන්සීයක මුදලකට ඇගේ සේවය ලබාගැනීම සඳහා පොරොන්දු වී සමන්පුර ලැගුම්හලකට ගිය බවද එහිදී තමන් වයස්ගතව සිටින වන බව පවසා රුපියල් දහසක මුදලක් පමණක් තමන්ගෙන් ඇය ලබාගත් බවද සැකකරු පවසා ඇත. මෙම ලැගුම්හලද ඩයනා නිතරම තම සේවාදායකයින් රැගෙන යන ස්ථානයක් බවද කියයි. එහිදී තම අවශ්‍යතාවය නිමකර එම කාන්තාව සමග ලැගුම්හලෙන් පිටව ගිය පසු ඇය නොදුටු බවද ඔහු ප්‍රකාශ කර ඇත. ඉන් අනතුරුව තමන්ට ඇතිවූ බඩේ අමාරුවක් නිසා ශරීර කෘතිය කර ගැනීමට ඇළට බැස්ස බවද ඔහු පොලීසියට පවසා ඇත.
ඩයනාගේ වෘත්තීය කුමක් වුවද ඇය පිළිබඳව තොරතුරු දන්නා විශාල පිරිසක් මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කණගාටුව පළකර සිටින බවද දැනගැන්මට ලැබේ. බොහෝ දෙනෙකු ඇය පිළිබඳව පවසා සිටියේ ඇය කිසිවෙකුටත් කරදරයක් නොකොට පාඩුවේ නිහඬව තමන්ගේ කාර්යය සිදුකරගෙන ගිය කාන්තාවක් වන බවය.
ඇයගේ සැබෑ නාමය , ස්ථිර පදිංචිය , පවුලේ විස්තර ආදිය කිසිවෙකු නොදනී. ඇතැමුන් පැවසුවේ ඩයනා කුරුණෑගල කෙළිමුනේ ස්ථිර පදිංචිකාරියක බවය. එනිසාම ඇය හැඳින්වූයේ ඩයනා යන අනවර්ථ නාමයෙනි. මීට වසර හතළිහකට පමණ ඉහතදී ලෝකයේ ඉපැරැණිම වෘත්තීයට පිවිසෙන විට ඇය ඉතාම රූමත් තරුණියක් බව ප්‍රසිද්ධය. එම කාලවකවාණුව බ්‍රිතාන්‍ය රජ පවුලේ ඩයනා කුමරිය ලොව පුරා ඉතාම ජනප්‍රියව සිටි කාලයයි. ඇගේ කොණ්ඩා මෝස්තරය ලොව පුරා සිටි කාන්තාවන් උන්මාදයට පත් කළ මෝස්තරයක් විය. මේ කොණ්ඩා මෝස්තරය ප්‍රසිද්ධ වූයේ ” ඩයනා කට් ” නමින්ය. එනිසාම ලොව පුරා කාන්තාවන් ඩයනා කුමරියගේ මේ මනස්කාන්ත කොණ්ඩා මෝස්තරය අනුගමනය කළහ.
කුරුණෑගල සිටි මේ කාන්තාවද එදා සැරසී සිටියේ මේ කොණ්ඩා මෝස්තරයෙන්ය. එනිසාම ඇය හඳුන්වීමට පටන්ගනු ලැබුවේ ඩයනා යන අන්වර්ථ නමින්ය. මේ නම සමග ඇයගේ වෘත්තීය කොතරම් ප්‍රසිද්ධ වූවාද යත් ඇගේ පහස සොයා බොහෝ දෙනෙකු ඇදී ආවාට සැකයක් නැත. ඉන් වැඩි පිරිසක් ආරක්ෂක අංශ වලට සම්බන්ධ පිරිස් වූ බවද ප්‍රසිද්ධ කරුණකි. මේ ප්‍රසිද්ධිය කුරුණෑගලට පමණක් නොව කුරුණෑගලින් පිටතටද පැතිර ගොස් තිබිණි. මේ නිසාම සමාජ සමීක්ෂණ සඳහාද ඩයනා යොදාගෙන තිබිණි. ඉන් අනතුරුව ආරම්භ වූ සමාජ මාධ්‍ය ඔස්සේද බොහෝ දෙනෙකු මේ ඩයනා පිළිබඳව කතා කළ අයුරු දැකගැනීමට ලැබිණි. ඇතැම් අවස්ථා වල ඇය හාස්‍ය මැවීම සඳහාද යොදාගෙන තිබිණි. සමාජ මාධ්‍ය ජාලා කීපයකම සම්මුඛ සාකච්ඡා වලටද ඩයනා සහභාගි වූ ආකාරයද ප්‍රසිද්ධ කරුණකි.
ඩයනා මුදල් පසුපසම තම වෘත්තිය වෙනුවෙන් හඹා නොගිය කතක් ලෙස ප්රකටය. ඇය කිසිවිටෙකත් ලාබාල තරුණයන් හෝ පාසල් සිසුන් සඳහා තම කය නොවිකිණූ කතක් ලෙසද ප්රකටය. විශේෂයන්ම කුරුණෑගල නගරයේ නිකරුණේ රස්තියාදු ගසන පාසල් සිසුසිසුවියන්ට බැණ වැදී ඔවුන්ට නිවෙස් වලට යන ලෙස දැනුම් දෙන අයුරුද බොහෝ අය දැක ඇති දසුනකි. මේ නිසාම ඇයද දරුවන් සිටින ආදරණීය මවක් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එසේම නගරයට කරදරයක් වන ආකාරයට අභිසරුලියන් බෝ නොකළ කතක් ලෙසද ජනතාව ඇය හඳුනති.
මේ ඩයනා තුරුණු වියේදීම මෙවැනි වෘත්තීයකට පිවිසියේ ඇයට සිදුවූ යම් වරදක් නිසා විය හැකිය. ඒ වැරැදී ගිය තැන ඇයට නිවැරැදි කරගැනීමට නොහැකි වූ නිසා හෝ වෙන කිසිදු පිළිසරණක් නොවූ නිසාම මෙවැනි වෘත්තියකට පිවිසෙන්නට ඇතැයි සිතිය හැකිය. අවසානයේදී මේ වෘත්තීයම ඇයට මරු කැඳවන්නටද හේතු විය. මේ ඩයනා පිළිබඳව මුහුණු පොතේ පළකර තිබූ සටහනකි.
“ මාගේ පියාණන්ගේ අනුස්මරණය වෙනුවෙන් බත් පැකට් බෙදුවා, වීදී ජනයා සහ බස් නැතුව අසරණ අය වෙනුවෙන්. ඇයත් බත් එකක් ඉල්ලා ගත්ත. මම කිව්වා එකක් මදි නම් දෙකක් වුනත් දෙන්නම් කියලා.ඇය කිව්වා මම දෙකක් කෑවොත් තව කව්රු හරි බඩගින්නේ ඉඳි නේද පුතා, කියලා “. මේ ඩයනා අනුන් ගැනද සිතූ කාන්තාවකි.
පුෂ්පකුමාර ජයරත්න – කුරුණෑගල








