Friday, April 26, 2024

වයඹ දේශපාලනයේ සතියක අඩුම කුඩුම එක් කළ ‘අඵ යට ගිනි‘!

Must read

alu_yata_gini_dec31ධර්මසිරි ඔස්ටේ‍්‍රලියාවේ – මෙහේ ගිනි පත්තු වේ.

මහ ඇමැති ධර්මසිරිගේ ඔස්ටේ‍්‍රලියානු සංචාරය ධර්මසිරි පවුලේ පුද්ගලික ගමනක් වූ නමුත් එම සංචාරය පිළිබදව මේ වන විට පොදු කතාබහක් නිර්මාණය වී තිබේ. ඊට හේතු වී ඇත්තේ මහ ඇමැති ධර්මසිරිගේ ඔස්ටේ‍්‍රලියා ගමන සදහා මහජන මුදල් වැය වී ඇති බවට මතයක් පැතිර යන්නට පටන්ගෙන තිබීමය. පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ ඉන්දුනීසියානු සංචාරයට සමගාමීවම ධර්මසිරිගේ ඔස්ටේ‍්‍රලියානු ගමන සැලසුම් වී තිබීම මෙවැනි මතයක් පැතිර යන්නට හේතු වී තිබූ අතර ඒ හේතුවෙන් බොහෝ දෙනෙකු ධර්මසිරිගේ සංචාරය දෙසද බැලූවේ පළාත් සභාවේ මුදල් වැය කරමින් සංවිධානය කර ගත් රට සවාරියක් ලෙසය. අදාළ චාරිකාව රාජ්‍ය තාන්ත‍්‍රික කටයුත්තක් අරමුණු කරගත් නිල මට්ටමේ චාරිකාවක් නොවන බවත්, එය ධර්මසිරිගේ හිතවතෙකුගේ ‘පූර්ණ අනුග‍්‍රහය’ මත කෙරෙන පුද්ගලික සංචාරයක් බවටත් පසුගිය සතියේදී ‘අඵ යට ගිනි’ විසින් වාර්තා කළ අතර එම සංචාරය පිළිබද ඇත්ත කතාව වන්නේද එයමය. ධර්මසිරිගේ ඕස්ටේ‍්‍රලියා සංචාරය පිළිබදව කියැවෙමින් ඇති කතන්දර හේතුවෙන් වැඩිපුරම කලබලයට පත් වී සිටියේ ධර්මසිරිගේ හිතවතුන්ය. පසුගිය සතියේදී ධර්මසිරිගේ ඕස්ටේ‍්‍රලියානු සංචාරය අලලා ප‍්‍රවෘත්ති වාර්තාවක් පළකල මාධ්‍යවේදියෙකු දුරකථනයෙන් ඇමතූ ධර්මසිරිගේ හිතවතුන් බව කියන කිහිපදෙනෙකුම අදාළ ප‍්‍රවෘත්තිය දැඩි ලෙස දෝෂ දර්ෂණයට ලක්කරමින් එම මාධ්‍යවේදියාට ‘පාට් එකක් ’ දැමීමටද කටයුතු කර තිබිණි. ධර්මසිරිගේ ඕස්ටේ‍්‍රලියානු ගමන ගැන අසත්‍ය පුවත් පළකරන බව පවසමින් මහඇමැති ධර්මසිිරිගේ මාධ්‍ය ලේකම්වරයා වන අමිල දසනායක පවා මේ දිනවල ඇතැම් මාධ්‍යවේදීන් සමග පසුවන්නේ එතරම් හිත හොදකින් නොවේ.

මහජන මුදල් වැය කරමින් රට සවාරියක ගසන බවට මෙහිදී පහර පිට පහර වැදෙමින් තිබියදී ඒ පිළිබදව හාන්කවිසියක් හෝ නොදත් මහ ඇමැති ධර්මසිරි පසුගිය සතියම ගත කළේ සිය අඹු දරුවන් සමග ඔස්ටේ‍්‍රලියාවට වී විවේක සුවයෙනි. ධර්මසිරිගේ ඔස්ටේ‍්‍රලියා ගමනට ඔහුගේ බිරිද මෙන්ම දියණියන් දෙදෙනාද එක් වී සිටියහ. සිය ගමන අතරතුරදී ඔස්ටේ‍්‍රලියාවේ වාසය කරන ධර්මසිරිගේ ඥාතීන් පිරිසක් ඇතුඵ එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් පිරිසක්ද මුණගැසුනු ධර්මසිරි ඔවුන් සමග සතුටු සාමිචියක යෙදෙමින් පැය කිහිපයක් ගතකිරීමටද අමතක නොකර තිබිණි.

සනත් – අශෝක් සටනේදී හමුවෙති.

ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත පසුගිය සෙනසුරාදා මුණැසුනේ සිරස රූපවාහිනී නාලිකාවේ සටන දේශපාලන වැඩසටහනේදීය. නියෝජ්‍ය ඇමැති අශෝක් තනිව සටනට නොයවන්නට ඔහුගේ සමීප හිතවතුන් විසින් කටයුතු කර තිබූ අතර කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂ නායක වරුණ පේ‍්‍රමරත්න, නාගරික මන්ත‍්‍රී ෆසිස්ඩීන් කිචිලාන් මෙන්ම කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අජිත් ප‍්‍රියලාල් ඇතුඵ පිරිසක් අශෝක්ට ජය ඝෝෂා නගන්නට ඔහු සමග රත්මලාන සිරස මැදිරි සංකීර්ණය වෙත ගොස් සිටියහ. අශෝක් සහ සනත් නිශාන්තට අමතරව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සටනට පැමිණ සිටියේ දකුණු පළාත් සභා මන්ත‍්‍රී නලින් හේවගේය. වැඩසටහන තුළදී සනත් නිශාන්ත සහ නලින් හේවගේ සමග ආරවුලක් ඇති නොවන ලෙසට අශෝක් විසින් වචන තෝරා බේරාගෙන කතා කළ බවක් පෙණුනු නමුත්, වැඩසටහන මද දුරක් ඇදීගෙන යද්දී සනත් නිශාන්ත සහ නලින් හේවගේ නම් කිහිප වතාවක්ම ඇවිලී ගියහ. වැව් දහසක් වැඩසටහනේදී ජවිපෙ මන්ත‍්‍රීවරුන් විසින් මුදල් චංචා කළ බවට සනත් නිශාන්ත විසින් චෝදනා කළ අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් නලින් විසින් පසුගිය සමයේදී මහත් ආන්දෝලනයට තුඩු දුන් මන්ත‍්‍රී සනත් නිශාන්තගේ ලක්ෂ දහතුනේ විදුලි බිල පිළිබද කතාව සටනට ඇදගත්තේය. සනත් නිශාන්ත විසින් සිය දේශපාලන බලය පාචිච්චි කර ලක්ෂ ගණනක විදුලි බිල් නොගෙවා සිටි බවත්, මහින්ද රාජපක්ෂ අදටත් බලයේ සිටියා නම් සනත් නිශාන්ත විසින් එම විදුලි බිල් කිසි දිනෙක නොගෙවනු ඇති බවත් නලින් කීවේය. නලින් හේවගේ විසින් තමන් දැඩි ලෙස විචේචනය කරමින් සිටියදී මන්ත‍්‍රී සනත් නිශාන්ත යාබද අසුනේ සිටි නියෝජ්‍ය ඇමැති අශෝක් වෙත නැඹුරු විය. ‘‘ අශෝක් අයියේ , මම දැන් මෙයත් එක්ක දිගටම පැටලූණානේ. ඊළ`ගට ඔයා කතා කරද්දී ජේවීපී කාරයෝ සී ටී බී බස් ටික ගිනි තිබ්බ එක ගැන මතක් කරලා කතා කරනවාද ? ’’ සනත් ඇසීය. ‘‘ අනේ මල්ලී , උඹම ඒක කියපං. නැත්නම් ඔය මනුස්සයා ඊළගට මගෙත් එක්කත් එල්ලෙන්න එයි. ’’ යැයි කියමින් බෝලය ආපසු සනත් නිශාන්ත වෙතම පාස් කළ අශෝක් ඇග බේරා ගත්තේය.

දෙහිගම නූලෙන් බේරෙයි.

පසුගිය සතියේදී වයඹ දේශපාලනඥයින් අතරින් වඩාත් වාසනාවන්ත දේශපාලනඥයා වූයේ වයඹ සමූපකාර ඇමැති ගුණදාස දෙහිගම කීවොත් නිවැරදිය. ඒ ඇමැති දෙහිගම අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව ඉදිරිපත්ව තිබූ පෙත්සමක් විභාග කිරීම කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා විසින් නිශ්ප‍්‍රභ කරනු ලැබීම හේතුවෙනි. ලක්මල් වික‍්‍රමාරච්චි සහ තුෂාර හේරත් යන නීතිඥ දෙපළ විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සමෙන් ඇමැති දෙහිගම සිය දේශපාලන බලය යොදාගෙන කුරුණෑගල පළාත්බද මහාධිකරණයෙන් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගයක් කඩ කර ඇති බවට සහ ඒ තුළින් අධිකරණයට අපහාසයක් කළ බවටද චෝදනා නගා තිබිණි. වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කරමින් සිටි බව කියන මෙම නීතිඥ දෙපළ විසින් කිසිදු හේතුවක් නොදක්වා ඇමැති දෙහිගමගේ නියෝගයක් මත තමන් එම සාමාජිකත්වයන්ගෙන් ඉවත්කර ඇති බව කියමින් ඊට පෙර අවස්ථාවකදී කුරුණෑගල මහාධිකරණය වෙත රීට් අයදුම්පත‍්‍රයක් ඉදිරිපත් කර තිබූ අතර, එය සලකා බැලීමෙන් පසුව එම රීට් අයදුම්පත‍්‍රය විභාග කර අවසන් වන තෙක් වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත්කිරීම වළක්වාලමින් ඇමැති දෙහිගම වෙත නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගයක් මෙලෙස කඩ කළ ඇති බවට අදාල පෙත්සමෙන් කියැවිණි. කුරුණෑගල මහාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් අදාළ නියෝගය පිළිබදව දැනුම් දී තිබියදීත් ඊට පසුදිනම කොළඹ පිහිටි රජයේ මුද්‍රණාලය වෙත අතින් භාරදෙන ලියැවිල්ලක් හරහා වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවට නව සාමාජිකයින් තිදෙනෙකු පත්කිරීමට අදාළව අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කරවාගෙන ඇති බවට මෙන්ම අදාළ තහනම් නියෝගයක් පිළිබදව නොතැකූ ඇමැති දෙහිගම එම සාමාජිකයින් රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකටද සහභාගි වී ඇති බවටද එම පෙත්සමෙන් වැඩිදුරටත් චෝදනා කර තිබිණි. කෙස්වෙතත් අදාළ පෙත්සම පසුගිය 18 වැනිදා කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී පත්කිරීම් සහ ගැසට් නිවේදනයන් නිකුත්කිරීම පිළිබද වගකීම පැවරෙන්නේ අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන්ට බැවින් මෙම සිද්ධියේදී අධිකරණයට අපහාසයක් කළ බවට චෝදනා කිරීමට තරම් ප‍්‍රමාණවත් ඇමැති දෙහිගමට එරෙහිව නැති බව කියමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරයා විසින් අදාළ පෙත්සම විභාගයට ගැනීම ප‍්‍රතික්ෂේප කළේය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් නූලෙන් ගැල වී ගිය නමුත් අදාළ නීතිඥ දෙපළ වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පිළිබද වූ නඩුව කුරුණෑගල මහාධිකරණය හමුවේ අඛණ්ඩවම විභාගවෙමින් පවතින අතර එම නඩුව ලබන මාර්තුවේදී යළි කැදවීමට නියමිතව තිබේ.

ඇමැති වේඩරුව අතේ වියදමින් රට යයි.

අයවැය සම්මත කළ දිනට පසු දිනම චාරිකාවක් සදහා ඉන්දුනීසියාව බලා පිටත් වී ගිය වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් පිරිස එම සංචාරය නිම කරමින් පසුගිය සති අන්තයේදී පෙරළා දිවයිනට පැමිණියහ. කලින් වතාවේදී ඉන්දුනීසියානු සංචාරයේ යෙදුණු මන්ත‍්‍රීවරුන් එම චාරිකාව සංවිධානය කළ සංවිධායකයින්ගේ මව් ගුණ පවා සිහිකරමින් අදාළ සංචාරයේ යෙදුණු බවට වාර්තා වූ නමුත් දෙවැනි මන්ත‍්‍රී කණ්ඩායම වෙතින් නම් එවැනි චෝදනා නැගුණු බවක් නම් නොවූ බව වාර්තා නොවෙයි. පළමු මන්ත‍්‍රී කණ්ඩායමේ සංචාරය සැලසුම් කිරීමේදී සිදු වූ බව කියන මෙම අඩුපාඩු හේතුවෙන් දෙවැනි මන්ත‍්‍රී කණ්ඩායමේ සංචාරය සංවිධානය කිරීම සදහා පළාත් සභාව විසින් වෙනත් සංවිධායකයෙකු තෝරාගෙන තිබිණි. කෙසේ වෙතත් දෙවැනි මන්ත‍්‍රී කණ්ඩායමේ සාමාජිකයින් ලෙස ඉන්දුනීසියාව බලා යන්නට සූදානම් වී සිටි ඇමැති ලක්ෂ්මන් වේඩරුවට සහ විපක්ෂ නායක ශමල් සෙනරත්ට ආණ්ඩුකාර කාර්යාලය පැත්තෙන් ලෙඩක් වැටී තිබිණි. ඒ ඇමැති වේඩරුව සහ ශමල් මීට මාස කිහිපයකට පෙර එම මන්ත‍්‍රී සංචාරයට ඇතුළත් වී ඇති වැඩසටහන සදහාම ඉන්දුනීසියාවේ සංචාරයක යෙදී තිබීම හේතුවෙනි. ඉන්දුනිසියානු රාජ්‍යය වල් අලි ගැටඵව කළමනාකරණය කර ඇති ආකාරය නිරීක්ෂණය කිරීම පිණිස පසුගිය අගෝස්තු මාසයේදී කෙරුණු මෙම සංචාරය සදහා ඇමැති වේඩරුව, විපක්ෂ නායක ශමල් මෙන්ම ප‍්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න සහ පළාත් පරිසර අධ්‍යක්ෂ සමන් සේනානායකද එක් වී සිටියහ. එබැවින් ඉන්දුනීසියානු සංචාරය සදහා අයැදුම්කරන්නට යාමේදී වයඹ ආණ්ඩුකාර කාර්යාලයෙන් ඇමැති වේඩරුවට සහ විපක්ෂ නායක ශමල්ට දැනුම් දී තිබුණේ එකම සංචාරක් සදහා එකම වසරක් තුළදී දෙවරක් පිටත් වී යාමෙන් යම් ගැටඵවක් ඇති විය හැකි බැවින් සංචාරය කිරීම සදහා වෙනත් රටක් තෝරාගන්නා ලෙසය. ආණ්ඩුකාර කාර්යාලයේ දැනුම්දීම මත වේඩරුවට සහ ශමල්ට ඉන්දුනීසියානු ගමන ගැන බලාපොරොත්තු අත්හැරගන්නට සිදු වූ බවක් පෙනෙන්නට තිබූ නමුත් සහෝදර මන්ත‍්‍රීවරුන් සමග යාමට සැලසුම් කළ ගමන වෙනස් කිරීමට ඇමැති වේඩරුව කැමැති නොවීය. ‘‘පළාත් සභාවේ සල්ලිවලින් මේ ගමන ගියොත්නේ ප‍්‍රශ්න ඇතිවෙන්නේ. ඒ නිසා මම මගේ අතේ සල්ලි වලින් හරි මේ ගමන යනවා. ’’ යැයි කී වේඩරුව ඒ බව ආණ්ඩුකාර කාර්යාලය වෙත දැනුම් දුන්නේය. තම පුද්ගලික මුදල් වැයකර විදෙස් ගතවීමට මන්ත‍්‍රීවරයෙකුට තහනමක් නැති බැවින් ආණ්ඩුකාර කාර්යාලය පැත්තෙන් ඊට බාධාවක් නොවීය. විපක්ෂනායක ශමල් නම් අතේ මුදල් වැයකරගෙන විදෙස් සංචාරයේ යෙදීම ප‍්‍රතික්ෂේප කළේය. ඒ අනුව පළාත් සභාවේ සෙසු මන්ත‍්‍රීවරුන් පළාත් සභාව ගණනේ රට යද්දී එම සංචාරයටම එක් වී සිටි ඇමැති වේඩරුව ඉන්දුනීසියාවේ ගොස් ආවේ ඔහුගේ අතේ මුදල් වැය කරගෙනය.

මිරිස් ගා අලි එළවන හැටි උගන්වන්න පළාත් සභාවෙන් ලක්ෂ 48 ක්.

පෙර කී ලෙසම වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් සැලසුම් කර තිබූ විදෙස් සංචාරයේ පළමු මන්ත‍්‍රී කණ්ඩායම පසුගිය නොවැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ කළ සංචාරය ජනමාධ්‍ය හරහා මෙන්ම සිවිල් සමාජයෙහිද දැඩි කතාබහකට ලක් වූයේ එම සංචාරයට අදාළව සිදු වූ බව කියන අක‍්‍රමිකතාවයන් මෙන්ම විනිවිද භාවයෙන් තොර ක‍්‍රියාකාරකම් රැසක් හේතුවෙනි. එම සංචාරයට වැය වන මුදල පිළිබදවත්, ඒ සදහා වන ගුවන් ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීමේදී සිදු වූ බව කියන අක‍්‍රමිකතාවයන් පිළිබදවත් ජනාධිපති ලේකම් කාර්යාලයට පවා වාර්තා වී තිබීම නිසා ඉතිරි මන්ත‍්‍රී කණ්ඩායමේ විදෙස් ගමනට සති කිහිපයක් තිස්සේ තහංචි පවා පැනවී තිබිණි. ඒ නිසාම අදාළ සංචාරයේ විය හියදම් සහ එය ක‍්‍රියාත්මක වූ ආකාරය පිළිබදව ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පළාත් සභා මට්ටමින් පරීක්ෂණයක් මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතින අතර අදාළ සංචාරයේදී කොතරම් නිශ්ඵල ලෙස මහජන මුදල් වියදම් වී ඇතිදැයි පසක් කරවන තොරතුරු ගණනාවක් මේ වන ‘අඵ යට ගිනි ’ වෙත ගලාඑමින් පවතී. අඵ යට ගිනි වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව අදාළ සංචාරය සදහා ඉන්දුනීසියාවම තෝරාගැනීමට හේතු වී ඇත්තේ එරට රජය විසින් වල් අලි ගැටඵව කළමනාකරණය කර ඇති ආකාරය නිරීක්ෂණය කිරීම සහ ඒ පිළිබද ප‍්‍රායෝගික අත්දැකීම් වයඹ පළාත් සභා මන්ත‍්‍රිවරුන්ට ලබාදීමේ අරමුණ ඇතිවය. වයඹ පළාත් සභාව වෙනුවෙන් අදාළ සංචාරය සංවිධානය කිරීමේ වගකීම පවරනු ලබන මෙරට සංචාරක ආයතනය විසින් මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුඵව පැවැත්වීම සදහා තෝරාගන්නේ ඉන්දුනීසියාවේ ඇති අධ්‍යාපන ආයතනයකි. වල් අලි ගැටඵව කළමනාකරණය කිරීම පිලිබදව වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් පැවැත් වූ පැය දෙකකටත් අඩු වැඩමුඵවක් වෙනුවෙන් එම ආයතනය විසින් එක් මන්ත‍්‍රීවරයෙකුගෙන් අයකරගෙන ඇති මුදල ඩොලර් හයසියයකි. එය ලංකාවේ මුදලින් සැලකූ විට රුපියල් අසූ හත් දහසක් වන අතර ඒ අනුව සමස්ත වැඩමුඵවට වයඹ පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් පළාත් සභාව විසින් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ හතළිස් පහකට අධිකය. ගැටඵව වන්නේ ඒ සා මුදලක් වැය කළ නමුත් අදාළ වැඩමුඵවට සහභාගී වූ කිසිදු මන්ත‍්‍රීවරයෙකු ඒ පිළිබද තෘප්තියට පත් වී නොසිටීමයි. අදාල වැඩමුඵව තුළින් කිසිදු නව දැනුමක් ලබාගන්නට නොහැකි වූ බවටත්, එය මුදල් නාස්තිකිරීමක් පමණක් බවටත් ඊට සහභාගී වූ මන්ත‍්‍රීවරුන් විසින්ම දැන් චෝදනා කරමින් සිටිති. අලි මිනිස් ගැටඵවට විසදුම් සෙවීමේ ආදර්ශයක් ලෙස ඉන්දුනීසියාව තෝරාගැනීමම ඉතා වැරදි තීරණයක් බවට මන්ත‍්‍රීවරුන් විසින් දැන් චෝදනා කරන්නේ දැනට එක් වසරක් තුළ ඉන්දුනීසියාවෙන් වාර්තා වන්නේ අලින්ගේ පහරදීම්වලින් සිදුවන මිනිස් මරණ තුනක් හෝ හතරක් පමණක් වීම පදනම් කරගනිමිනි. අලින් ගම්වැදීම වැළැක්වීම සදහා ඉන්දුනීසියානුවන් විසින් අනුගමනය කරන බවට අදාළ වැඩමුඵවේදී මන්ත‍්‍රීවරුන් වෙත විස්තර කර ඇති උපක‍්‍රම ඇසූ දුටු මන්ත‍්‍රීවරුන් විසින් ඔවුන්ගේ මුවට නැගුණු සිනාවන් මැඩගෙන ඇත්තේ දැඩි අසීරුවෙනි. මිරිස් කරල් පොඩි කර වැටවල්වල තැවරීමෙන් සහ කාණු කැපීමෙන් අලි ගම්වැදීම වැළැක්විය හැකි බවත්, එම ක‍්‍රම අනුගමනය කිරීමෙන් තම රට විපුල ප‍්‍රතිඵල අත්කරගෙන ඇති බවටත් ඉන්දුනීසියානු වන ජීවි නිලධාරීන් විසින් මහත් ආඩම්බරයෙන් යුතුව වයඹ මන්ත‍්‍රීවරුන් ඉදිරිපිටදී දේශණා කර තිබේ. එමෙන්ම මෙම වැඩමු`ඵවල සම්පත්දායකයින් ලෙස සහභාගී වූ ඇතැම් ඉන්දුනීසියානු නිලධාරීන් ඉංග‍්‍රීසි භාෂාව පවා නොදැන සිටීම නිසා ඔවුන් ඉන්දුනීසියානු බසින් කළ දේශන වටහාගත නොහැකිව භාෂා මන්ත‍්‍රීවරුන් පමණක් නොව භාෂා පරිවර්තකයින් පවා දැඩි අලි අමාරුවක වැටුණු බවද වාර්තා වෙයි. එබැවින් මෙම වැඩමුඵවට වාඩි වූ සෑම මන්ත‍්‍රීවරයෙකුම ඔවුන්ගේ අසුන්වලින් නැගිට්ටේ අපරාදේ යැයි කියමිනි. එක් අතකින් තම බදු මුදල් කෝටි ගණනින් වැයකරමින් මන්තී‍්‍රවරුන් විදේශ සංචාරයන්හි යෙදීම ගැන මහජනතාව මැසිවිලි නගද්දී එම සංචාරයන්ට සහභාගී වූ මන්ත‍්‍රීවරුන්ද අදාළ සංචාරයෙන් ශත පහකට වැඩක් නොවූ බවට අනෙක් අතට මැසිවිලි න`ගන්නටවීම නිසා අදාළ සංචාරය සැලකිය හැක්කේ පාලක පාලිත දෙපක්ෂයේම කිසිවෙකුත් සතුටු නොවූ අසාර්ථක සංචාරයක් ලෙසය. වසරකට සිය ගණනක් වූ මිනිස් ජීවිත මෙන්ම අලින්ගේ ජීවිතද බිලිගන්නා තරමට ඔඩු දුවා ඇති අපේ රටේ අලි මිනිස් ගැටුමට විසදුම් සෙවීම පිණිස එම ගැටඵවේ ළදරු අවදියක පසුවන රටක් වන ඉන්දුනීසියාවෙන් විසදුම් සෙවීමට යෝජනා කර ඇත්තේ කවුරුන්දැයි එම සංචාරය පිළිබදව මේ වින විට සිදුකෙරෙමින් ඇති බව කියන පරීක්ෂණවලදී හෝ සොයාබැලීම වටී. අනෙක් අතට වැටවල්වල මිරිස් ගා අලි එළවන්නට ඉගැන්වීම වෙනුවෙන් මහජන මුදලින් ලක්ෂ 45 ක් කාබාසිනියා කරන්නට අදාළ සංචාර සැලසුම් කළේ පළාත් සභාවේ කාගේ උවමනාවටදැයි එම පරීක්ෂණවලදී සොයාබැලෙන්නේ නම් එය ඊටත් වඩා අගනා බව කිව යුතුය.

තොපිට විදෙස් සංචාර – අපිට යන්න නෑ පාර !

ගල්ගමුවේ සිට මීගලෑව දක්වා දිවෙන මාර්ගය ප‍්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් එම මාර්ගය භාවිතා කරන ගම්වාසීන් පිරිසක් , පාදෙණිය – අනුරාධපුර ප‍්‍රධාන මාර්ගය අමුණකොලේ හන්දියේදී අවහිර කරමින් උද්ඝෝෂණයක යෙදුණේ පසුගිය 21 වැනිදාය. මීගලෑව, ගණන්ගමුව, බණ්ඩාරගම, උස්ගල, සියඹලන්ගමුව, කැප්පලවීරගොල්ලෑව, සාලියපුර සහ අමුණකොළේ ඇතුලූ ගම්මාන රැසක වෙසෙන දහසකට අධික පිරිසක් මෙම උද්ඝෝෂණයට එක් වී සිටි අතර ගල්ගමුව – මීගලෑව මර්ගය වසර ගණනාවකින් පිළිසකර නොකිරීම නිසා මේ වන විට එහි පයින්වත් ගමන්කිරීමට නොහැකි වී ඇති තත්වයක් හමුවේ වයඹ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ විදෙස් සංචාරයවල යෙදීමද ඔවුන්ගේ විරෝධතාවයට නිමිත්තක් වී තිබිණි. ‘‘තොපිට විදෙස් සංචාර – අපිට යන්න නෑ පාර ’’ යනුවෙන් පොල්ගොඩි අකුරින් ලියූ දැවැන්ත පුවරුද ප‍්‍රදර්ශණය කළ මීගලෑවේ ජනතාව විසින් මන්ත‍්‍රී සංචාරයට විරෝධය පෑමට කටයුතු කළහ. උද්ඝෝෂණය හේතුවෙන් පාදෙණිය – අනුරාධපුර ප‍්‍රධාන මාර්ගයෙහි ගමනාගමන කටයුතුද පැය තුනකට අධික වේලාවක් අඩාල වූ අතර මේ පිළිබදව වයඹ පළාත් සභාවේ මැති ඇමැතිවරුන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාක් ලබා දෙන බවට ලැබුණු පොරොන්දුවක් මත එදින ගම්වාසීන්ගේ උද්ඝෝෂණය අවසන් කෙරිණි. පොරොන්දුව පරිදි නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්නායක, වයඹ මහාමාර්ග ඇමැති ගුණදාස දෙහිගම සහ වයඹ පළාත් සභා මන්ත‍්‍රී කුමාර කීර්ති චන්ද්‍රසිරි පසුගිය ඉරිදා මීගලෑවේ ජනතාව මුණගැසුණේ සියඹලන්ගමුව නාමලූව විහාරස්ථානයේදීය. එහිදී දේශපාලකයින් දැඩි ලෙස විවේචනය කරමින් ගම්වාසීන්ගෙන් එල්ල වූ අවලාද ඉවසා සිටින්නට තාරානාත්ට, දෙහිගමට සහ කුමාර කීර්තිට සිදු විය. සියඵ චෝදනා අවසානයේදී ඇමැති දෙහිගම කතා කළේය. ‘‘මම දැන් මේ පාර ඇස් දෙකින්ම දැක්ක නිසා මේ පාර හදන්න රුපියල් ලක්ෂ සීයක් වෙන්කරලා දෙනවා. නමුත් දැන් අර කතා කරපු එක්කෙනෙක් කිව්වා මොනවා හරි විසදුමක් දීලා මිසක් මෙතැනින් යන්න එපා කියලා. ඒවට නම් අපි ලෑස්ති නෑ. අපිට සල්ලි තියෙන විදිහට තමයි අපි වැඩ කරන්නේ ’’ දෙහිගම කීය. ඇමැති දෙහිගම ලක්ෂ සීයක් වෙන්කරද්දී ප‍්‍රදේශය නියෝජනය කරන මන්ත‍්‍රීවරයා ලෙස තමාත් යමක් කළ යුතු යැයි සිතූ නිසාදෝ ඊළගට නැගී සිටි මන්ත‍්‍රී කුමාර කීර්ති කීවේ තම පළාත් නිශ්චිත ප‍්‍රදානයන් වලින් රුපියල් ලක්ෂ තිහක් පාර හැදීමට වෙන්කර දෙන බවය. ඒ අනුව හදන්නට සල්ලි නැති බව කියමින් අවුරුදු විසි ගණනක් තිස්සේ නොහැදුණු පාරක් හදවාගැනීමට මුලපුරන්නට මීගලෑවේ ගම්මුන්ගේ මහන්සිය අවසානයේදී සමත් විය.

උපුටාගැනීම- මව්බිම පුවත්පත- 2015 දෙසැම්බර් 31 වැනිදා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article