Friday, April 26, 2024

එජාපෙන් විස්සක් බාගන්න ඒකාබද්ධෙන් වෑයමක් !

Must read

ayg_2017_01_20නියෝජ්‍ය ඇමැතිත් එල්ලාගෙන ලංගම පස්සට දුවයි.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කුරුණෑගල උතුරු ඩිපෝවේ සංවිධානය වී තිබූ උත්සවයකට ආවේ පසුගිය සිකුරාදාය. ධාවනයෙන් ඉවත්කර තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ දොළහක් නවීකරණය කිරීමෙන් පසු යළි ධාවනයට එක්කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය වී තිබිණි. උත්සවයේ අවසන් අංගය ලෙස යෙදී තිබුණේ නවීකරණය කෙරුණු බස්රථ සංඛේතාත්මක වශයෙන් ධාවනයට එක්කිරීමය. ඒ අනුව මගී දොරටුවල ගැටගසා තිබූ පීත්ත පටි එකින් එක කපමින් අශෝක් විසින් බස් ධාවනය සදහා එක්කළේය. බසයෙන් බසයට ගොඩවෙමින් ඒවායේ නිමාව පරීක්ෂා කරමින් ගිය අශෝක්ට ලංගම සේවකයින්ගෙන් ආරාධනාවක් ලැබිණි. ‘‘සර්, බස් එකක් එළවලත් බලන්න.’ලංගම සේවකයෝ කීහ. සේවකයින්ගේ ඉල්ලීමට කන්දුන් අශෝක් නවීකරණය කර තිබූ එක් බසයක් පැදවීමේ අරමුණින් රියදුරු අසුනට නගින්නට එහි දොරට ගොඩවිය. ඒ වනවිට රියදුරු අසුනේ වාඩි වී සිටි බස් රථයේ නිත්‍ය රියදුරු විසින් බසය පණගන්වා එය ධාවනය සදහා සූදානම් කරමින් සිටියේය. රියදුරා විසින් බසය සූදානම් කර සුක්කානම තමන් අතට පත්කරන තුරු අශෝක්ද රියදුරු අසුන පැත්තේ ඇති දොරෙහි එල්ලීගෙනම සිටියේය. ධාවනයට සූදානම් කරමින් සිටි ලංගම බසය එක්වරම පසුපසට ඇදෙන්නට වූයේ මෙවේලේය. බසයේ රියදුරු විසින් එහි තිරිංග ක‍්‍රියාත්මක කර බසය නවතා ගන්නට සෑහෙන මහන්සියක් දැරූ නමුත් තිරිංගවලට අවනත නොවූ බසය ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයාද දොරෙහි එල්ලාගෙන දිගටම පසුපසට ධාවනය වන්නට විය. බසයේ අනපේක්ෂිත ධාවනයෙන් වඩාත්ම කලබලයට පත්වූයේ අශෝක්ගේ ආරක්ෂක නිලධාරින්ය. බසය පසුපස හඹාගිය ආරක්ෂක නිලධාරිහු ලංගම බසයේ දොරෙහි එල්ලීගෙන සිටි අශෝක් බිමට ඇදගත්තේ බසය තරමක වේගයෙන් පසුපසට ඇදෙමින් තිබියදීය. කෙසේවෙතත් මීටර් දහයකටත් වැඩි දුරක් පසුපසට ඇදුණු බසය උපද්‍රව්‍යයකින් තොරව නවතා ගන්නට එහි රියදුරු අවසානයේදී සමත් විය. බසයක් පණගැන්වූ සැණින් ධාවනය කිරීමේදී එහි වැකුම් පද්ධතිය නිසි පරිදි ක‍්‍රියාත්මක නොවන බවත්, ඒ හේතුවෙන් තිරිංග පද්ධතියද අක‍්‍රිය වන බවත් කියමින් එහි සිටි ලංගම නිලධාරිහු බසය පසුපසට ඇදීමේ රහස අශෝක්ට පැහැදිලි කර දුන්හ. පීත්ත පටි කපමින් බස් විවෘත කිරීම නැවත ආරම්භ කළ අශෝක් අවසාන බසයේ පීත්ත පටියද කපා ඊට නැගුණේය. අශෝක්ගේ අතින් ධාවනය කරවීම සදහා එම බසය ඒ වනවිට සූදානමින් තිබිණි. අශෝක් එහි රියදුරු අසුනේ හිද ගත්තේ ‘‘මේකත් පස්සට යයිද දන්නේ නැහැ ’’යැයි කියමිනි. ‘‘නෑ සර්. මේක ස්ටාට් කරලා ටික වේලාවක් තිබුණා. දැන් වැකුම් හොදට වැඩකරනවා. ’’බසයේ රියදුරු කීහ. ඒ අනුව බසයේ පළමු ගියරය දැමූ අශෝක් බස් රථය ඉදිරියට පදවන්නට විය. ඩිපෝ භූමියෙහි මීටර් කිහිපයක් බසය ඉදිරියට පැද වූ නියෝජ්‍ය ඇමැතිවරයා හෑන්ඞ් බ්‍රේක් එක ඇද බසය නවතා ඉන් බැසගත්තේය.

උපන්දින සාදයේදී ජොනි රහස් හෙළිකරයි.

ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමිත් උඩුකුඹුරගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය ඉරිදාටය. එදින උදෑසන සිට සුමිත් වෙත සුබ පතමින් දුරකථන ඇමැතුම් ගලාඑමින් තිබියදී සුමිත් බලාපොරොත්තුවෙන් සිටි ඇමැතුමක්ද ලැබිණි. ඇමැතුම හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙනි. ‘‘අපේ මහා කඵ සිංහලයාට සුබ උපන්දිනයක් වේවා එහෙනම් ’’මහින්ද කීය. සුමිත්ගේ කාල වර්ණ හැඩි දැඩි රූපකාය හේතුවෙන්දෝ මහින්ද විසින් මෑතක සිට සුමිත් අමතනු ලබන්නේ මහා කඵ සිංහලයා යන නමිනි. තමන්ගේ උපන්දිනය අමතක නොකළ මහින්දට සුමිත් විසින් නොසෑහෙන තරමේ ස්තූතියක් කළේය. ටික වේලාවක් ගෙවෙද්දී සුමිත් බලාපොරොත්තුවෙන් සිටි දෙවැනි ඇමැතුම ලැබුණේ මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගෙනි. සුමිත්ගේ දේශපාලන ගුරුවරයා වන ජොන්ස්ටන් සිය ගෝලයාට උණුසුම් ලෙස සුබ පතා තවත් අයෙකුට දුරකථනය මාරුකළේය. එහා පැත්තේ සිට සුමිත්ට එවර සුබ පැතුවේ මන්ත‍්‍රී නාමල් රාජපක්ෂය. දුරකථනය තබන්නට පෙර සුමිත්ට ආරාධනාවක් කරන්නටද ජොන්ස්ටන් වගබලාගත්තේය. ‘‘සුමිත් , එහෙනම් ඔයා ගෙදර අයත් එක්ක රෑ කෑමට එන්න අපේ ගෙදරට. ’’ජොන්ස්ටන් කීය. ‘‘මම සර් කියන දේකට කවදාවත් බැහැ කියන්නේ නැහැ. නමුත් අද හවසට එදා ඉදලම මාත් ඉන්න මගේ යාලුවෝ ටික දෙනාට පොඩි පාටියක් ලෑස්ති කරලා තියෙනවා . ඒ නිසා සර්ට පුලුවන් නම් හවසට අපේ ගෙදර ඇවිත් යන්න. ’’සුමිත් පෙරළා ජොන්ස්ටන්ට ආරාධනය කළේය. ‘‘බලමුකෝ. ’’යැයි කී ජොන්ස්ටන් දුරකථනය විසන්ධි කළේය. කෙසේවෙතත් සුමිත්ගේ ආරාධනාව ඉවත නොදැමූ ජොන්ස්ටන් එදින ඇදිරිවැටීගෙන එද්දී මැල්සිරිපුර පිහිටි සුමිත්ගේ නිවසට ගොඩවිය. සුමිත්ගේ හිත මිතුරු ව්‍යාපාරිකයින් සහ සමීපතමයින් කිහිපදෙනෙකුට පමණක් සීමා වී තිබූ සුමිත්ගේ උපන්දින සාදය ඇරඹුණේ ජොන්ස්ටන්ගේ අතින් සුමිත්ට කේක් කෑල්ලක් කැවීමෙන් පසුවය. එතැනින් ඇරඹුණු සාදය ඉදිරියට ඇදීගෙන යද්දී සාදයේ සිටි පිරිස ජොන්ස්ටන් සමග දේශපාලන කතාබහකට මාරුවුණේ නිරාසායසයෙනි. වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබදව දැඩි විවේචනයක් ඉදිරිපත් කළ ජොන්ස්ටන් මහින්ද රාජපක්ෂ රජය යටතේ රටේ පැවැති තත්වය පිළිබදවත් සංසන්දයක යෙදුණේය. වත්මන් ආණ්ඩුව පෙරළන බවට හිටපු ජනපති මහින්ද විසින් කර තිබූ ප‍්‍රකාශය උදාහරණ සහිතවම විග‍්‍රහ කළ ජොන්ස්ටන් ආණ්ඩුවෙන් අද හෙට ඉවත්වීමට යන ශ‍්‍රීලනිප ඇමැතිවරුන් පිරිසක් පිළිබදවත් ඉගි කළේය. මේ සියලු කතාබස් අවසානයේදී ජොන්ස්ටන් විසින් කළ එක් හෙළිදරව්වක් සුමිත්ගේ උපන්දින සාදය තරමක් රත්කරන්නටද සමත් විය. ජොන්ස්ටන් විසින් එහිදී කීවේ ආණ්ඩු පෙරළියක් සදහා සහය ලබාගනු පිණිස එජාප මන්ත‍්‍රීවරුන් විසිදෙනෙකු සමග මේ වන විට ඒකාබද්ධ විපක්ෂය විසින් සාකච්ඡා ආරම්භ කර ඇති බවකි. එවැනි දේශපාලන රහස් මැද ගලා ගිය සුමිත්ගේ උපන්දින සාදය මධ්‍යම රාත‍්‍රිය එළැඹෙද්දී අවසන් විය. ජොන්ස්ටන් කියූ පරිදි ඒකාබද්ධ විපක්ෂයේ එජාප මන්ත‍්‍රී දඩයමේ ඇත්ත නැත්ත සහසුද්දෙන්ම දැනගැනීමට නම් තවත් කෙටි කාලයක් ඉවසා සිටින්නට මෙරට ජනතාවට සිදුවනු ඇත.

ගනපූර්ණය පුරවන්න මහ ඇමැති මන්ත‍්‍රීවරු අහුලයි.

හත් දා බලි ඇරියත් සුව කිරීමට බැරි ලෙඩත් තියෙන බවට පැරන්නන්ගේ කතාවක් තිබේ. කාලය කළමණාකරණය කරගැනීම සම්බන්ධයෙන් වයඹ පළාත් සභාවට වැළදී ඇත්තේද හත් දවසක් බලි ඇරියත් සුව කළ නොහැකි පන්නයේ රෝගයක් බව පෙනෙයි. මක්නිසාදයත්, පළාත් සභාවේ විවාද සදහා වෙන්කරන වේලාව නිසි පරිදි කළමණාකරනය කර නොගැනීම පිළිබදව සභාපති ටිකිරි බණ්ඩා වෙත දෝස්මුරයක්ද එල්ල කරමින් මහ ඇමැති ධර්මසිරි විසින් පසුගිය පළාත් සභා රැස්වීමේදී දැක් වූ විරෝධය පවා පළදරා නැති බවක් පසුගිය අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමෙනුත් පැහැදිලි විය. සභාවේ ගනපූර්ණය නොමැතිවීම හේතුවෙන් එදින පළාත් සභා රැස්වීම ආරම්භ කිරීමට සිදුවූයේ විනාඩි තිස් පහක ප‍්‍රමාදයකින් පසුවය. පෙරවරු 10 වනවිටත් සභාගැබෙහි අසුන්ගෙන සිටියේ මන්ත‍්‍රීවරු 16 දෙනෙක් පමණි. සභාව ආරම්භ කිරීමට ප‍්‍රමාදවීම හේතුවෙන් මහ ඇමැති ධර්මසිරි තරමක කේන්තියෙන් සිටි බවක් පෙණිනි. සිය ජංගම දුරකථනය අතට ගත් ධර්මසිරි මන්ත‍්‍රීවරුන් ඇහිලීම ආරම්භ කළේය. ධර්මසිරිගේ පළමු ඇමැතුම යොමුවුණේ ඒ වනවිටත් සභාවට පැමිණ නොසිටි ඇමැති ලක්ෂ්මන් වේඩරුවට කතාකළේ උස් ස්වරයෙනි. ‘‘ඇමැතිතුමා, අද පළාත් සභාවට එන්න කල්පනාවක් නැද්ද ? කොහේද ඉන්නේ ? ආණ්ඩුකාර කාර්යාලේ. ඔතැන මොනවද කරන්නේ ? අපි මෙහේ ගණපූර්ණේ නැතිව බලාගෙන ඉන්නවා. ඔයා ආණ්ඩුකාර කාර්යාලෙට රිංගගෙන ඉන්නවා. ’’යැයි උස් ස්වරයෙන් කී ධර්මසිරි ඇමැතුම විසන්ධි කළේය. අනතුරුව ධර්මසිරි තවත් ඇමැතුමක් ගැනීම සදහා දුරකථන නාමාවලියෙන් නොම්මරයක් සොයමින් සිටියදී ඇමැති සුමල් තිසේරා සභාවට ඇතුලු විය. ‘‘වෙලාවට ආවේ. නැත්නම් මම මේ කෝල් එකක් ගන්නයි හැදුවේ. ’’ධර්මසිරි කියද්දී ඊට සිනහවකින් සංග‍්‍රහ කළ සුමල් සිය අසුනට ගොස් වාඩිගත්තේය. ගනපූර්ණය සපිරෙන තෙක් බලා සිටින අතරේ මන්ත‍්‍රීවරුන්ගේ අඩුව පිළිබදව විමසීමට සභාපති ටිකිරි බණ්ඩා ‘‘සභානායකතුමා’’යැයි කියමින් සභානායක චින්තක මායාදුන්නේ ආමන්ත‍්‍රණය කළ නමුත් ඊට පෙරළා ප‍්‍රතිචාර නොලැබුණේ චින්තකත් ඒ වනවිට සභාවට පැමිණ නොසිටීම හේතුවෙනි. ‘‘සභානායකතුමාත් නැහැ.’’යැයි කියමින් සභාවේ සිටි මන්ත‍්‍රීවරුන් සිනාසෙන්නට වූහ. මන්ත‍්‍රීවරුන්ගේ මගබැලීම හමාර කරමින් නියෝජ්‍ය සභාපති සෝමසිරි ගුණතිලක සහ සභානායක චින්තක මායාදුන්න පෙරවරු 10.05 පමණ සභාගැබට පිවිසියේ එකටමය. ඔවුන් දෙදෙනාගේ පැමිණීමත් සමග ගනපූර්ණය සම්පූර්ණ වී ගිය අතර ඒ වන විට සභාගැබෙහි අසුන්ගෙන සිටි පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සෝමසිරි සහ චින්තක දෙදෙනා පිළිගත්තේ ඔවුන් වෙත අත්පොළසන් හඩක්ද දෙමිනි. සෝමසිරි සහ චින්තක දෙපළ වෙත ලැබුණේ සැබෑ අත්පොළසන් හඩක්ද එසේත් නැතිනම් නැත්නම් හින්ට් එක්ක මුවාවෙන් වැදුණු අත්පොළසනක්දැයි දන්නේ අත්පොළසන් දුන් මන්ත‍්‍රීවරුන්ම පමණි. සෝමසිරි සහ චින්තක දෙදෙනා අසුන්ගන්නවාත් සමග එතෙක් වේලා පමාවෙමින් තිබූ සභාවේ වැඩකටයුතු ආරම්භ වූ අතර ගනපූර්ණය සපිරෙන තෙක් බලා සිටි විනාඩි හතළිස් තිස් පහක කාලය තුළ සභාගැබ සිසාරා ගිය පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ රසකතාවලින් කිහිපයකි, පහත දැක්වෙන්නේ.

ජොහාන් පස්සට විසිවෙයි.

ඉකුත් පළාත් සභා රැස්වීමේදී ආණ්ඩු පක්ෂ සංවිධායක තනතුරින් ඉවත්කෙරුණු මන්ත‍්‍රී ජොහාන් ප‍්‍රනාන්දු කලෙකට පසුව පළාත් සභා රැස්වීමට පා තැබුවේ ගණපූර්ණය සපිරෙන තෙක් මන්ත‍්‍රීවරුන් කල්බලමින් සිටින අතරවාරයේදීය. ආණ්ඩු පක්ෂය පැත්තේ දොරෙන් සභාවට ඇතුලූ වූ ජොහාන් දෙසට ඒ වන විට සභාවේ අසුන්ගෙන සිටි පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ හිස් සියල්ලම හැරවුණේ එක්වරමය.ඒ පිළිබදව වැඩි තැකීමක් නොකළ ජොහාන් තමා ඉදිරියට හමුවන මන්ත‍්‍රීවරුන් වෙත නව වසර වෙනුවෙන් සුබ පතමින් සභා සේවකයෙකු විසින් පෙන් වූ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක වාඩිවිය. ඉන් අනතුරුව ජොහාන් සිය අසුනේ සිටම තමන්ට පේළි දෙකක් ඉදිරියෙන් වූ ආණ්ඩු පක්ෂ සංවිධායකවරයාගේ අසුනෙහි සිටි බණ්ඩාර රාජපක්ෂ ඇමැතීය. ‘‘අලුත් සංවිධායකතුමා. මගේ සුබ පැතුම් ආ… ’’ජොහාන් සිනා පිරුණු මුහුණින් බණ්ඩාර රාජපක්ෂ වෙත සුබ පැතුවේය. ජොහාන්ගේ අනපේක්ෂිත පැමිණීමෙන් මෙන්ම සුබ පැතීමෙන්ද මදක් සලිතව ගිය බවක් පෙණුනු බණ්ඩාර රාජපක්ෂ ජොහාන්ට පෙරළා ප‍්‍රතිචාර දැක්වූයේ වචනයෙන් නොවේ. හස්ත මුද්‍රාවෙනි. ජොහාන් අසුන්ගෙන සිටි තැනට පැමිණි සමන්ප‍්‍රිය හේරත්, පාලිත රෝහණ, ‍ට්‍රෙවින් ප‍්‍රනාන්දු, චින්තක මායාදුන්නේ ඇතුලූ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් ජොහාන් වටකරගෙන ඔහුගේ සුවදුක් විමසන්නට වූහ. කලෙකට පසුව සභාවට පැමිණි නමුත් ජොහාන් සභාවේ රැදී සිටි කාලය පැයකුත් විනාඩි කිහිපයකට සීමාකරමින් පෙරවරු 11 ට පමණ තේ විවේකය සදහා සභාව කල් තැබිණි. තේ විවේකය අවසන්වීමෙන් පසුව පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් හැමදෙනෙකුම පාහේ නැවත සභාවට පැමිණ අසුන්ගෙන සිටි නමුත් මන්ත‍්‍රී ජොහාන්ගේ මුහුණ නම් ඒ අතරේ නොවීය.

ආණ්ඩුවේ උත්සවයට ඇමැති සන්ධ්‍යට ලැබුණු අමුතු ආරාධනාව .

ගනපූර්ණය සපිරෙන තෙක් බලා සිටින අතරේ මහ ඇමැති ධර්මසිරි, ඇමැති සන්ධ්‍ය, විපක්ෂනායක ශමල්, විපක්ෂ සංවිධායක චිත‍්‍රාල්, මන්ත‍්‍රී ට්‍රෙවින් ඇතුලූ පිරිසක් අතරේ සරු කතාබහක් ඇතිවී තිබිණි. දේශපාලන කතා, රසකතා, උපහාස කතා පිරි මෙම කතාබහ ඉදිරියට ඇදෙද්දී ඇමැති සන්ධ්‍ය විසින් ඔහු වෙත ලැබී තිබූ ආරාධනා පත‍්‍රයක් ඉහළට ඔසවා ප‍්‍රදර්ශණය කළේය. ‘‘ මෙන්න බලාගන්න වෙස්ටන් ඔටෝ මොබයිල් එකේ ඕපනින් සෙරමනි එකට මට එවලා තිබුණා ඉන්විටේෂන් එක. ගරු ලක්ෂ්මන් වේඩරුව මැතිතුමා, වයඹ පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සභා කටයුතු අමාත්‍ය, සම්බුද්ධාලෝක මාවත, ලුණුවිල, වෙන්නප්පුව. ඔන්න ඔහොම තමයි ඉන්විටේෂන් එක එවලා තිබුණේ. ඇමැතිකම ලක්ෂ්මන්ගේ. ඇඩ‍්‍රස් එක මගේ. උඩ එකක්, යට තව එකක්. ’’ඇමැති සන්ධ්‍ය කියද්දී අවට පිරිස සිනාසෙන්නට වූහ. ‘‘ එක අතකට ඉතිං මේකේ පුදුම වෙන්න දේකුත් නැහැ. වොක්ස් වැගන් එකේ නම වෙස්ටර්න් ඔටෝ මොබයිල් කියලා මාරු වෙච්චි එකේ මගේ ඇමැතිකම මාරුවෙච්ච එකත් අහන්නත් දෙයක්ද ? ’’පිරිස නැවත සිනාගන්වමින් සන්ධ්‍ය යළි කීවේය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2017 ජනවාරි 20 වැනි සිකුරාදා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article