Friday, April 26, 2024

වයඹ ආණ්ඩුකාරවරියට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් විශ්වාසභංගයක් !

Must read

nwp_govener_caseවයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් වැඩිදෙනෙකුගේ අස්සන් සහිතව කෙටුම්පත් කරන ලද විශ්වාසභංග යෝජනාවක් වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා වෙත ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී පිරිසක් විසින් පෙරේදා  (21 දා ) භාරදෙනු ලැබූහ.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට සුදුස්සෙකු බදවාගැනීම සදහා රේඛීය අමාත්‍යංශය විසින් අනුගමනය කිරීමට යන ක‍්‍රියාදාමය අනුමත කරමින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් සදහා ආණ්ඩුකාරවරිය විසින් නියෝජිතයින් නම් කර යවා ඇතැයි කියන සිදුවීමක් ආණ්ඩුකාර අමරා පියසීලී මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට මුල් වී තිබේ. පෙරේදා පැවැති වයඹ පළාත් සභා රැස්වීම අවසන්වීමෙන් පසුව පළාත් සභාවේ සභාපති නිල කාමරයට ගිය ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී පිරිසක් විසින් ඉදිරි පළාත් සභා රැස්වීමේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරන ලෙසට ඉල්ලමින් සභාපති ටිකිරි බණ්ඩා වෙත අදාළ විශ්වාසභංග යෝජනාව භාරදුන් බව ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී සුමිත් රාජපක්ෂ මහතා පැවැසීය.

පළාත් ආණ්ඩුකාරවරයෙකු ධූරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති විධිවිධානවලට අනුව එහි 154 (ආ) 4 (අ) වැනි වගන්තියේ 2 වැනි අවස්ථාව ලෙස දක්වා ඇති ” ආණ්ඩුකාරවරයා ස්වකීය ධූරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චිකිරීම හා සම්බන්ධ විෂමාචාරය හෝ දූෂණය හා සමබන්ධ වරද සිදුකර තිබීම.”යටතේ ආණ්ඩුකාර අමරා පියසීලී මහත්මියට එරෙහිව දෝෂාභියෝග යෝජනාව කෙටුම්පත්කර ඇති බව වෙත  වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි. ආණ්ඩුකාර අමරා පියසීලී මහත්මියට එරෙහිව සභාපතිවරයා වෙත භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් තිස්දෙනෙකුට වැඩි පිරිසක් අස්සන් තබා ඇති බවද වයඹ ටුඩේ වෙත වැඩිදුරටත් වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 (ආ) 4 (අ)වැනි වගන්තියට අනුව, යම් පළාත් සභාවක ආණ්ඩුකාරවරයෙකුට එරෙහිව ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග චෝදනාවක් , එම පළාත් සභාවේ මන්ත‍්‍රී සංයුතියෙන් මන්ත‍්‍රීවරුන් දෙකෙන් එකකගේ ( 1/2 ) අත්සන් සහිතව සභා න්‍යාය පත‍්‍රයට ඇතුළත්කරන ලෙස ඉල්ලමින් එහි සභාපතිවරයාට භාරදිය හැකිය. එසේම එමදෝෂාභියෝග යෝජනාව සම්මත කිරීම සදහා , නොපැමිණි මන්ත‍්‍රීවරුන්ද සහිතව , අදාළ පළාත් සභාවේ මන්ත‍්‍රී සංයුතියෙන් තුනෙන් දෙකකගේ (2/3) බහුතර අනුමැතියකින් සම්මත විය යුතු බවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 (ආ) 4 වැනි වගන්තියෙහි (ආ) කොටසින් වැඩිදුරටත් දැක්වෙයි.

වයඹ පළාත් සභාවේ තුනෙන් දෙකක බලයක් සහිත බහුතර බලයක් එහි වත්මන් ආණ්ඩු පක්ෂය ලෙස කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වී තිබේ. වත්මන් වයඹ පළාත් සභාවේ සංයුතිය පවතින්නේ ආණ්ඩු පක්ෂයට මන්ත‍්‍රීධූර 34 ක් සහ විපක්ෂයට මන්ත‍්‍රීධූර 17 ක් වශයෙනි. වයඹ පළාත් සභාව , සභාපතිවරයා හැර මන්ත‍්‍රීවරුන්ගෙන් 51 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි තුනෙන් දෙකේ බලයකින් යම් යෝජනාවක් සම්මත කිරීම සදහා අවශ්‍යවන්නේ මන්ත‍්‍රීවරුන් 34 දෙනෙකුගේ ඡන්ද පමණකි. වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් සභාපති ටිකිරි බණ්ඩා වෙත භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව මාර්තු මස 07 වැනිදා පැවැත්වෙන මීළග වයඹ පළාත් සභා රැස්වීමේ න්‍යාය පත‍්‍රයට ඇතුළත්කිරීමට නියමිතව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article