Friday, April 26, 2024

අමරා පියසීලි පුටුවෙන් බස්සවන්න මහින්ද – මෛත‍්‍රී දෙපිලම වයඹදී එක්වෙති.

Must read

ayg_2017_3_3alg_july_7_4විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 36 ක් ?

ගෙවුණු සතියේදී වයඹ පළාත් සභාව පැත්තෙන් වැඩි සද්ද බද්ද නැගුණේ නැති නමුත් ආණ්ඩුකාර අමරා පියසීලීට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් ගෙනඒමට යන විශ්වාසභංග යෝජනාවට අදාළ වැඩකටයුතු නම් සීරුවට සිදුවෙමින් තිබිණි. මීට දෙවසරකට පෙරදී ආණ්ඩුකාරවරියට එරෙහිව ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝග යෝජනාව මෙන් නොව මෙවර ඉදිරිපත්කිරීමට යන විශ්වාසභංගය පිළිබදව ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් වැඩිදෙනෙකු බලාපොරොත්තු දල්වා සිටින බවක් පෙනෙයි. පළාත් සභාව පැත්තෙන් දැන් ලැබෙන ආරංචිවලින් පෙනෙන්නේ ආණ්ඩු පක්ෂය තුළ පවතින මහින්ද – මෛත‍්‍රී පිල් බෙදිල්ල පවා පසෙක දමා ආණ්ඩුකාර පියසීලිට එරෙහිව සන්ධාන මන්ත‍්‍රීවරුන් එකමුතුව කදවුරු බැදගෙන ඇති බවකි. මහින්ද පාර්ශ්වය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ගේ උනන්දුව සහ උත්සාහය මත විශ්වාසභංග යෝජනාව කරළියට ආ නමුත් ඊට මෛත‍්‍රී පිල නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ද සහය දැක්වීමට ඉදිරිපත් වී සිටිති. පසුගිය වතාවේදී දෝෂාභියෝග ලියැවිල්ල කෙටුම්පත් කිරීමේ වගකීම ඉටුකළ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී පියුමාල් හේරත් විසින් මෙවර එම වගකීම දැරීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනෙකුත් ‘නීතිඥ’මන්ත‍්‍රීවරුන්ගේ සහය පතන්නට සිදුවී තිබිණි. ඒ අනුව විශ්වාසභංග යෝජනාව කෙටුම්පත්කිරීමේ වගකීම මෙවර පැවරී තිබුණේ අතුල විජේසිංහ, චන්දන යාපා සහ සුමිත් රාජපක්ෂ වෙතය. අතුල සහ චන්දන මෙන් නීතිඥයෙකු නොවන නමුත් පළාත් සභා අණපනත් , නීති රීති සහ සම්ප‍්‍රදායන් ගැන මන්ත‍්‍රී සුමිත්ට ඇති පුඵල් දැනුම හේතුවෙන් ඔහු විශ්වාසභංගය කෙටුම්පත්කිරීමේ කමිටුවට ඇතුළත් වූ බව කියැවෙයි. විශ්වාසභංගයේ ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කිරීම සදහා පසුගිය සදුදා පස්වරුවේ ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පිහිටි රැස්වීම් කාමරයේදී ආණ්ඩු පක්ෂයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක්ද කැදවා තිබිණි. විශ්වාසභංගය වෙනුවෙන් ඡන්ද 36 ක් ලැබෙන බවට එහිදී ගණන් හිලව් හැදිණි. විශ්වාසභංගය ඉදිරිපත් කිරීමේ සිට එය සම්මත කරගැනීම දක්වා වූ වගකීම් ඒ ඒ මන්ත‍්‍රීවරුන් වෙත පවරාදීම විශේෂ කණ්ඩායම් රැස්වීමේදී සිදු වූ වැදගත්ම කාර්යය විය. ඒ අනුව ආණ්ඩුකාර පියසීලිට එරෙහි විශ්වාසභංගය හදිසි සහ අත්‍යවශ්‍ය යෝජනාවක් වශයෙන් මාර්තු 07 වැනිදා පැවැත්වෙන පළාත් සභා රැස්වීමට ඉදිරිපත් කිරීමට තීන්දු කරමින් විශේෂ කණ්ඩායම් රැස්වීම අවසන් විය.

අතේ තියෙන දේ කටේ දාගන්න ආණ්ඩු පක්ෂයට පින තියෙයිද ?

ආණ්ඩුකාර අමරා පියසීලීට එරෙහිව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාව වයඹ පළාත් සභාව තුළ තුනෙන් දෙකේ බලයකින් සම්මත කරගැනීම සදහා මන්ත‍්‍රීවරුන් 34 දෙනෙකුගේ ඡන්ද අවශ්‍ය වෙයි. නමුත් ආණ්ඩු පක්ෂය විසින් දැන් ගණන් තබාගෙන සිටින ගණන් හිලව් අනුව දෝෂාභියෝගයට පක්ෂව මන්ත‍්‍රීවරුන් 36 දෙනෙකුගේ ඡන්ද ලැබීමට නියමිතය. ඒ සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 33 දෙනා, මුස්ලිම් කොංග‍්‍රසය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් දෙදෙනා සහ පළාත් සභාව තුළ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව කියන අශෝක වඩිගමංගාවගේ ඡන්දයත් සමගිනි. ආණ්ඩු පක්ෂයේ බහුතරයක් නියෝජනය කරනු ලබන මහින්ද පිලේ සාමාජිකයින්ට අමතරව මෛත‍්‍රී පිලේ සාමාජිකයින් බව කියන මහ ඇමැති ධර්මසිරි, ඇමැති ලක්ෂ්මන් වේඩරුව, මන්ත‍්‍රීවරුන් වන අතුල විජේසිංහ, ඉන්ද්‍රානි දසනායක, නිලන්ත රාජපක්ෂ, කමල් ඉන්දික, අශෝක පේ‍්‍රමදාස, රෝහණ බස්නායක ඇතුලු පිරිසද විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට නියමිත බව වාර්තා වෙයි. ඇමැති රවුෆ් හකීම් වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ සාමාජියෙකු වුවත් වයඹ මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රීවරුන් දෙපළ විශ්වාසභංගයට සහය ලබාදෙන බව කියන්නේ, මුස්ලිම් කොංග‍්‍රසය විසින් ජාතික දේශපාලනය තුළ ඇතිකරගන්නා එකගත්වයන් පළාත් සභාව තුළට වලංගු නොවේය යන පදනමෙහි පිහිටා සිට බව පැවසේ. සන්ධාන ලැයිස්තුවෙන් පළාත් සභාවට පිවිස, ඉකුත් මහ මැතිවරණයේදී එජාපයෙන් තරග කර, අනතුරුව පළාත් සභාව තුළ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු බවට පත්වන්නේ යැයි ප‍්‍රකාශ කර, ටික කලෙකට පසුව ජනපති මෛත‍්‍රීගේ ගුණ ගයමින් පසුගිය සමයේදී පෙරළි ගණනාවක් කළ මන්ත‍්‍රී අශෝක වඩිගමංගාවද දෝෂාභියෝග යෝජනාවට අත්සන යොදා ඇත්තේ ඒ වෙනුවෙන් තම පූර්ණ සහය ලබාදෙන බවට සහතික කරමිනි. මෙවැනි තත්වයක් මත විශ්වාසභංගය වෙනුවෙන් නියත වශයෙන්ම ඡන්ද තිස් හයක් ලැබෙනු ඇති බවටත්, ඒ අනුව විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් සම්මත කරගැනීමට හැකිවනු ඇති බවටත් එහි ප‍්‍රධාන මෙහෙයුම්කරුවන් වන මන්ත‍්‍රී සුමිත් රාජපක්ෂ ඇතුලු පිරිස මේ වනවිට පසුවන්නේ දැඩි විශ්වාසයකිනි.

ආණ්ඩු පක්ෂය විසින් එවැනි ඉහළ තක්සේරුවක් තබාගෙන සිටින නමුත් ඒ පිළිබද මැදිහත් විමසීමක් කළහොත් වැටහෙන්නේ විශ්වාසභංගය සම්මත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයට දැලි පිහියෙන් කිරි කෑමේ අසීරු ව්‍යායාමයක යෙදෙන්නට සිදුවන බවකි. පළාත් සභාව තුළ තවත් සංවාදයකට මග පාදමින් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමෙන් වැළැකී සිටීමට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී පියුමාල් හේරත් විසින් මේ වනවිට තීරණය කර ඇති බව පැවසේ. පියුමාල්ගේ එම තීරණයත් සමග ආණ්ඩු පක්ෂයේ ඡන්ද ගණනද 35 දක්වා පහළ බැසීම වැළැක්විය නොහැක. එමෙන්ම මීට දෙමසකට පමණ ඉහතදී ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින්ම තනතුරින් පහකරනු ලැබූ මන්ත‍්‍රී ජොහාන් ප‍්‍රනාන්දු විශ්වාසභංගය සම්බන්ධයෙන් පැවැති කිසිදු සාකච්ඡාවකට සහභාගි වී නොමැති බවද වාර්තාවෙයි. විශ්වාසභංගය වෙනුවෙන් අත් ඔසවන බව කියන ජොහාන්, වඩිගමංගාව වැනි මන්ත‍්‍රීවරුන්ගේ පළාත් සභා රැස්වීම්වලට සහභාගිවීමේ ප‍්‍රගතිය සලකා බැලුවහොත් එය ඉතාම අඩු අගයක පවතින බැවින් එවැනි මන්ත‍්‍රීවරුන් සභාවට ගෙන්වාගැනීමේ අමතර වගකීමක්ද ආණ්ඩු පක්ෂය වෙත පැවරෙනු ඇත. එබැවින් අතේ ඇති දේ කටට දමාගැනීම ආණ්ඩු පක්ෂය විසින් සිතා සිටින තරමේ පහසු කාරියක් නොවන බව පැහැදිලිය. විශ්වාසභංගය සම්මත කිරීමට නම් මන්ත‍්‍රීවරුන් 34 දෙනෙකුගේ ඡන්ද නියත වශයෙන්ම පළාත් සභාව තුළදී ප‍්‍රකාශ විය යුතුය. යම් හෙයකින් ඒ වෙනුවෙන් පළාත් සභාව තුළදී එසවෙන්නේ මන්ත‍්‍රීවරුන්ගේ 33 දෙනෙකුගේ අත් පමණක් නම් එක් ඡන්දයක් හේතුවෙන් සමස්ත විශ්වාසභංග යෝජනාවම විසි වී යනු ඇත. රාජ්‍ය බලය පවා සන්ධානයට අහිමි වී ගිය අවස්ථාවක ආණ්ඩුකාර පියසීලිට එරෙහිව ඡන්ද තිස් හතරක් ලබාගැනීම යනු ආණ්ඩු පක්ෂයට සුවිසල් අභියෝගයක් වන්නේ එහෙයිනි. මන්ත‍්‍රීවරුන් 35 දෙනෙකු අතරින් ඔලුගෙඩියක් හෝ දෙකක් පමණක් එහා කිරීමෙන් සමස්ත විශ්වාසභංග ක‍්‍රියාදාමයම කණපිට පෙරළීමට තිබෙන වැඩි ඉඩකඩ හේතුවෙන් විශ්වාසභංගය සම්මතවීම හෝ නොවීම අතර ඇත්තේ කෙස් ගසක වෙනසක් පමණක් බව පැහැදිලිය. එබැවින් මාර්තු 07 වැනිදාට උදාවන අතිශය තීරණාත්මක දිනයේදී අසනීපවීම්, විදේශගතවීම්, අතුරුදන්වීම්, ආපදා, විපත් පමණක් නොව පළාත් සභාවට එන අතරමගදී වාහනයේ හුළං බැසීම් වැනි අකරතැබ්බයන් පවා මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් සිදුවිය නොහැකි දෑ නොවේ. මෙවැනි සිදුවීම් ලාංකීය දේශපාලනයට ආගන්තුක නොවන්නේ මෙරට ඉතිහාසය පිරික්සා බැලීමෙන් එවැනි උදාහරණ දුසිම් ගණනින් වුවද සොයාගත හැකි වන බැවිනි. එබැවින් වැඩි ඡන්දයෙන් විශ්වාසභංගය සම්මත කරගැනීම කෙසේවෙතත් ඡන්ද 34 කඩඉම පසුකරගැනීම පිණිස ගල උඩ කෙරෙන තියුණු සටනක යෙදීමට වයඹ ආණ්ඩු පක්ෂයට සිදුවනු නියතය.

ආණ්ඩුකාර පියසීලි නීතිය සොයයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ගජරාමෙට දෝෂාභියෝගයට සූදනම් වෙමින් සිටියදී ආණ්ඩුකාර පියසීලි නම් ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන බව පෙනෙන්නේ නිහඩ පිළිවෙතකි. පෙර ඉදිරිපත් වූ දෝෂාභියෝගයේදී ආණ්ඩුකාරවරිය විසින් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් පුද්ගලිකව අමතමින් තම පාර්ශ්වයෙන් කරුණු පැහැදිලි කරන්නට පවා එකල කටයුතු කළ නමුත් මෙවර නම් ආණ්ඩුකාරවරිය විසින් එවැනි ක‍්‍රියාමාර්ගයකට යන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ආණ්ඩුකාරවරිය විසින් මේ දිනවල වැඩි අවධානයක් යොමුකර ඇත්තේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු බදවාගැනීමේ අරමුණින්, රේඛීය අමාත්‍යංශය විසින් පත්කිරීමට නියමිත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට නියෝජිතයින් නම් කර යැවීමට තමන් ගත් තීන්දුවෙහි නීත්‍යානුකූලභාවය තහවුරු කරගැනීම පිණිසය. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයේ පත්කිරීමක් සදහා රේඛීය අමාත්‍යංශය මැදිහත් වූ පළමු අවස්ථාව මෙය නොවන බවත්, මින් පෙර අවස්ථාවකදී සබරගමුව පළාත් සභාව තුළ සිදු වූ එවැනි පත්කිරීමක් සදහා රේඛීය අමාත්‍යංශය මැදිහත් වී ඇති බවටත් ආණ්ඩුකාර පියසීලිගේ පාර්ශ්වය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව අඵ යට ගිනි වෙත වාර්තා වෙයි. එම පත්වීම් ක‍්‍රමවේදය තවදුරටත් බලාත්මක කරවමින් අධිකරණය විසින් ඊට අදාළව අධිකරණ තීන්දුවක් ලබා දී ඇති බවද ඔවුන් විසින් අනාවරණය කරගෙන ඇතැයිද වැඩිදුරටත් වාර්තා වෙයි. ආණ්ඩුකාර පියසීලිගේ පාර්ශ්වය විසින් මේ වනවිට උත්සාහ කරමින් සිටින්නේ එම තොරතුරුවල නීත්‍යානුකුලභාවය සනාථ කරගැනීම පිණිසය. එබැවින් ඉකුත් සතියේදී නීතිපතිවරයා ලිඛිතව ඇමැතූ ආණ්ඩුකාර පියසීලි අදාළ පත්කිරීමේ ක‍්‍රමවේදය සහ පූර්ව උදාහරණ පිළිබද පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට කටයුතු කළාය. ඒ හරහා තමන් ක‍්‍රියාකර ඇත්තේ රටේ පවත්නා නීතිය අනුව වන බැවින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බවට චෝදනා නගමින් ආණ්ඩු පක්ෂය විසින් ගෙනඒමට යන විශ්වාසභංගය ලත්තැනම ලොප්කර දැමීම ආණ්ඩුකාරවරියගේ ඉලක්කය වී ඇති බවද කියැවෙයි.

මේ සියලු කරුණු සලකා බලන විට ලබන අගහරුවාදාට වයඹ පළාත් සභාවට හිරු පායන්නේ අතිශය තීරණාත්මක දිනයක්ද සමග බව පැහැදිලිය. රටේ පාලන බලය හිමි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ආණ්ඩුකාරවරියක විශ්වාසභංගයක් මගින් ධුරයෙන් පහකළ හැකි නම් එය මෙවැනි අවස්ථාවකදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට, විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පිලට අගනා උත්තේජනයක් සපයනු ඇත. අනෙක් අතින් බැලුවහොත් මහින්ද පිළට එවැනි උත්තේජනයක් ලැබෙන්නට ඉඩහැර එජාප මැති ඇමැතිවරු පිරිසත් කරබාගෙන සිටිනු ඇතැයිද සිතිය නොහැක. එබැවින් තවත් තෙදිනකින් පසුව උදාවන්නේ වයඹ පළාතට මෙන්ම ජාතික දේශපාලනය සම්බන්ධයෙනුත් අතිශය තීරණාත්මක දිනයක් බව සක්සුදක් සේ පැහැදිලිය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2017 මාර්තු 03 වැනි සිකුරාදා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article