Friday, April 26, 2024

‘‘අපට ගැටලුවක් ඇතිවීමට ඉඩනොතබන බව ප‍්‍රබල රාජ්‍ය නායකයින් සහතික වී සිටිනවා.“ ජනපති කුරුණෑගලදී කළ සම්පූර්ණ කතාව.

Must read

president_kurunegala_2017_03_29රණවිරුවන් සම්බන්ධයෙන් ඇතිවන කිසිදු ප‍්‍රශ්නයකදී ශ‍්‍රී ලංකාවට ගැටලු සහගත තත්වයක් ඇතිවීමට ඉඩනොතබන බවට ලොව ප‍්‍රබලම රාජ්‍ය නායකයින් ගණනාවක් විසින් තමා වෙත පෞද්ගලිකවම සහතික වී ඇති බවත්, මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක හමුදාවන්ට එල්ලවන චෝදනාවලදී කිසිදු රණවිරුවෙකු විත්තිකාරයෙකු බවට පත්කිරීමට තමන් සූදානම් නැති බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (29 දා ) කුරුණෑගලදී පැවසීය.

ජනාධිපතිවරයා මෙලෙස ප‍්‍රකාශ කළේ කුරුණෑගල විරු දරු පියස ආරක්ෂක සේවා විද්‍යාලයේ ඉදිකෙරුණු නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ සහ විරුසර කාඩ්පත ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගිවෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

‘‘මා ඉතාමත් සතුටුවෙනවා කුරුණෑගල නගරය මුල්කරගත් මේ සුන්දර පරිසරය තුළ අපේ රටේ ආරක්ෂක සේවාවන්හි යෙදී සිටින ඒ කාර්ය මණ්ඩලවල රණවිරුවන්ගේ දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන මේ ගෞරවනීය, වැදගත් පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සහ තවත් වැදගත් කාර්යයන් රාශියක් වෙනුවෙන් ඔබ සමග එක්වන්නට ලැබීම පිළිබදව. අධ්‍යාපන ඇමැතිතුමා එතුමාගේ කතාවේදී සදහන් කළා, මේ රටේ අධ්‍යාපනය සහ ඒ පිළිබදව අවශ්‍ය වෙනස්කම් ප‍්‍රතිසංස්කරණය කරමින් අපේ නව රජය විදිහට ගෙනියන වැඩපිළිවෙල පිළිබදව. රටක ජනතාවක් සදහා, ජාතියක අනාගතය සදහා කරන දීර්ඝකාලීන ආයෝජනයයි අධ්‍යාපනය කියලා කියන්නේ. ඒ දීර්ඝකාලීන ආයෝජනය ජාතියේ දරුවන් සදහා ප‍්‍රදානය කිරීමේදී, පූජා කිරීමේදී රාජ්‍යයක වගකීම සිය රාජ්‍යයේ අනාගත පැවැත්ම, ස්ථාවරත්වය සහ මුලු මහත් මානව සමාජය විශිෂ්ට ලෙස ජයගත හැකි පුරවැසියන් පිරිසක් බිහිකරන්නටයි දරුවන්ට අපි සැමවිටම අධ්‍යාපනය ලබාදෙන්නේ. ඒ නිසා මේ රටේ දරුවන්, ලෝකයේ බොහෝ රටවල්වල දරුවන් මෙන්ම පින්වන්ත වූ, භාග්‍යවන්ත වූ, වාසනාවන්ත වූ දරු පිරිසක් කියලා මා විශ්වාස කරනවා. දැනුම, ප‍්‍රඥාව, බුද්ධි වර්ධනය ඒ වගේම සමාජයට අවශ්‍ය, සමාජයේ විවිධ ක්ෂේත‍්‍රවල ඇතිවන විවිධාකාර ගැටුම්වලදී ඒවාට මුහුණදීමට අවශ්‍ය අත්දැකීම් යනාදී ඒ සියල්ල සමග පරිපූර්ණ මිනිසෙක් බිහිකිරීමේ කාර්යයේදී එහි මුල් ආරම්භකයා වන්නේ මේ පාසලයි. විශේෂයෙන්ම අපේ රට ගත්තොත් යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක, යුද්ධය පැවැති රටක් විදිහට අපේ රටේ ඒ සියලු අංශවල වැඩකරන කාර්ය මණ්ඩලවල රණවිරුවන් තිබෙන වැදගත් ස්ථානයක් තිබෙනවා. ඒ තමයි ඔවුන්ගේ විනය පිළිබද වැදගත් සහතිකය. හොද විනයක් ඇති හමුදාවක්, හොද විනයක් ඇති ආරක්ෂක අංශ කියන සහතිකය අපේ හමුදාවන්ට, ඒ ආරක්ෂක අංශවලට තිබෙනවා. අපේ පොලිසිය ගත්තත්, සමාජය තුළ සාමාන්‍ය සිවිල් ජනතාවත් එක්ක කටයුතු කරන විට ඇතිවන දැඩි මහජන සම්බන්ධතාවයේදී යම් යම් විවේචන තිබුනත් පොලිසිය ඉහළම කැපවීම කරමින්, යුද්ධය පැවැති කාලයේදී පොලිසියටත් කටයුතු කිරීමට සිදුවුණේ හමුදාවක් විදිහටයි. ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන පිරිස් ත‍්‍රිවිධ හමුදා, පොලිසිය වගේම සිය වගකීම් සහ යුතුකම් ජීවිත පරිත්‍යාගයෙන් ඉටුකරනු ලැබුවා. ඒ නිසා යුද්ධයක් පැවැති රටක් වගේම, ඒ යුද්ධය ජයග‍්‍රහණය කළ රටක් රාජ්‍යයක් විදිහට රජයට වගකීමක් තිබෙනවා රණවිරුවන් ශක්තිමත් කිරීම, ඔවුන්ගේ වරප‍්‍රසාද සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වගේම ඔවුන්ගේ දරු පවුල් සහ දරුවන් වෙනුවෙන් කළ හැකි, කළ යුතු මෙහෙයන් සහ වගකීම් මෙන්ම යුතුකම් ඉටුකිරීමට.

මා විශ්වාස කරන විදිහට මෙතැන ඉන්න දරුවෝ සියලුදෙනාම තමාගේ පියා හෝ මව ත‍්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හෝ සිවිල් ආරක්ෂක සේවයේ වැඩකරන පිරිස්. ඒ නිසා තමාගේ දෙමව්පියන්ට තිබෙන ඒ විනය, හික්මීම, ගෞරවය, පිළිගැනීම සැමවිටම මේ දරුවන්ටත් හුරුපුරුදු වෙමින්, මේ දරුවන් සමාජය තුළ වඩාත් ආදර්ශමත් දරු පිරිසක් බවට පත්වෙනවා දැකීම අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වන දෙයක්. විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩල ගැන කතාකරද්දී , විදුහල්පතිතුමා ගැන අපිට හුගක් සතුටුවෙන්න පුලුවන්. එතුමා තමයි මුල ඉදලම මේ පාසලේ පහුගිය අවුරුදු අටක්, නවයක කාලයක් තිස්සේ කටයුතු කරලා තියෙන්නේ. පාසලක දියුණුව පිළිබදව, පාසලක විභාග ප‍්‍රතිඵල පිළිබදව, පාසලක දරුවන්ගේ විනය සහ හික්මීම පිළිබදව, දරුවන්ගේ විශේෂයෙන් පෞර්ෂත්ව වර්ධනය, ඒ වගේම හැඩගැසීම පිළිබදව, ඒ අවශ්‍ය මූලික මගපෙන්වීම සහ නායකත්වයේ ප‍්‍රධානම නියමුවා තමයි විදුහල්පතිතුමා. රත්නායක මහත්මයා මේ ගෙවී ගිය කාලසීමාව තුළ එතුමාගේ ගුරු මණ්ඩලය එක්ක මේ දරුවන්ගේ ගුරු මෑණිවරුන් සහ පියවරුන් සමග ඉතාමත්ම විශිෂ්ට මෙහෙයක් ඉටුකර තිබෙනවා. ඒ ගැන විදුහල්පතිතුමා ඇතුලූ ආචාර්ය මණ්ඩලයට අපේ විශේෂ ස්තූතිය පිරිනමනවා.

රණවිරු දරුවන් සහ අධ්‍යාපනය පිළිබදව මම ඊට වඩා කතාකරන්න බලාපොරොත්තුවක් නැහැ. මම අද වචනයක්, දෙකක් කියන්නට ඕනෑ, අපේ ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානින් සහ ඒ කාර්ය මණ්ඩල, පසුගිය සති දෙක තුන තුළ මේ රටේ ජනමාධ්‍ය, මේ රටේ දේශපාලන ක්ෂේත‍්‍රය, මේ රටේ විවිධ විචාරකයින්, විවේචකයින්, ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් අවධානය යොමුකර තිබූ ප‍්‍රශ්නයක් තමයි පසුගිය දිනවල රැස් වූ ජිනීවා මානව හිමිකම් කොමිසම් සභාවේ කටයුතු පිළිබදව. ජිනීවා මානව හිමිකම් කොමිසම් සභාවේ 2015 සැප්තැම්බර් මාසේ වාර්තාව පිළිබදව මම ජනාධිපතිවරයා විදහටත්, ඒ වගේම ආරක්ෂක ඇමැතිවරයා විදිහටත්, ඒ වගේම මේ රටේ පුරවැසියෙක් විදිහටත්, රටට සහ ජාතියට ඇලූම් කරන, ආදරය කරන අවංක හදවතක් ඇති කෙනෙක් විදිහටත් මම 2015 වාර්තාව ගැන මගේ අදහස් ප‍්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම පහුගිය සතියේ මානව හිමිකම් කොමසාරිස්තුමාගේ අලූත් වාර්තාවත් එළිදැක්වුණා. ඒ පිළිබදව තමයි බොහෝ විවේචන, යම් යම් දේවල්, රජයටත් රට ඇතුළෙන් චෝදනා සහ විවේචන එල්ල වුණේ. ඒත් එක්කම මම මාධ්‍ය තුළින් දැක්කා අපේ නාවික හමුදාවේ සිටි ප‍්‍රධාන නිලධාරි මහත්මයෙක් ජීනිවාවලට ගිහිල්ලා විත්තියේ වාචිකය කියලා ප‍්‍රකාශයක් භාරදුන්නා කියලා. මම නීතිඥයෙක් නම් නෙවෙයි. මෙතැන ඉන්නවා නීතිඥ මහත්වරු රාශියක්. ඒ අය දන්නවා ඇති විත්තියේ වාචිකය දෙන්න, විත්තියේ ප‍්‍රකාශයක් කරන්න නම් විත්තිකාරයෙක් බවට පත්වෙලා ඉන්න ඕනෑ. විත්තිකාරයෙක් නොවී විත්ති වාචකයක්දීම මම හිතන්නේ සුදුසු, ගැලපෙන දෙයක් නෙවේ. යුද සමයේ පැවැති තත්වයන්වලදී මානව හිමිකම් කඩවීම සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් අපේ ආරක්ෂක හමුදාවට සහ රජයට එල්ල වී ඇති යෝජනා සහ චෝදනාවලදී මම ඉතාම පැහැදිලිව කියන්න ඕනෑ රජයේ ප‍්‍රතිපත්තිය විදිහට, මගේ ප‍්‍රතිපත්තිය විදිහට මේ රටේ කිසිම රණවිරුවෙක් විත්තිකාරයෙක් කරන්න මම ලෑස්තිත් නැහැ, කරන්නෙත් නැහැ කියලා . ඒක බොහොම පැහැදිලිව මම කියන්න ඕනෑ. ඒ නිසා අපි ඒවාට එතරම් කලබල වෙන්න අවශ්‍ය නැහැ.

සමහර අය මගෙන් අහනවා, සමහර අය මිත‍්‍රශීලි විදිහට හිතවත්කමෙන් අහනවා, සමහර අය විවේචනශීලි ලෙස අහනවා, සමහර අය දේශපාලන ප‍්‍රතිවාදීන් විදිහට අහනවා දැනට අපි ලබා තිබෙන ජාත්‍යන්තර සහයෝගය, ජාත්‍යන්තර විශ්වාසය සහ මීට පෙර කිසිම කලෙක නොදුටු, නොතිබූ ලෝකයේ සෑම රාජ්‍යයකම නායකයෙක් සහ එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධානවලින් අපිට තිබෙන සහයෝගයෙන් අප ගන්නා වූ ප‍්‍රයෝජනය මොකක්ද කියලා අහනවා. මගෙන් පුද්ගලිකවත් අහනවා. මම බොහෝම පැහැදිලිව කියන්නට ඕනෑ ලෝකයේ ඉහළම, ප‍්‍රබලම රාජ්‍ය නායකයින් මට පෞද්ගලිකව සහතිකවෙලා තිබෙනවා මොන විදිහේ ප‍්‍රශ්න ආවත් මේ රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජනතාවගේ අයිතින් වගේම රණවිරුවන් පිලිබදව ඇතිවන කිසිම ප‍්‍රශ්නයක් පිළිබදව ගැටලූ සහගත තත්වයක් ඇතිවෙන්න ඉඩදෙන්නේ නැහැ. ඒ සියල්ලේදීම අපි සමග, රජය සමග ඒ අය සිටිනවායි කියන එක මට සහතිකවෙලා තිබෙනවා. ඒ නිසා ඒ ජාත්‍යන්තර සහයෝගිතාවය සහ මිත‍්‍රශීලිභාවය කියන මේ සියල්ලම මම පාවිච්චි කරන්නේ රටේ ජනතාවගේ, ඒ වගේම මේ මානව පිළිබද හිමිකම් ප‍්‍රශ්නයේදී ත‍්‍රිවිධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශවල ඒ සියලුදෙනාගේ ආරක්ෂාව සහ ගෞරවය ආරක්ෂා කරමින් ඔවුන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කියන එක මම පැහැදිලිවම කියන්න ඕනෑ. යුද්ධය පැවැති කාලයේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදින්ට විරුද්ධව සටන් කළ හමුදා නිලධාරියෙක්, කාර්ය මණ්ඩලයක්, රණවිරුවෙක් පිළිබදව ඇතිවන ප‍්‍රශ්නවලදී මම බොහොම පැහැදිලිවම, නොබියවම, ලෝකයටම ඇහෙන්න මම කියනවා ඒ ප‍්‍රශ්නය අපි බලාගන්නවා, ඒ ගැන කවුරුවත් කලබල වෙන්න උවමනා නැහැයි කියලා. ඒත් එක්කම තවත් පැත්තකින් එල්ටීටීඊ ත‍්‍රස්තවාදින් නොවන, රටේ ජාතික ආරක්ෂාවට ප‍්‍රශ්නයක් නොවූ වෙනත් සිදුවීම් පිළිබදව, මාධ්‍යවේදීන්, ක‍්‍රීඩකයින්, වෙනත් විවිධ ක්ෂේත‍්‍රවල අය සම්බන්ධයෙන් ඇතිවෙලා තිබෙන යම් යම් ඝාතන මිනීමැරුම්, පහරදීම් වැනි සිද්ධීන්වලට කාගේ හෝ සම්බන්ධයක් තිබෙනවා නම් ඒ කරන පරීක්ෂණ කටයුතුවලදී ඔවුන් රටේ සාමාන්‍ය පුරවැසියන්ද, රජයේ නිලධාරින්ද, පෞද්ගලික අංශයේ සේවකයින්ද, ත‍්‍රිවිධ හමුදාවේ සේවය කරන අයද, පොලිසියේ සේවය කරන අයද, තවත් තැනක සේවය කරන අයද කියලා අපිට ඒ අය රකින්න පුලූවන්කමක් නැහැ. යුද්ධය කළ රණවිරුවන් ආරක්ෂා කරන එක අපේ වගකීමක් සහ යුතුකමක් ලෙස සැමවිටම සලකමින් එය ඉතාමත් ඉහළම ලෙස අපි ඉෂ්ට කරනවා. ප‍්‍රධාන වශයෙන්ම හමුදාවල ගෞරවය ආරක්ෂා කරන්න, හමුදාවල කීර්තිනාමය ආරක්ෂා කරන්න, හමුදාව පිළිබදව තිබෙන පිළිගැනීම් ශක්තිමත් කරන්න අපි රජයක් විදිහට ඒ තිබෙන යම් යම් කරුණු සහ ප‍්‍රශ්න නිවැරදි කරගැනීම අවශ්‍ය වෙනවා. ඒ නිසා මම ඉතාමත් සතුටුවෙනවා රණවිරුවන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන මේ ගෞරවනීය පාසලට පැමිණිලා ඔබ සම`ග එක්වෙලා මේ දරුවන්ට සුබ පතන්නට, ආශිර්වාද කරන්නට අවස්ථාව ලැබීම පිළිබදව. ඒ වගේම අපි මේ රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සදහා රජයේ ප‍්‍රතිපත්ති විදිහට ගත හැකි, ගත යුතු සෑම පියවරක්ම ගනිමින් ඉතාමත් විශිෂ්ට පරපුරක් සහ ජනතාවක් බිහිකරන්නට රජයේ වගකීම සහ යුතුකම ඉෂ්ට කරන බව ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කරන්නට ඕනෑ. ’’

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article