Friday, April 26, 2024

අතුල විජේසිංහ මහඇමැති පුටුවට යළි ගෙනඒමේ තැතක් !

Must read

alg_2017_5_18_3ayg_new‘‘ දෑවුරුද්දක් තිස්සේ බුදියගෙන හිටියද ? ’’ සන්ධ්‍ය ශමල්ගෙන් අසයි.

පෙරේදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී අධ්‍යාපන ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ සහ විපක්ෂ නායක ශමල් සෙනරත් වාදයකට පැටඵණේ පුවත්පත් වාර්තාවක් මුල්කරගනිමිනි. මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික ප‍්‍රකාශ අවස්ථාවේදී නැගී සිටි ශමල් නාරම්මල මයුරපාද කණිෂ්ඨ විද්‍යාලයේ පන්ති කාමර පොල්අතු මඩුවල පවත්වාගෙන යන බවට පළ වී තිබූ පුවත්පත් වාර්තාවක් සභාවට ඉදිරිපත් කරමින් අදහස් දැක්වීය. මයුරපාද කණිෂ්ඨ විද්‍යාලය පිහිටා ඇත්තේ තමන්ගේ අල්ලපු වැටේ බවත්, එම විද්‍යාලය සදහා තමන්ගේ අත්තා මෙන්ම තමන් විසිනුත් ඉඩම් පරිත්‍යාගකර ඇති බවත් ශමල් කීවේය. එම විදුහලේ දරුවන් පොල්අතු මඩුවල ඉගෙනුම ලබන බව පුවත්පත්වල පළවී ඇති බවත්, එවැනි අඩුපාඩු සහිත එම පාසල ළගම පාසල හොදම පාසල වැඩසටහනට ඇතුලත් නොකිරීම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් සිදු වූ වරදක් බවත් ශමල් කීවේය. ශමල්ගේ අදහස් දැක්වීම අවසානයේදී ඊට පිළිතුරදීම සදහා අධ්‍යාපන ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ නැගී සිටියේය. සිය අමාත්‍යංශය වෙත ශමල් විසින් ඇගිල්ල දිගුකිරීම ඇමැති සන්ධ්‍යගේ කට අවුස්සවන්නට සමත් වී තිබූ බවක් පෙණිනි. සන්ධ්‍ය සිය පිළිතුරු කතාව ආරම්භ කළේ ළගම පාසල හොදම පාසල වැඩසටහන ආරම්භ වී දැනට වසර දෙකකටත් වැඩි කාලයක් ගත වී ඇති බැවින් මේ වෙනකම් නිදාසිටියාදැයි ශමල්ගෙන් පෙරළා ප‍්‍රශ්න කරමිනි. සිය කතාව හරහා විපක්ෂනායකවරයා වෙත දැඩි වාග් ප‍්‍රහාරයක් මුදාහැරීමට සන්ධ්‍ය වගබලාගත්තේය. ‘‘මම නෙවෙයි මේ පාසල් තේරුවේ. පාසල් තෝරගත්තේ ඉසුරුපායෙන්. එහෙම තෝරගත්තු පාසල්වල නම් ලැයිස්තු මන්ත‍්‍රීවරුන්ටයි, ආසන සංවිධායකවරුන්ටයි එව්වා. ඇයි එතකොට මේ පාසල තෝරගත්තේ නැත්තේ කියලා ඇහැව්වේ නැත්තේ ? රජයෙන් දුන්නු නිර්ණායකවලට තමයි මේ පාසල් තෝරගෙන තියෙන්නේ. නගරාසන්නයේ තියෙන පාසල් තෝරන්න එපා කියලා ඒ නිර්ණායකවල තිබුණා. ඒ නිසයි මේ පාසල කැපෙන්න ඇත්තේ. ’’ සන්ධ්‍ය දිගටම කියාගෙන ගියේය. ‘‘මේ පාසල ඇතුළත් කරන්න කියලා අපි ඉල්ලීම් කරලා තියෙනවා.’’ශමල් සන්ධ්‍යට බාධාකරමින් කීය. ‘‘නැහැ. කවදාවත් නැහැ. කවදද තමුන්නාන්සේ පාසලක් ඉල්ලලා තියෙන්නේ ? කියන්න, කියන්න. ’’සන්ධ්‍ය ශමල් වෙත ඇගිල්ල දිගු කරමින් අභියෝග කළ නමුත් ශමල් නිරුත්තර වී ගිය බවක් පෙණිනි. ‘‘තමුන්නාන්සේ ඇත්ත කතාකරන්න බයයි තමුන්නාන්ගේගේ පුටුව නැතිවෙයි කියලා. නමුත් අපි එහෙම නැහැ. ’’ සන්ධ්‍ය කියද්දී ආණ්ඩු පක්ෂය පැත්තේ සිට මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් සහ මල්රාජ් පීරිස් කෑගසන්නට වූහ. ‘‘තව ටික කාලයයි, අපි ඔතැනට පූජිතව ගේනවා. ’’සමන්ප‍්‍රිය සහ මල්රාජ් කීහ. ශමල් ඊට පිළිතුරු දෙන්නට නොගිය අතර සන්ධ්‍ය දිගටම කතාකළේය. ‘‘අපි නම් ඕනැම තැනක ඇත්ත කතාකරනවා. මම එදා දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අධ්‍යාපන ඇමැතිතුමාගේ මූණටම අපිට තියෙන අඩුපාඩු ගැන කිව්වා. කෝ ඔබතුමා එදා කතාකළාද ? නැහැනේ. ’’සන්ධ්‍ය කීය. ‘‘මම එදා ඒ රැස්වීමට සහභාගි වුණේ නැහැ. ’’ශමල් කීය. ‘‘දැන්නම් මට හොදටම තේරෙනවා ඔබතුමා අවුරුදු දෙකක් තිස්සේ බුදියගෙන ඉදලා දැන් මේ පත්තරේ දැකලා තමයි ඇහැරිලා තියෙන්නේ. ඔබතුමා අවුරුදු දෙකක් තිස්සේ බුදියාගෙන හිටියාට මම මක්කරන්නද ? ’’සන්ධ්‍ය කියද්දී ආණ්ඩු පක්ෂය පැත්තෙන් සිහින් අත්පොළසන් නාදයක්ද නැගිණි. ‘‘විපක්ෂ නායක බුදි, විපක්ෂ නායක බුදි,’’යැයි කියමින් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී පියුමාල් හේරත් සිය මේසයට තට්ටුකළේ සන්ධ්‍යට චියර් එකක් ලබාදෙමිනි. ‘‘ඔබතුමාගේ කද ඔතැන වුණාට ඔලුව තියෙන්නේ තව තැනක. ’’ශමල්ද සටන අත්නොහරිමින් පැවසීය. ශමල්ගේ බාධාකිරීම් මැද්දේම සන්ධ්‍ය සිය පිළිතුරු කතාව අවසන් කළ අතර ඒ සමග දෙදෙනාගේ වාදයත් අවසන් විය.

බල පෙරළියේ තිරය පිටුපස කතා.

උතුරුමැද, මධ්‍යම ඇතුලු පළාත් සභාවන් කිහිපයකම බල පෙරළි සිදුවන බවට රාවයන් පැතිරයමින් තිබියදී වයඹ පළාත් සභාව තුළද යම් වෙනසක් සිදුවන බවට පසුගිය සතියේදී කණින් කොණින් ඇසෙන්නට පටන් ගත්තේය. මන්ත‍්‍රී ඩී. බී. හේරත් ඇතුලු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පළාත් සභාව තුළ බහුතර බලය පෙන්වා ආණ්ඩු බලය අත්කරගැනීමේ වෑයමක යෙදී සිටින බව කියැවීම හේතුවෙන් පෙරේදා පැවැති පළාත් සභා රැස්වීම පිළිබදව දේශපාලන ක්ෂේත‍්‍රයේ වැඩි අවධානයක් යොමු වී තිබිණි. දේශපාලන ක්ෂේත‍්‍රයටත් වඩා බුද්ධි අංශ සාමාජිකයින් විසින් ඒ පිළිබදව සෝදිසියෙන් පසු වූ බව පෙණුනු අතර බුද්ධි නිලධාරින් ඇතැම් පළාත් සභා මන්ත‍්‍රීවරුන් ලුහුබදිමින් බලපෙරළියක් පිළිබදව හෝඩුවාවක් අනාවරණය කරගැනීමේ මහත් වෑයමක යෙදී සිටි බවද කියැවිණි. වයඹ බල පෙරළියක් පිළිබද කතාබහ බුද්ධි අංශවල ඉහමොළ රත්කරවන්නට සමත් වී තිබූ නමුත් අළු යට ගිනි වෙත ලැබෙන විශ්වාසදායි ආරංචිමාර්ග සලකා බැලීමේදී කිවහැක්කේ ගොරවන තරමට වහින පාටක් නැති බවක් හෙවත් කියන තරමේ බල පෙරළියක් වයඹ පළාත් සභාව තුළ සිදුනොවන බවකි. යටත් පිරිසෙයින් වයඹ පළාත් සභාවේ බහුතර බලයක් ඇති බව කියන ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම බලපෙරළියක් සිදුකිරීම පිළිබදව නිල මට්ටමේ සාකච්ඡාවක්වත් මේ වන විට පවත්වා නැති බවද අළු යට ගිනි වෙත වැඩිදුරටත් වාර්තා වෙයි. එසේනමුත් ඒකාබද්ධ විපක්ෂයේ වයඹ ප‍්‍රබලයින් කිහිපදෙනෙකු විසින් ඒ සම්බන්ධයෙන් නිලනොවන සාකච්ඡා කිහිපයක්ද තැන තැන පවත්වා තිබේ. යම් හෙයකින් පළාත් සභාවේ පාලන බලය හුවමාරුවන සටනකට යන්නට සිදුවුවහොත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ඩී. බී. හේරත් මහ ඇමැති සටනට ඉදිරිපත් කිරීමට වඩා හිටපු මහ ඇමැති අතුල විජේසිංහ මුල්කරගනිමින් එම සටන මෙහෙයවීමට ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තුවන බවක්ද කියැවෙයි. මහ ඇමැතිවරයා ලෙස අතුල ඉදිරිපත්කිරීමෙන් ඒකාබද්ධ විපක්ෂයට නොලැබෙන එජාප සහ ශ‍්‍රීලනිප සහය ලබාගැනීම ඇතුලු කරුණු ගණනාවක් මහඇමැති කැරැල්ලේ නායකත්වයට අතුලගේ නම යෝජනාවීමට නිමිති වී තිබේ. ඒකාබද්ධයේ ඇතැමුන් විසින් මෙවැනි සැලසුම් සකස්කරමින් සිටින නමුත් ඒ පිළිබදව හිටපු මහ ඇමැති අතුල සමග නිල සාකච්ඡාවක් හෝ පැවැත්වී නොමැති බවද වාර්තාවෙයි. එබැවින් මෙවැනි ආරංචි හුදු කටකතා බවට පත්වීමට ඇත්තේ වැඩි ප‍්‍රවණතාවයක් බවද අමතක නොකළ යුතු කරුණක් වෙයි. පෙරේදා පැවැති වයඹ පළාත් සභා රැස්වීම අවසානයේදී ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් කළ නොනිල මට්ටමේ සාකච්ඡාවන්වලදීත් කියැවී ඇත්තේ පළාත් සභාවට ඉතිරී වී ඇති වසර එකහමාරක කාලය තුළ කිසිදු බල පෙරළියකට නොගොස් එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී වැඩි බලයක් දිනාගනිමින් පළාත් සභාවේ බලය තහවුරු කරගැනීම සුදුසු බවය. මන්ත‍්‍රීවරුන් වැඩි පිරිසක් ඊට කැමැත්තෙන් පසුවන බවද කියැවෙයි. ඒ බව සනාථ කිරීමටදෝ බලපෙරළියක ආරම්භය සිදුවෙතැයි බොහෝදෙනෙකු බලාපොරොත්තු වූ පෙරේදා පැවැති පළාත් සභා රැස්වීමද ඒ පිළිබද හාංකවිසියකින් තොරවම අවසන්විය. වයඹ පළාත්සභාව තුළ බල පෙරළියක් සිදුවන බවට කටකතා, ආරංචි සහ හෝඩුවාවන් තොග ගණනින් පැතිරයමින් ඇති නමුත් දැනට පවතින සැබෑ තත්වයන් පිළිබදව සලකාබලමින් යළිත් කිවහැක්කේ ගොරවන තරමේ වැස්සක් දැන්ම වැටෙන පාටක් නැති බවකි.

වෙඩිසිංහ වෙනුවෙන් පළාත් සභාවෙන් සම්මාදමක්.

නුවරඑළියේදී පැවැති යතුරුපැදි ධාවන තරගයක් අතරතුර හදිසි අනතුරකට ලක්ව මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් පසුවෙන යතුරුපැදි ධාවක ආනන්ද වෙඩිසිංහගේ නමත් පෙරේදා පැවැති පළාත් සභා රැස්වීමට ඇදීආවේය. වෙඩිසිංහ පිළිබද මාතෘකාව ඇදගත්තේ මන්ත‍්‍රී පියුමාල් හේරත් විසිනි. පුද්ගලික ප‍්‍රකාශ අවස්ථාවේදී නැගීසිටි පියුමාල්, ආනන්ද වෙඩිසිංහගෙන් වයඹ පළාතට සහ රටට ලැබුණු කීර්තිය පිළිබදව මෙන්ම ව්‍යාපාරිකයෙකු ලෙස ඔහු විසින් කළ පරිත්‍යාග සහ සමාජ සේවාවන් පිළිබදවත් සිහිකළේය. වෙඩිසිංහගේ පවුලේ ඥාතිහු මේ වනවිට මුහුණ දී සිටින දැඩි ආර්ථික ප‍්‍රශ්න පිළිබදවත් සැකෙවින් විස්තර කළ පියුමාල්, වැඩිදුර වෛද්‍ය ප‍්‍රතිකාර සදහා වෙඩිසිංහ විදේශයකට යැවීමට ඥාතීන් විසින් කටයුතු කරමින් සිටින බවද පැවසීය. ඒ සදහා යන වියදම යම් තරමකට හෝ පියවාගැනීම සඳහා පළාත් සභාවට මැදිහත් වන ලෙස ඉල්ලූ පියුමාල් එහි පළමු පියවරද ඒ වෙලාවේදීම තැබුවේය. සිය පළාත් ආයෝජන අරමුදලින් රුපියල් ලක්ෂයක මුදලක් ප‍්‍රදාන අමාත්‍ය අරමුදලට බැර කරන බව කී පියුමාල් එම මුදල වෙඩිසිංහගේ ඥාතීහු වෙත පිරිනමන ලෙසට මහඇමැති ධර්මසිරිගෙන් ඉල්ලා සිටියේය. පියුමාල්ගේ ප‍්‍රකාශය අවසන්වනවාත් සමගම සභාව තේ විවේකය සදහා සභාව කල්තැබිණි. ඒ අතරේ පළාත් සභා ලිපි ශීර්ෂයක පියුමාල්ගේ අත්අකුරින් ලියැවුණු ලිපියක් හරහා ආනන්ද වෙඩිසිංහ වෙනුවෙන් සම්මාදමක් ඇරඹිණි. වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් අමතමින් ලියා තිබූ අදාල ලිපියෙන් කියැවුණේ ඊට අත්සන් තබන මන්ත‍්‍රීවරුන් විසින් නම්කරනු ලබන මුදල වෙඩිසිංහගේ වෛද්‍ය ප‍්‍රතිකාර වෙනුවෙන් ප‍්‍රධාන අමාත්‍ය අරමුදට බැරකරන ලෙසටය. ඒ අනුව පියුමාල් හේරත්, ජොහාන් ප‍්‍රනාන්දු සහ ආර්. එම්. එම්. රත්නායක විසින් රුපියල් ලක්ෂය බැගින් සම්මාදම් වෙද්දී, තවත් පිරිසක් රුපියල් පනස්දහස බැගිනුත්, තවත් මන්ත‍්‍රී පිරිසක් රුපියල් විසිපන්දහස බැගිනුත් සිය පළාත් ආයෝජන අරමුදල් පරිත්‍යාග කිරීමට කැමැත්ත පළකරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අදාල ලිපියට අත්සන් එකතු කර තිබිණි. එදින සභාවට පැමිණ සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ දායකත්වය යටතේ රුපියල් මිලියනයක මුදලක් එතැනදී එකතු වී තිබූ අතර මන්ත‍්‍රී මංජුල බණ්ඩාරගේ මූලිකත්වයෙන් විපක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙන්ද මුදලක් එකතුවෙමින් තිබිණි. ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් නම් කළ මුදල වෙඩිසිංහ පවුලේ අය වෙත භාරදීමේ වගකීම ප‍්‍රධාන අමාත්‍යවරයාට භාරකළ පියුමාල් අදාල ලියැවිල්ල නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් වෙත ලබාදුන්නේය. තම ඉල්ලීමට ගරු කරමින් ආනන්දගේ ජීවිතය රැකගැනීමට ඉදිරිපත් වූ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිවරාගෙන සභාගැබ මැද්දේම සෙල්ෆි ඡායාරූපයක් ගෙන මුහුණුපොතට එකතුකිරීමටද මන්ත‍්‍රී පියුමාල් ඒ වෙලාවේදීම කටයුතු කර තිබිණි. ‘‘වයඹ ඔබ එන තුරු බලා සිටී. ඔබට ඉක්මන් සුවය පතමු. ආනන්ද වෙඩිසිංහ වෙනුවෙනි. ’’යැයි අදාළ ඡායාරූපයට පහළින් පියුමාල් විසින් සිය මුහුණුපොතේ සටහනක්ද තබා තිබිණි.

දොඩම්ගස්ලන්දේ හොද වැඩකට මංජුලගෙන් අතහිත.

වයඹ පළාත් සභා මන්ත‍්‍රී මංජුල බණ්ඩාර පසුගිය ඉරිදා දොඩම්ගස්ලන්ද, ලිහිණිවැහැර ගම්මානයට ගියේ ප‍්‍රදේශයේ ස්වේච්ඡා සංවිධානයක් විසින් කළ ඇරැයුමකට අනුවය. ලිහිණි එකමුතු සුබසාධක සමිතිය නැමැති එම ස්වේච්ඡා සංවිධානයට මංජුලගේ පළාත් ආයෝජන අරමුදල් හරහා පෝසිලේන් පිගන් 70 කින් යුත් පිගන් කට්ටලයක් ලබාදී තිබිණි. පිගන් කට්ටලයක් ලබාදීම වැනි සාමාන්‍ය කටයුත්තක් සදහා තමන් පැමිණීම අනවශ්‍ය බව කියමින් ආරාධනාව භාරගැනීමට මංජුල මුලදී අදිමදි කළ නමුත් අදාල සුබසාධක සංගමයේ දැඩි පෙරැත්තය මත ආරාධනාව පිළිගන්නට මංජුලට සිදු වී තිබිණි. තම සමිතියට පැමිණි පළමු දේශපාලනඥයා වූ මංජුල බණ්ඩාර ලිහිණි එකමුතු සුබසාධක සමිතියේ සාමාජික සාමාජිකාවන් විසින් උණුසුම් අයුරින් පිළිගත්හ. වසර තුනකට පමණ ඉහතදී ආරම්භ කර ඇති එම සමිතියේ සාමාජික සාමාජිකාවන්ගේ දැඩි කැපවීමේ ප‍්‍රතිඵලයක් ලෙස දෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ලක්ද මේ වනවිට ඉදිකෙරෙමින් පවතින බව ගම්වාසීහු විසින් මංජුලට පැහැදිලි කළහ. ගමට පොදු ගොඩනැගිල්ලක් නොමැතිකමේ අඩුපාඩුව කලක් තිස්සේ පැවැති බවත්, දරුවන්ගේ බර කිරාගැනීමට පවා ස්ථිර තැනක් නොමැතිවීමෙන් දරුවන් ගස්වල එල්ලා බර කිරාගැනීමට සිදු වී ඇති බවටත් ගම්වාසීහු එහිදී මංජුලට පැහැදිලි කළහ. එවැනි අපහසුතා මගහරිනු පිණිස ලිහිණි එකමුතු සාමාජිකයින් විසින් දහදිය, මහන්සිය, කාලය සහ ධනය වැයකරමින් ඉදිකර ඇති නව ගොඩනැගිල්ලේ දොරගුඵ සමාජයට යහපතක් වන ඕනෑම කටයුත්තක් වෙනුවෙන් විවෘතව තැබීම තම අරමුණ බවද සමිතියේ සාමාජික සාමාජිකාවෝ මංජුලට කීහ. සමිතියේදී කියැවුණු දෑ ඇසූ මංජුල තරමක් සංවේදී විය. ‘‘ඇත්තටම මම මෙතැනට එනකම් ඔබතුමාලා මේ තරමේ වැඩක් කරපු පිරිසක් කියලා දැනගෙන හිටියේ නැහැ. ඔබතුමාලගේ දහදිය, මහන්සියෙන් ඉතාම හොද වැඩක් තමයි කරලා තියෙන්නේ. පිගන් ටික දීලා යන්න ආවා මිසක් මම ඔබතුමාලට තවත් දෙයක් දෙන්න බලාගෙන මෙතැනට ආවේ නැහැ. නමුත් ඔබතුමාලා එකතුවෙලා මේ තරමේ දෙයක් කරලා තියෙද්දීත් මහජන නියෝජිතයෙක් විදිහට අහක බලාගෙන යන්න මට බැහැ. සංවර්ධන කටයුතු සදහා කියලා විපක්ෂ මන්ත‍්‍රීවරුන් විදිහට අපිට පළාත් සභාවෙන් මහ ලොකු මුදලක් නම් වෙන්කරන්නේ නැහැ. නමුත් ඔය ගොඩනැගිල්ලේ තව අඩුපාඩු මොනවාහරි තියෙනවාද ? ’’මංජුල ඇසීය. එම ගොඩනැගිල්ල ළමා ළපටින්ගේ කටයුතු ගණනාවක් සදහා වෙන්කිරීමට නියමිත බැවින් එහි ගෙබිම ටයිල් කරගැනීමට අවශ්‍ය බව ගම්වාසීහු කීහ. ගොඩනැගිල්ලේ දිග පළල අසා ගත් මංජුල තම ජංගම දුරකථනය ගෙන ටයිල් කිරීමට වැයවන මුදල ගණන් බැලීය. ‘‘ටයිල්වලට රුපියල් හැටපන්දාහක් විතර මුදලක් යනවා. ඒ මුදලෙන් රුපියල් පනස්දාහක් මම දෙන්නම්. ඉතිරි මුදලත් දෙන්න පුඵවන් වුනා නම් මමත් කැමැතියි. නමුත් විපක්ෂ මන්ත‍්‍රීවරයෙකුට අවුරුද්දකට පළාත් සභාවෙන් ලැබෙන්නේ රුපියල් ලක්ෂ විසිපහයි. ඒ ලක්ෂ විසිපහ තමයි මගේ ආසනය ඇතුලූව මුලු දිස්ත‍්‍රික්කයේම තියෙන ආසන දාහතර පුරාම බෙදන්න වෙන්නේ. ඒ නිසා මට මේ වෙලාවේ කරන්න පුලුවන් මේ වගේ පොඩි උදව්වක් විතරයි. ’’මංජුල කියද්දී ගම්වාසීහු සතුටින් අත්පොළසන් දුන්හ. ‘‘ඔබතුමාට ඔය මුදල පොඩි වුණාට අපිට කෝටියකට වැඩිය වටිනවා. ඔබතුමාට පළාත් සභාවෙන් ලැබෙන මුදලෙන් පනහෙන් එකක මුදලක් ඔබතුමාගේ ආසනයටවත් අයිති නොවෙන අපේ ගම වෙනුවෙන් ලබාදුන්නාට ඔබතුමාට පින්සිද්ද වෙනවා. ’’ගම්මු මංජුලට කීහ. ‘‘ ඔබතුමාලගේ වැඩපිළිවෙල ඔය විදිහටම කරගෙන යන්න. වයඹ සංවර්ධන අමාත්‍යංශයයි, පළාත් සභාව හරහායි තව උදව් ටිකක් ගන්න බලමු.’’ යැයි කී මංජුල ගම්මුන්ට සුබපතා වාහනයට නැංගේය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 මැයි 18 බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article