Friday, April 26, 2024

ආනන්ද වෙඩිසිංහ සමුගනී !

Must read

wwedishinaha 1

නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ අද (29 වැනිදා) පස්වරු 3.00 ට පමණ සිය දිවියෙන් සමුගත්තේය. මිය යන විට 47 වැනි වියේ පසුවූ වෙඩිසිංහ සිවුදරු පියෙකි.

අනතුරට මුහුණදුන් දිනයේ (අප්‍රේල් මස 23 වැනිදා) සිට සති 5 ක කාලයක් කෘතිම ස්වසන උපකරණයක් ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි වෙඩිසිංහ මියයන තෙක්ම සිහිසුන් තත්වයෙන් පසුවූ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මාසයකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වෙඩිසිංහ වැඩි දුර ප්‍රතිකාර සඳහා ජපානයට රැගෙන යෑමට ඔහුගේ බිරිද සහ දරුවන් උත්සාහ කළද ඒ සඳහා අවශ්‍ය වූ මුදල (රුපියල් මිලියන 39 ක් පමණ) සොයාගත නොහැකි වීම නිසා ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය.

නුවරඑළිය තරගාවලියේ සුපර් මෝටාර්ඞ් (සිලින්ඩර් ධාරිතාව 450 දක්වා) තරගයේදී සුරාජ් පෙරේරාගේ යතුරුපැදිය සහ සිය යතුරුපැදිය එකිනෙක ගැටීමෙන් ආනන්ද වෙඩිසිංහ අනතුරට ලක්විය. එකිනෙක පැටලීම නිසා එහිදී ඔවුන් දෙදෙනාටම සිය යතුරුපැදි පාලනය කරගැනීමට නොහැකි වූ බවත්, පාලනයෙන් ගිලිහුණ වෙඩිසිංහගේ යතුරුපැදිය ආරක්ෂක වැටක ගැටී ඔහු යතුරුපැදියෙන් ඉවතට විසිවූ බවත් පැවසේ.

එලෙස යතුරුපැදියෙන් ඉවතට විසිවූ බව කියන වෙඩිසිංහගේ හිස ලී කොටයක වැදී ඇති අතර පාදයක් දැඩි ලෙස බිඳීයාමකට ලක්ව තිබේ. අනතුරට ලක්වීමෙන් පසු නුවරඑළිය රෝහලට ඇතුළත් කළ වෙඩිසිංහට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා එහි ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වූ බැවින් ඔහුව මහනුවර මහ රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

යතුරුපැදි ක්‍රීඩාව වෙනුවෙන්ම උපන් ක්‍රීඩකයෙක් ලෙස ආනන්ද වෙඩිසිංහ හැදින්විය හැකි අතර පසුගියදා පැවති නරියාකන්ද තරගාවලියේදී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ තමන්ගේ නාඩි වැටෙන තුරු රේස් පදින බවයි. පිට පිට 6 වරක් නරියාකන්ද සුපර්ක්‍රෙස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගනිමින් වාර්තාවක්ද පිහිටවූ වෙඩිසිංහ, කිහිප වරක්ම ජාතික මොටෝ ක්‍රොස් ශූරතාවටද හිමිකම් කියා තිබේ.

වෙඩිසිංහ අනතුරට ලක්වූ නුවරඑළිය තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ තරගකරුවන් සිය අප්‍රසාදය පළ කර ඇති අතර මින් පෙරද මෙම තරගාවලිය පැවැති අවස්ථා දෙකකදී යතුරුපැදි ක්‍රීඩක රංජිත් ධනපාල සහ මෝටර් රථ රියැදුරු ඩිල්ෂාන් බණ්ඩාරනායකද දරුණු අනතුරු වලට මුහුණපා ජීවිතක්ෂයට පත්ව තිබේ.

කෙලිමඩල වෙබ් පිටුව ඇසුරිනි.

Save

Save

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article