Friday, April 26, 2024

කුරුණෑගල එජාප සංවිධායක පිරිසකගේ තටු කැපෙන ලකුණු ?

Must read

alg_2017_6_1

දකුණේ ගංවතුර අගමැතිගේ කුරුණෑගල ගමන වළක්වයි.

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට 75 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ වජ‍්‍ර ජයන්ති සැමැරුම් උළෙල එම විද්‍යාලයේදී පැවැත්වුණේ පසුගිය සිකුරාදාය. එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට නියමිතව සිටියේ අගමැති රනිල් වික‍්‍රමසිංහය. ඉබ්බාගමුව මැදි විදුහලේ ආදි සිසුවෙකු වන ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ‍්‍රී බණ්ඩාර ඒකනායක අගමැතිවරයා පුද්ගලිකවම මුණගැසී මෙම උත්සවය සදහා ආරාධනා කර තිබිණි. හිටපු අගමැති ජෝන් කොතලාවල සහ ඉබ්බාගමුව මැදි විදුහල අතර තිබූ සබදතා පිළිබදවත්, එවකට ඉබ්බාගමුව මැදි විදුහල ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් පෑ දස්කම් ගැනත් සිහිපත් කරමින් ධර්ම ශ‍්‍රී ගේ ආරාධනාව අගමැති රනිල් විසින් සාදරයෙන් පිළිගෙන තිබිණි. අගමැතිවරයාගේ සම්ප‍්‍රාප්තිය බලාපොරොත්තුවෙන් ඉබ්බාගමුව මැදි විදුහල් වජ‍්‍ර ජයන්ති උළෙල ලහිලහියේ සූදානම් වන්නේ ඒ අනුවය. උත්සවයට පෙරදින ඉබ්බාගමුවට පැමිණි අගමැති ආරක්ෂක අංශය සිය සුපුරුදු ආරක්ෂක සැලසුම් සකසද්දී පොලිසිය ඇතුලු සෙසු ආයතනද අගමැතිවරයා සහභාගිවන උත්සවය වෙනුවෙන් සූදානම්වෙමින් සිටියහ. දකුණ, සබරගමුව සහ බස්නාහිර ඇතුලු පළාත් කිහිපයක් වෙත දැවැන්ත ව්‍යසනයක් ළගාකරවමින් බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ එම පළාත්වලට ධාරානිපාත වැසි ඇදහැලෙද්දී , වයඹ කාලගුණය නම් පැවැතියේ සාමකාමී තත්වයෙනි. සිකුරාදාට එළිය වැටෙද්දී රටෙන් අඩකට ආසන්න ජනතාව එක රැයක් තුළදී අවතැන්වූවන් බවට පත්වී සිටියහ. විපතට පත්වූවන් මුදාගැනීම් සහ සහන සැලසීම් මුල්කරගත් සාකච්ඡා වට ගණනාවක් අගමැති රනිල්ගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මැදුරේදී ආරම්භ වී තිබූ අතර ජනපති මෛත‍්‍රී ඔස්ටේ‍්‍රලියානු සංචාරයේ නිරතව සිටි බැවින් අගමැතිවරයා වෙත වැඩි වගකීම් ප‍්‍රමාණයක් පැවැරී තිබිණි. අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවන් එලෙස පැවැත්වෙමින් තිබියදී ඉබ්බාගමුව ආදර්ශ මහ විදුහලේ ක‍්‍රීඩා පිටිය අගමැතිවරයා පැමිණෙන හෙලිකොප්ටර් යානය ගොඩබැස්සවීම සදහා සකස්වෙමින් තිබිණි. අගමැති ආරක්ෂක අංශය සහ පොලිසිය එක්ව පිටිය වටා රැකවල් යොදා තිබූ අතර ගිලන් රථයක් සහ ආපදා රථයක් ඇතුලු හදිසි සේවා වාහන කිහිපයක්ද පිටියේ කොණක ගාල්කර තිබිණි. දහවල් දොළහ වෙද්දීත් සහන සැලසීමේ සාකච්ඡාවන්වල අඛණ්ඩවම නිරත වී සිටි අගමැතිවරයා වෙත තවත් පැය කිහිපයකින් ඉබ්බාගමුව මැදි විදුහලේදී ආරම්භ වන උත්සවය පිළිබදව සිහිපත් කළේ ඇමැති අකිල විරාජ් විසිනි. ආපදාව කළමණාකරණය කිරීම පිළිබද කටයුතු ඒ වනවිටත් අවසන් වී නොතිබීම සහ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා සියල්ලම පාහේ සහන සේවා කටයුතු සදහා යොදවා තිබීම සැලකිල්ලට ගත් අගමැතිවරයා අකිලට කිව්වේ තමන් වෙනුවෙන් එම උත්සවයට සහභාගිවන ලෙසටය. ඒ අනුව ඇමැති අකිල ගොඩබිම් මාර්ගය ඔස්සේ ඉබ්බාගමුවට එන්නට ඒ මොහොතේම අරලියගහ මන්දිරයෙන් පිටත් වූ අතර විදුහල්පතිනි නිරෝධා අබේවික‍්‍රම දුරකථනයෙන් අමතා අගමැතිවරයාගේ නොපැමිණීම පිළිබදව දැනුම්දෙන්නටද පියවර ගත්තේය. අගමැති මාධ්‍ය ඒකකය සහ ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ‍්‍රී එක්ව අගමැතිවරයා වීඩියෝ ඇමැතුම් තාක්ෂණය ඔස්සේ හෝ උත්සවයට සම්බන්ධ කරගැනීමේ වෑයමක් දැරූ නමුත් තාක්ෂණික පහසුකම් සපයාගැනීමට කාලවේලාව ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් එම වෑයමද අසාර්ථක වී ගියේය. පස්වරු 3 පමණ වෙද්දී ඉබ්බාගමුව මැදි විදුහලට පා තැබූ අකිලගේ ප‍්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ වූ අතර 75 වැනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කෙරුණු සමරු මුද්දරයද තැපැල් සේවා අමාත්‍ය ඒ. එච්. එම්. හලීම්ගේ අතින් ඇමැති අකිල වෙත පිළිගැන්විණි. උත්සව සභාව ඇමැතූ අකිල අගමැතිවරයාගේ නොපැමිණීමට හේතු පහදමින් අගමැතිවරයාගේ සුභාශිංෂණය පාසල වෙත පිළිගැන්වූ අතර අතීතයේ ක‍්‍රීඩා පාසලක්ව තිබූ ඉබ්බාගමුව මැදි විදුහල යළි ක‍්‍රීඩා පාසලක් බවට පත්කරන බවටද පොරොන්දුවක් දුන්නේය.

තටු කැපෙන්න යන එජාප සංවිධායකලා කවුද ?

එක්සත් ජාතික පක්ෂයට නව ආසන සංවිධායකවරුන් පත්කිරීම පසුගිය බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුකෙරිණි. දිවයින පුරා පිහිටි මැතිවරණ කොට්ඨාශ සියයක් සදහා එජාප සංවිධායවරුන් මෙහිදී පත්වීම් ලබාගත් අතර කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ආසන දෙකක් හැරෙන්නට සෙසු ආසන සදහා හිටපු සංවිධායකවරුන්ම පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්ගේ අතින් පත්වීම් ලිපි ලබාගත්හ. දොඩම්ගස්ලන්ද සහ පොල්ගහවෙල යන ආසන දෙක සදහා එදින නව සංවිධායකවරුන් පත්කෙරුණේ නැත. දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක ලෙස කටයුතු කරන එම්. එස්. පෙරේරා මෙන්ම පොල්ගහවෙල එජාප සම සංවිධායකයින් ලෙස කටයුතු කරන අජිත් රෝහණ සහ එච්.එම්. ජයරත්න දෙපළ පත්වීම් ලිපි ප‍්‍රදානය සදහා කැදවා නොතිබිණි. ඒ අනුව පැතිර යමින් තිබෙන ආරංචිවලින් දැන් කියැවෙන්නේ දොඩම්ගස්ලන්ද සහ පොල්ගහවෙල ආසන දෙක සදහා ඉදිරියේදී නව සංවිධායකවරුන් පත්කෙරෙනු ඇති බවය. දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක ලෙස කටයුතු කරන එම්. එස්. පෙරේරා එම තනතුරෙන් ඉවත්කිරීමට සිරිකොත පැත්තෙන් තීරණයක් ගෙන ඇති බවද අඵ යට ගිනි වෙත ලැබෙන ආරංචිවලින් කියැවෙයි. මැයි දින සංවිධාන කටයුතු පිළිබදව සොයාබැලීම සදහා පසුගිය දිනෙක පැමිණි සිරිකොත නිලධාරින් පිරිසකට මන්ත‍්‍රී පෙරේරා විසින් දුරකථනයෙන් බැණවැදී ඇතැයිද, එම බැණවැදීම අතරේදීම අගමැතිවරයා වෙතද දෝෂාරෝපණය කළේ යැයි කියන සිදුවීමක් පෙරේරා ආසන සංවිධායක තනතුරින් පහකිරීමට නිමිත්ත වී ඇති බව කියැවේ. පෙරේරා විසින් ලුණු ඇඹුල් සහිතව දෙසා බෑ දොස්පරොස් සහිත හඩපටය අදාල නිලධාරින් විසින් අගමැතිවරයා අතට පත්කිරිමට වගබලාගෙන තිබීම හේතුවෙන් විනය කඩකිරීමේ චෝදනාව මත නුදුරේදීම පෙරේරාගේ ආසන සංවිධායකකමට තට්ටුවනු ඇති බව සිරිකොත පැත්තෙන් කියැවෙයි. කටවරද්දා ගැනීම හේතුවෙන් පෙරේරා දංගෙඩිය වෙත එලෙස ගමන්කරමින් සිටියදී පොල්ගහවෙල එජාප සංවිධායක තනතුරේ වෙනසක් කිරීමට සිරිකොත පැත්තෙන් තීරණයක් ගෙන ඇත්තේ එම ආසනයේ වත්මන් සම සංවිධාකයින් දෙපළ අතර ඇති වී තිබෙන ගැටුම් හේතුවෙන් බවද කියැවෙයි. පොල්ගහවෙල එජාප සම සංවිධායකයින් ලෙස පත්වීම් ලැබූ දා සිටම අජිත් රෝහණ සහ එච්.එම්. ජයරත්න අතර එළිපිටදී මෙන්ම තිරය පිටුපසද ඇති වූ ගැටුම්වලින් නම් අඩුවක් නොවීය. එකිනෙකාට එරෙහිව සීතල යුද්දයක යෙදී සිටියා විනා පොල්ගහවෙල ආසනයේ සංවිධාන කටයුත්තක් සිදුවී නැති බව සිරිකොතේ තක්සේරුව වී ඇති බව කියැවෙයි. එබැවින් පොල්ගහවෙල දැනට පවතින සීතල යුද සමය අවසන් කෙරෙන අන්දමේ නව පත්වීමක් සිරිකොත විසින් අද හෙටම සිදුකිරීමට නියමිත බවද කියැවෙයි.
ආසන සංවිධායක පත්වීම භාරගැනීමට පාර්ලිමේන්තු සංකීර්ණයට ගිය හිරියාල එජාප සංවිධායක ජගත් යාපාටද එදින අලි අකරතැබ්බයකට මුහුණදෙන්නට සිදු වී තිබිණි. දොඩම්ගස්ලන්ද සහ පොල්ගහවෙල හැර සෙසු ආසන සදහා පත්වීම් ප‍්‍රදානය කෙරුණු නමුත් ජගත්ටද පත්වීම් ලිපියක් නොලැබිණි. පත්වීම් ලිපි ලබාගත් මැති ඇමැතිවරුන් මොකද වුනේ යැයි විමසද්දී ජගත් නිරුත්තර වී ගියේය. ජගත් මුහුණ දී සිටි අපහසුතාවය දුටු එජාප මහලේකම් කබීර් හෂීම් තත්වය පැහැදිලි කළේය. ‘‘ජගත්, ඔයාගේ ලියුම ගහලා තියෙන්නේ. නමුත් පොඩි ගැටලුවක් තියෙනවා. අගමැතිතුමා ඒකට අත්සන් කරලා නැහැ. එතුමා දැන් මලගෙදරක ගිහින් ඉන්නේ. එනකම් ඉදලා අත්සන් කරගන්නවාද, නැත්නම් වෙන දවසක ඇවිත් ලියුම ගන්නවාද ? ’’ කබීර් ඇසීය. ‘‘නැහැ, මම අගමැතිතුමා එනකම් ඉන්නම්. ’’යැයි කී ජගත් යාපා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පැය කිහිපයකට පසුව පිටතට ආවේ හිරියාල එජාප සංවිධායක ලෙස යළි පත්වීම් ලැබූ ලිපිය සහිත ෆයිල් කවරයද දෝතින් දරාගෙනය.

මැයි රැළියට මහන්සි වූ අයට ඇමැති නාවින්නගෙන් පාටියක් !

පසුගිය රජය සමයේදී තටු කපා මුල්ලකට විසිකර සිටි ඇමැති එස්. බී. නාවින්නට වාසනාව පෑදෙන්නට පටන්ගත්තේ එජාපයට එක්වීමෙන් පසුවය. සංවර්ධන කටයුතු සදහා ලෝස් නැතිව මුදල් යෙදවිය හැකි අමාත්‍යංශයක් ලැබීමත් සමග පුංචි මන්ත‍්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් බහුතරයක් ඉන්නේ නාවින්නගේ පස්සෙන් වැටුණු ගමන්මය. එහි අනුහසින්දෝ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැති එජාප මැයි රැළියේ හොදම පෙළපාලිය ලෙස තෝරාගැණුනේ නාවින්නගේ වාරියපොල ආසනය නියෝජනය කරමින් එහි ගිය පෙළපාලියයි. එම ජයග‍්‍රහණය වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක්ද පක්ෂය විසින් නාවින්න වෙත පිරිනමා තිබිණි. තමන් අතට ලැබුණු රුපියල් ලක්ෂය සාක්කුවේ දමාගැනීම වෙනුවට මැයි දිනය වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සියලුදෙනා වෙත එහි ප‍්‍රතිලාභ ලැබෙන ආකාරයේ කටයුත්තක් නාවින්න විසින් පසුගිය සෙනසුරාදා සංවිධානය කර තිබිණි. ඒ අනුව මැයි දිනය සදහා සහය වූ මන්ත‍්‍රීවරුන්, පක්ෂ ක‍්‍රියාකාරීන් සහ ආධාරකරුවන් වෙනුවෙන් නාවින්නගේ වාරියපොල නිවසේදී සුහද සාදයක් එදින සංවිධානය වී තිබිණි. දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් රස මසවුලෙන් මෙන්ම මධුවිතෙන්ද අඩුවක් නොකරමින් සංවිධානය කර තිබූ නාවින්නගේ සාදයට පක්ෂයෙන් තෑගි ලෙස ලැබුණු රුපියල් ලක්ෂයට වඩා වැඩි මුදලක් වැය වී තිබූ බව නම් බැලූ බැල්මටම පෙණිනි.

වේඩරුව මහඇමැති අන්දවයි.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ බාලදක්ෂයින් සහ බාලදක්ෂිකාවන්ගේ සහභාගිත්වයෙන් ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගිය සිකුරාදා පැවැත්වුණේ බඩගමුව රක්ෂිතය කේන්ද්‍ර කරගනිමිනි. එහි සමාරම්භක අවස්ථාවට මහ ඇමැති ධර්මසිරි දසනායක සහ සෞඛ්‍ය ඇමැති ලක්ෂ්මන් වේඩරුවද සහභාගි වූහ. වැඩසටහනේ ආරම්භක අවස්ථාවට එක්වීමෙන් පසුව වයඹ සංවර්ධන අධිකාරිය යටතේ පවත්වාගෙන යන බඩගමුව සංචාරක මධ්‍යස්ථානයේ රවුමක් ගසා එහි තත්වය පිළිබදව විමසා බැලීමටද මහ ඇමැතිවරයා අමතක නොකළේය. සංචාරක මධ්‍යස්ථානයේ සැරිසරමින් සිටි ධර්මසිරි එහි තිබූ රෙදිපිළි වෙළදසැලකට ගොඩ වී එහි තිබූ කමිසයක් අතට ගෙන බලන්නට විය. ධර්මසිරිට එම කමිසය හිතට අල්ලා තිබූ බව පෙණුනි. ‘‘මට මේක ඇතිවෙයිද දන්නේ නෑ. ටේප් එකක් නැද්ද පොඞ්ඩක් මැනලා බලන්න. ’’ධර්මසිරි එහි සිටි සේවිකාවට කීවේය. ‘‘ ඕනෑ නෑ. මම කියන්නම් ඕක ඇතිද, මදිද කියලා.’’ධර්මසිරි අතේ තිබූ කමිසය තමන් අතට ගනිමින් ඇමැති වේඩරුව කීවේය. පළමුව ධර්මසිරිගේ පිටට කමිසය තැබූ වේඩරුව ‘‘ෂෝල්ඩර් සයිස් නම් හරි. දැන් බලමු බඩ. ’’යැයි කියමින් කමිසය දෙකට නමා ධර්මසිරිගේ උදර පෙදෙසේ තැබීය. ‘‘හරි, මේක ඔබතුමාට හරි. ’’ යැයි කියමින් වේඩරුව කමිසය ධර්මසිරි අතට පත්කළේය. ‘‘බලාගෙන ගියාම ඔයත් හොද ටේලර් කෙනෙක්නේ. ’’ධර්මසිරි වේඩරුවට කියද්දී අවට සිටි පිරිස හඩනගා සිනාසුනහ. ධර්මසිරි රෙදිපිළි වෙළදසැලෙන් පිටවුනේ එම කමිසයට අමතරව සරමක්ද මිලදීගැනීමෙන් පසුවය. සංචාරක මධ්‍යස්ථානය නිරීක්ෂණය කරමින් ගිය ධර්මසිරිට එහි පිටුපසට කොටසේ ගොඩගසා තිබූ හිස් බෝතල් සහ කෑන් තොගයක් දැක යකා නැග්ගේය. ‘‘අපි අනික් හැමෝටම කියනවා බෝතල් ගොඩගහන්න එපා, ටින් ගොඩගහන්න එපා, මදුරුවෝ බෝවෙනවා කියලා. එහෙම කිය කියා අපිම ඒ වැරුද්ද කරනවා. වහාම මේ බෝතල් ගොඩ ඉවත්කරන්න ඕනෑ. මේක අයින්කළාද කියලා බලන්න අනිද්දාට මම ආයෙත් මෙහේ එනවා. ’’ධර්මසිරි වයඹ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා දෝස්මුරයක් දැම්මේය. ගොඩනැගිල්ල පිටුපස තිබූ තවත් අපිරිසිදු ස්ථාන කිහිපයක්ම පෙන්වා දුන් ධර්මසිරි ඒවා වහා පිරිසිදු කරන ලෙස කියමින් සභාපතිවරයා වෙත තවත් උපදෙස් වැලක් මුදාහැරියේය. ‘‘පිටිපස්සේ ජරාව නම් හොදටම වැඩියි. ගන්න දෙයක් නෑ මේ පැත්තේ. මගෙන් එහෙම මේ ගැන කවුරු හරි ඇහුවා නම් මම කියන්නේ සභාපතිතුමායි, කළමනාකාර අධ්‍යක්ෂකටයි නඩු දාන්න කියලා. ’’ යැයි කියමින් වයඹ ප‍්‍රධාන අමාත්‍යංශ ලේකම් විජිත බණ්ඩාරනායක මහඇමැති ධර්මසිරි වෙත පොහොර සපයනු පෙණිනි.

රිදීගම ප‍්‍රාදේශීය ලේකම් සන්තෝසම් ගැන විග‍්‍රහයක.

සම සභාපති තනතුරේ පුටු මාරුවක්ද සමග රිදීගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව රැස්වුණේ පසුගිය සිකුරාදාය. රිදීගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපතිත්වය හෙබවූ ඇමැති අනුර යාපා විසින් එම තනතුර දොඩම්ගස්ලන්ද ශ‍්‍රීලනිප සංවිධායකවරයා ලෙස මෑතකදී පත්වීම් ලැබූ නිමල් විජේසිංහ වෙත පරිත්‍යාග කර තිබිණි. ඒ අනුව පළාත් සභා මන්ත‍්‍රී එම්. එස්. පෙරේරා සහ සංවිධායක නිමල් විජේසිංහගේ මුලසුනින් යුතු පළමු රැස්වීම ආරම්භ විය. ‘‘අපේ ආසනයේ පාරවල් ටික හදන්න බොරඵ අදින ලොරිවලින් සමහර පොලිස් නිලධාරින් සන්තෝසම් ගන්නවා. ’’මන්ත‍්‍රී එම්. එස්. පෙරේරා මහතා චෝදනා කළේ රිදීගම පොලිසියේ ස්ථානාධිපතිවරයාද යාබද පුටුවේ තබාගෙනය. පෙරේරාගේ චෝදනාවට පොලිසිය පැත්තෙන් උත්තරයක් නොලැබුණු නමුත් රිදීගම ප‍්‍රාදේශීය ලේකම් එම්. එස්. එම්. නවාස් අපූරු උත්තරයක් දුන්නේය. ‘‘අපේ මන්ත‍්‍රීතුමා දැන් සන්තෝසම් කියලා වචනයක් පාවිච්චි කළා. සන්තෝසම් කියන වචනයේ තේරුම සිංහලෙන් බැලුවත්, දෙමලෙන් බැලුවත් සතුට කියන එකයි. නමුත් සන්තෝසමක සතුට තියෙන්නේ ඒක ගන්න කෙනාට විතරයි. ඒක දෙන කෙනාට දුකක් මිස කිසිම සතුටක් නැහැ. ඒ නිසා නිලධාරින් විදිහට මේ කවුරුවත් එතැනට වැටෙන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. ’’ප‍්‍රාදේශීය ලේකම්වරයා කියද්දී සභාව සිනා හඩින් පිරී ගියේය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 ජූනි 01 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article