Friday, April 26, 2024

ජොන්ස්ටන්ට වයඹ මහ ඇමැති මාරුවෙයි !

Must read

ayg_2017_06_29

වජිරයි – අලවතුවලයි, මඩේ මුල්ගල් තියයි.

මාවතගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබුණේ පසුගිය ඉරිදාය. ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවලගේ ඇරැයුමෙන් මාවතගමට පැමිණි ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය. උත්සවය අලංකාර ලෙස සංවිධානය වී තිබූ නමුත් පෙරදින රාත‍්‍රියේ සහ එදින අඵයම මාවතගමට ඇදහැලුණු වර්ෂාව උත්සවශ‍්‍රීය තරමක් අඩුකරන්නට සමත් වී තිබිණි. උත්සවයට පැමිණි ඇමැති වජිරව පිළිගන්නට ගිය දිස්ත‍්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්නගේ අතට නියමිත වේලාවට බුලත් හුරුල්ලක් ලැබී නොතිබීමෙන් බුලත් හුරුල්ලක් එනතුරු මිනිත්තු කිහිපයක් බලා සිටින්නටද ඇමැතිවරයාට සිදුවිය. නව ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමෙන් පසුව මාවතගම සාමෝදය ශාලාවේදී ජනහමුව පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් න්‍යාය පත‍්‍රය සංශෝධනය කරමින් මුල්ගල් තැබීම පසුවට කල්තබන්නට සිදුවිය. ඒ, මුල්ගල් තැබීම පිණිස කැපූ වළවල්වලට වැසි ජලය එකතු වී තිබීම හේතුවෙනි. මුල්ගල් වළවල්වලින් වැසි ජලය ඉවත්කිරීමේ මෙහෙයුමක් ඒ වන විට ආරම්භ වී තිබූ අතර වැසි වතුර අස් කෙරෙන තෙක් ජනහමුවේ වැඩකටයුතු ඇරඹිණි. ජනහමුව අවසන් කළ වජිර සහ අලවතුවල ඇතුලු පිරිස ඊට මදක් ඔබ්බෙන් පිහිටි ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල භූමිය වෙත පිය නැගූහ. මුල්ගල් තැබීම පිණිස සූදානම් කර තිබූ භූමිය මුඵමනින්ම මඩගොහොරුවක් බවට පත් වී තිබිණි. චිරිස්, චිරිස් ගාමින් මඩ මතින් ඇවිද ගිය වජිර සහ අලවතුවල ඇතුලූ ආරාධිතයින් පිරිස අභිනව තෙමහල් ගොඩනැගිල්ල වෙනුවෙන් මඩෙහිම මුල්ගල් තැබූහ. මඩෙහි තැබූ මුල්ගල වුවද අපතේ නොයන පොරොන්දුවක් ඇමැති වජිරගෙන් මාවතගමට ලැබී තිබිණි. ‘‘අපි අනාගතය ගැන හිතලා අපේ ගොඩනැගිලි ටික හදාගන්න ඕනෑ. ඒක නිසා මේ බිල්ඩින් එක තට්ටු තුනට නෙවෙයි. තට්ටු හතරටම හදන්න. ඒකට අවශ්‍ය කරන අමතර මුදල දෙන්නම්. ’’වජිර මාවතගමින් නික්ම යන්නට පෙර මන්ත‍්‍රී අලවතුවලට කීවේය.

මහ ඇමැතිටත් ලොකු සපත්තු කුට්ටමක්.

ඇමැති මංගල සමරවීරගේ ලොකු සපත්තු කුට්ටම් කතාව අමතකවෙමින් තිබියදී තවත් ලොකු සපත්තු කුට්ටම් කතාවකට පසුගිය සතියේදී පණදුන්නේ වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක විසිනි. මහඇමැති ධර්මසිරිගේ සහ ඇමැති දෙහිගමගේ ප‍්‍රධානත්වයෙන් වයඹ සමූපකාර අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ ජූලි මස 01 වැනිදා ජනපති මෛත‍්‍රීගේ ප‍්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්වෙන සමූපකාර දින සැමැරුම පිළිබදව මාධ්‍ය දැනුම්වත් කිරීමටය. මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව පිළිගැන්වුණු තේ කෝප්පය බොන අතරේදී මාධ්‍යවේදීහු ධර්මසිරි සමග සුහද කතාබහක් ඇරඹූහ. ‘‘මහ ඇමැතිතුමා, අපි නම් හිතුවේ ඔබතුමා මේ පාරත් බස්නායක නිළමෙට අදී කියලා. ’’එම දිනවලදී පැවැත්වෙමින් තිබූ ඇත්කද විහාරයේ වාර්ෂික පෙරහැර පිළිබදව සිහිපත් කරමින් මාධ්‍යවේදීහු ඇසූහ. ‘‘අනේ නෑ, මට මේ පාරත් අදින්න කියලා නායක හාමුදුරුවොත් කීවා. දායක සභාවත් කීවා. නමුත් මම බෑ කිව්වා. නැත්තම් මිනිස්සු හිතයි මම මේක බදාගෙන ඉන්නවා කියලා.’ධර්මසිරි සිනාමුසුව කීවේය. පසුගිය වසරේදී බස්නායක නිලමේවරයා ලෙස ඇත්කද විහාර පෙරහැරේ ගමන් කිරීමේදී තමන් ලැබූ රසබර අත්දැකීමක්ද මාධ්‍යවේදීන් හමුවේ ධර්මසිරි විසින් එදින හෙළි කළේය. ‘‘නිළමේ ඇදුම් ඇදගෙන පයින් යනවා කියන්නෙත් සෙල්ලම් වැඩක් නෙවෙයි. එහෙන් හිරවෙලා. මෙහෙන් හිරවෙලා. දාඩිය දානවා. ඒ ඔක්කෝටම හපන් මට ලැබිලා තිබුණු සපත්තු දෙක. මගේ කකුල් වලට වඩා සෑහෙන ලොකුයි. වෙන කාගේදෝ දෙකක්ද කොහේද. ඒ මදිවාට ඉස්සරහින් උල් කරලා නිකම් නැව වගේ. ’’ මාධ්‍යවේදීහු සිනා සයුරේ ගිලෙද්දී ධර්මසිරි එක් අතකින් සපත්තුවේ හැඩයද පෙන්වීය. ‘‘හැබැයි දැන් ගිහින් පත්තරවල දාන්න එපා වැඩේ අමාරු නිසා මම නිලමෙට ඇන්දේ නෑ කියලා. වෙන කෙනෙකුට අවස්ථාව දෙන්න ඕන නිසයි මම මේ පාර පෙරහැරෙන් අයින් වුණේ. නමුත් වයඹ පළාත් සභාව විදිහට පෙරහැර වෙනුවෙන් කළ යුතු සියලු උදව් උපකාර ඒ විදිහටම කරනවා. ’’ මාධ්‍ය සාකච්ඡාවෙන් නැගී සිටිමින් ධර්මසිරි කීය.

පක්ෂයේ පාට ඇදගෙන මහින්ද රංජිත් නවරත්න සමරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතිඅන්තය ගත කළේ කුරුණෑගලදී පැවැති උත්සව කිහිපයකට සහභාගිවෙමිනි. පකිස්ථානු සංචාරය අවසන් කර පසුගිය සිකුරාදා දහවල් දිවයිනට පැමිණ තිබූ මහින්ද සෙනසුරාදා උදෑසනින්ම කුරුණෑගලට පැමිණ තිබිණි. ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ හිටපු නායක, රංජිත් නවරත්නයන්ගේ සිව්වැනි ගුණ සැමැරුම වෙනුවෙන් කුරුණෑගල නගර ශාලාවේදී පැවැති උත්සවයකට මහින්ද පළමුව එක්විය. මහජන පක්ෂයේ නිල වර්ණය වූ දම් පැහැයට සමාන ලා දම් පැහැ කමිසයකින් සැරසී මහින්ද එම උත්සවයට සහභාගිවීම විශේෂත්වයක් විය. මහජන පක්ෂයේ වත්මන් මහලේකම්, පළාත් සභා මන්ත‍්‍රී අසංක නවරත්නගේ ඇරැයුමෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සාලින්ද දිසානායක සහ වාසුදේව නානායක්කාර ඇතුලු පිරිසක්ද ගුණ සැමැරුමට එක් වී සිටියහ. තමන් අසීරු අඩියකට පත්වී සිටි අවස්ථාවක රංජිත් නවරත්නයන් තමන් වෙනුවෙන් පෙරට ආ හැටි මහින්ද සිය කතාවේදී සිහිකළේය. ‘‘මට මතකයි 2005 මගේ මැතිවරණයේදී මගේ අපේක්ෂකත්වය පිළිබදව එතුමා තමයි මුල්ම ප‍්‍රකාශය පුවත්පත්වලට නිකුත් කළේ. මේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ විය යුතු යැයි අපේ පක්ෂය ඒකමතිකව තීන්දු කළා කියලා එතුමා මුලින්ම රටේ ජනතාවට කිව්වා. ඒ නිසා එතුමා එක්ක අපේ තිබුනේ දැඩි මිත‍්‍රත්වයක්. රටට, ජනතාවට ආදරය කරන කෙනෙක් වශයෙන් අද එතුමාගේ පුතාත් දේශපාලනය තුළ කටයුතු කිරීම සහ අපිත් එක්ක එකතුවෙලා වැඩකිරීම පිළිබදව අපි සතුටුවෙනවා. ’’මහින්ද කීවේය. ගුණ සැමැරුම අවසන් කිරීමෙන් පසු, මන්ත‍්‍රී ජොන්ස්ටන් විසින් තමන් වෙනුවෙන් වෙන් කර දී ඇති වැවරවුමේ පිහිටි සුපුරුදු නවාතැනට ගිය මහින්ද එහිදී කෙටි විවේකයක් ගත්තේය.

එදින පස්වරුවේ දඹදෙණිය රජමහා විහාරයට ගිය මහින්ද එහි බෝධීන් වහන්සේ වටා ඉදි කළ රන්වැට විවෘත කිරීමටත්, ඉන් අනතුරුව එහි පැවැති ජනහමුවටත් සහභාගි විය. දඹදෙණිය ආසනය නියෝජනය කරන මහින්ද පිලේ ප‍්‍රබලයෙකු වන වයඹ පළාත් සභා මන්ත‍්‍රී සුමිත් රාජපක්ෂ එම උත්සවයට සහභාගි නොවීම කැපී පෙනිණි. උත්සවය නාරම්මල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඩී. එම්. සුමනසිරිගේ සහ රණවිරු අධිකාරියේ හිටපු සභාපතිනි පද්මා වෑත්තෑවගේ මූලිකත්වයෙන් සංවිධානය වී තිබීම හේතුවෙන් සුමිත් උත්සවය මගහැර ගොස් තිබූ බවට කසුකුසු නැගිණි. සුමිත්ගේ අඩුව මකන්නටදෝ තවත් අමුත්තන් දෙදෙනෙකුම එදින මහින්ද පිල පැත්තට සංක‍්‍රමණය වී තිබූ බවක් දැකගත හැකිවිය. ඉන් එක් අයෙකු වූයේ වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් හේරත්ය. මේ දක්වා මහින්ද පිල සමග නොසිටි කමල් හේරත් දඹදෙණි පන්සලේදී මහින්ද සමග එක් වූ බවක් පෙනෙන්නට තිබිණි. එමෙන්ම තවත් ආන්දෝලනාත්මක කාන්තා චරිතයක්ද එදින උත්සවය පුරාම මහින්ද ආසන්නයේ ගැවසෙමින් සිටිනු පෙණනි. ප‍්‍රකට ව්‍යාපාරික කතක් වන ඕ රජයේ වත්මන් අමාත්‍යවරයෙකුගේ උපදේශක තනතුරක්ද කලක් තිස්සේ හෙබවූවාය. ඇය මහින්දට සමීප වී ඇත්තේ එළැඹෙන පළාත් සභා මැතිවරණයට පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබාගැනීමේ අපේක්ෂාවෙන් බවද තතු දත් අය කියති. කෙසේවෙතත් මෙම කාන්තාව විසින් මහින්ද වෙත රාත‍්‍රි භෝජන සංග‍්‍රහයක් පිරිනැමීමට පවා සැලසුම් කරගෙන සිටි බවත්, මහින්ද පිලේ සෙසු මන්ත‍්‍රීවරුන්ගේ විරෝධය මැද එය ව්‍යර්ථ කෙරුණු බවත් කියැවිණි. දේශපාලනයේ තිරය පිටුපස චරිතයක් ලෙස නම් දරා සිටින මෙම කාන්තාව මහින්ද පිල පැත්තට සේන්දුවීමත් සමග ඇය ගැන මෙන්ම ඇය උපදේශක තනතුරක් හෙබ වූ අමාත්‍යවරයා පිළිබදවත් අනාවැකි සහ කතන්දර තොග ගණනින් කියැවෙන්නට පටන් ගෙන ඇති අතර ඒවායේ ඇති හරි වැරැදි බව බලාගන්නට නම් තවත් ටික කලක් ඉවසා සිටින්නට වයඹ ජනතාවට සිදුවනු ඇත. දඹදෙණි රජමහා විහාරයේ වැඩසටහන අවසන් කළ මහින්ද ඒ ආසන්නයේ නිවසක සූදානම් කර තිබූ රාත‍්‍රි භෝජන සංග‍්‍රහයකටද එක්විය. සිය හිතවතෙකුගේ උපන්දින සාදයකට සහභාගි වන්නට ඇති බව කී මන්ත‍්‍රී ජොන්ස්ටන් මහින්දගෙන් සමුගෙන එතැනින්ම කොළඹ බලා පිටත් වූ අතර මහින්ද කුරුණෑගලට බලා එන්නට කාරයට නගින අතරේ ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමිත් උඩුකුඹුර දුටුවේය. ‘‘සුමිත්, යමු මාත් එක්ක. ’’යැයි කී මහින්ද, සිය මර්සිඩීස් රථයට නංවා සුමිත් ද ගත්තේය. ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ජයග‍්‍රහණය කිරීමේ ඇති වැදගත්කම පිළිබද කතාබහක යෙදුණු දෙදෙනා රැගත් මෝටර් රථය වැවරවුමේ පිහිටි මහින්දගේ නවාතැනට ළගාවිය.

ජොනීගේ ගෙදරදී මගුලක් !

ඉරිදා දිනට නියමිත වැඩසටහන්වලට පිටත්වීමට පෙර විවාහයක සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් තැබීමට මහින්දට සිදුවිය. මහින්දගේ මෙන්ම ජොන්ස්ටන්ගේත් ආධාරකරුවන් වූ පොල්පිතිගම ප‍්‍රදේශයේ යුවලකගේ විවාහය ලියාපදිංචි කිරීම වැවරවුමේ පිහිටි මහින්දගේ නවාතැනේදී සිදුවිය. තම විවාහයට මහින්ද සහ ජොන්ස්ටන් සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළ යුතුම බවට මනාල යුවල විසින් කළ දැඩි පෙරැත්තය හේතුවෙන් එම කටයුත්ත මහින්දගේ නවාතැනේදී සිදුකර ගැනීමට ජොන්ස්ටන් අවසර ලබා දී තිබිණි. එහිදී මනාලයාගේ පාර්ශ්වයෙන් මහින්දත්, මනාලියගේ පාර්ශ්වයෙන් ජොන්ස්ටනුත් සාක්ෂිකරුවන් ලෙස අත්සන් තැබූහ. විවාහ ලියාපදිංචි කිරීම වෙනුවෙන් එම නිවසේදී තේ මේසයක්ද සූදානම් වී තිබූ අතර මනාල යුවළ සමග තේ මේසය ඉදුල් කිරීමටද මහින්ද එක්විය. නව යුවල සමග ඡායාරූප කිහිපයකටද පෙනී සිටි මහින්ද නැවත උඩුමහලට ගොස් සාටකය සහිත ජාතික ඇදුම ගලවා නිල් පැහැති කමිසයකින් සහ කලිසමකින් සැරසී පහත මාලයට ආවේය. අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ගිය මහින්ද අතර එහි නේවාසිකව ප‍්‍රතිකාර ලබන කොබෙයිගනේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ධම්මික හෙට්ටිආරච්චිගේ සුවදුක් විමසා බැලීය. ඉන් අනතුරුව වැව රවුමේ පිහිටි මන්ත‍්‍රී සාලින්දගේ නිවසට පැමිණි මහින්ද එහිදී පැවැති කිරිගොවි හමුවකට එක්විය.

දොඩම්ගස්ලන්ද, උඩත්තාපොල විහාරස්ථානයේ විහාර මන්දිරය විවෘත කිරීම මහින්ද ආවේ එදින පස්වරුවේදීය. එහිදී මහින්දට පෙර සභාව ඇමැතූ ජොන්ස්ටන්ට වයඹ මහ ඇමැතිගේ නම මාරුවීමෙන් අකරතැබ්බයකට මුහුණදීමටද සිදුවිය. සභාව අමතමින් ජොන්ස්ටන් කීවේ මෙම උත්සවය සදහා රිදීගම ප‍්‍රාදේශීය සභාවෙන් කිසිදු සහයෝගයක් නොලැබුණු බවත්, මේවා පිටුපස සිටින්නේ වයඹ මහ ඇමැති අතුල විජේසිංහ බවත්ය. සභාවෙන් කසුකුසු නැග එද්දී වේදිකාවේ පසුපස අසුන්වල සිටි මන්ත‍්‍රීවරු ජොන්ස්ටන් නිවැරදි කළහ. ‘‘සමාවෙන්න, අතුල නෙවෙයි ධර්මසිරි දසනායක’’යැයි කියමින් සිය වරද නිවැරදි කරගත් ජොන්ස්ටන් ධර්මසිරි වෙත අවලාද වැලක්ම මුදාහළේය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 ජූනි 29 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article