Friday, April 26, 2024

වයඹ මගී ප‍්‍රවාහන අධිකාරියෙන් රූට් පර්මිට් හතරක් අතුරුදන් !

Must read

root_permit

වයඹ පළාතේ මාර්ගවල මගී ප‍්‍රවාහන කටයුතු සදහා අවසරදෙමින්, වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින් පුද්ගලික බස්රථ සදහා නිකුත් කරන මගී ප‍්‍රවාහන ධාවන බලපත‍්‍ර ( රූට් පර්මිට් ) හතරක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් වයඹ පළාත් විගණන දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ ගබඩාවෙන් එහි ධාවන අංශය වෙත නිකුත් කරනු ලැබූ බලපත‍්‍ර අංක 9413,9414,9458 සහ 9459 දරණ ධාවන බලපත‍්‍ර මෙලෙස අස්ථාන ගත වී තිබේ. මෙම ධාවන බලපත‍්‍ර පසුගිය අපේ‍්‍රල් මාසයේදී සහ ජූනි මාසයේදී වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ ගබඩාවෙන් එහි ධාවන අංශය වෙත නිකුත් කර ඇති අතර, එම අංශයේ තිබියදී මෙම බලපත‍්‍ර හතර අවස්ථා දෙකකදී අස්ථාන ගත වී තිබේ. අදාල ධාවන බලපත‍්‍ර අස්ථාන ගත වී ඇති බවට, ධාවන අංශයේ සේවිකාවන් විසින් වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකාරවරයා දැනුවත් කර ඇති නමුත් ඒ පිළිබදව අධිකාරියේ සභාපතිවරයා හෝ වෙනත් වගකිවයුතු නිලධාරියෙකු දැනුම්වත් කිරීමට ධාවන කළමනාකාවරයා කටයුතු කර නැති බවද ප‍්‍රවාහන අධිකාරියේ ආරංචිමාර්ග කියයි.

නව බස්රථ සදහා ධාවන බලපත‍්‍ර නිකුත් කිරීමේදී, එලෙස නිකුත්කෙරෙන ධාවන බලපත‍්‍රවල අංක වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින් පවත්වාගෙන යන නිකුත්කිරීමේ ලේඛණයක අනුපිළිවෙලින් සටහන් කෙරෙන නමුත් අස්ථානගතවී ඇති බලපත‍්‍රවල අංක අදාල නිකුත්කිරීමේ ලේඛණයෙහිද සටහන් වී නොමැත. විශේෂත්වය වන්නේ අස්ථානගත වූ බලපත්වල අංක හැර, ඊට පසුව නිකුත් කළ බලපත‍්‍ර අංකයන්ද අනුපිළිවෙලින් එම නිකුත්කිරීමේ ලේඛණයෙහි සටහන්ව තිබීමයි.වයඹ මාර්ගස්ථ අධිකාරිය සතු වටිනාම ලේඛණය ලෙස සැලකෙන මගී ප‍්‍රවාහන ධාවන බලපත‍්‍රය රජය සතු දේපලක් ලෙස සැලකෙයි. පුද්ගලික බස්රථවලින් මගීන් ප‍්‍රවාහනය කිරීම සදහා අවසර ලබාදෙමින් රජයෙන් නිකුත්කෙරෙන නිල ලේඛණය වන මගී ප‍්‍රවාහන ධාවන බලපත‍්‍රයක් නිකුත් කිරීම වෙනුවෙන් ඒ ඒ මාර්ගයන්හි වෙළද වටිනාකම අනුව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ තිහ අතර මිලක් වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියෙන් අයකෙරෙයි. එවැනි ඉහළ වටිනාකමක් සහිත මගී ප‍්‍රවාහන ධාවන බලපත‍්‍ර අස්ථානගතවීමක් වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බවද තතු දත් අය කියති.

මගී ප‍්‍රවාහන ධාවන බලපත‍්‍ර අස්ථානගතවීම පිළිබදව වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති අයි. පී. ඩී. ගුණතිලක මහතාගෙන් දිනමිණ කළ විමසීමකදී හෙතෙම පැවැසුවේ අදාල සිදුවීම පිළිබදව පරීක්ෂණයක් පැවැත්වෙමින් ඇති බැවින් ඒ පිළිබදව තමන්ට කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බවය. සිදු වී ඇත්තේ කුමක්දැයි තමන්ට නිශ්චිතව ප‍්‍රකාශ කළ හැකිවන්නේ එම පරීක්ෂණ කටයුතු අවසන්වීමෙන් පසුව බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

- Advertisement -spot_img

More articles

1 COMMENT

Leave a Reply to K.my Samantha kumara Cancel reply

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article