Friday, April 26, 2024

පාර අයිනේ වඩේ විකුණූ වඩේ අම්මගේ සල්ලි ටින් එකටත් වැඩේ දීලා ! ( VIDEO )

Must read

wade_kade

පාර අයිනේ වඩේ විකුණා දිවි රැකගන්නා කාන්තාවකගේ මුදල් බහා තිබූ ටින් බෙලෙක්කයක්, ත‍්‍රිරෝද රථයකින් පැමිණි මංකොල්ලකරුවන් දෙදෙනෙකු විසින් පැහැරගෙන පලායාමේ කණගාටුදායක පුවතක් ඉබ්බාගමුව ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.

පසුගිය 10 වැනිදා පස්වරුවේ සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ ගොකරැල්ල, ගොඩගම ප‍්‍රදේශයේ පදංචි එච්. එම්. හේමතිලකා නැමැති 57 හැවිරිදි කාන්තාවකි. මෙම කාන්තාව ඉබ්බාගමුව නගරයට නුදුරින් , කුරුණෑගල – දඹුල්ල ප‍්‍රධාන මාර්ගයට යාබදව ඉදිකර ගත් තාවකාලික මඩුවක් තුළ වඩේ හදා විකිණීමෙන් ලැබෙන සුඵ ආදාමෙන් දිවි රැකගන්නා අයෙකි. වඩේ විකිණීමට අමතරව පාර අයිනේ තබාගෙන අඩු මිල රබර් සෙරෙප්පුද ඇය විසින් එම ස්ථානයේදී අලෙවිකරයි.

තමන්ට මුහුණදීමට සිදු වූ අත්දැකීම පිළිබදව එච්. එම්. හේමතිලකා මහත්මිය වයඹ ටුඩේ වෙත මෙලෙස විස්තර කළාය.

‘‘ එදා දවල් දොළහ හමාරට විතර ත‍්‍රීවිල් එකකින් දෙන්නෙක් ඇවිත් කරත්තේ ඉස්සරහා නැවැත්තුවා. රුපියල් සීයක පරිප්පු වඩේ ගන්න පුලුවන්ද නැන්දේ කියලා ඇහැව්වා. මම කිව්වා එච්චර නම් වඩේ නෑ, ටිකක් ඉන්න පුලුවන් නම් හදලා දෙන්නම් කියලා. හරි එහෙනම් හදන්නකෝ කියලා එක්කෙනෙක් ත‍්‍රීවිල් එකෙන් බැහැලා ඇවිත් කඩේ ඇතුලේ ඉදගත්තා. අනිත් එක්කෙනා ත‍්‍රීවිල් එක හරවගෙන යන්න ගියා. මම තෙල් තාච්චිය රත්වෙන්න තියලා, හදපු වඩේ කීයක් පෙට්ටියේ තියෙනවාද කියලා බලන්න කරත්තේ ඉස්සරහට ආවා. පාර පැත්තට වෙලා ඒ වඩේ ටික ගණන් කර කර ඉද්දී කඩේ ඇතුලෙන් මාරු කාසි හෙල්ලෙන හඩක් ඇහුණා. මම ඔලුව උස්සලා බලද්දී අර ඉදගෙන හිටපු කෙනා සල්ලි ටින් එක තියෙන තැනට ඇවිත් ඉන්නවා දැක්කා. මම දුවගෙන කඩේ ඇතුලට එද්දී ඒ මනුස්සයා සල්ලි ටින් එකත් අරගෙන අනිත් පැත්තෙන් එළියට පැන්නා. එතකොටම අර ත‍්‍රීවිල් එකත් වේගෙයෙන් එතැනට ආවා. ඒ මනුස්සයා ත්‍රිවිල් එකට නැගලා පැනලා ගියා. මම කෑ ගහගෙන පස්සෙන් දිව්වත් අල්ලගන්න බැරි වුණා. ඒ ටින් එකේ රුපියල් පහලොස්දාහක් විතර මුදලක් තිබුණා. දවස් කීපයක් තිස්සේ වඩේ විකුණපු සල්ලියි, සපත්තු විකුණපු සල්ලියි ඔක්කොම ඒ ටින් එකේ තමයි තිබුණේ. ’’ යැයි කීවාය.

විකිණීමෙන් පසුව මුදල් ගෙවීමේ පදනම මත ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රබර් සෙරෙප්පු ලබාගෙන විකුණන බවත්, ටින් එකේ තිබූ මුදලින් වැඩි ප‍්‍රමාණයක් එලෙස ණයට ලබාගත් සෙරප්පු විකිණීමෙන් ලැබුණු මුදල් වන බැවින් අදාල ව්‍යාපාරිකයා වෙත එම මුදල පියැවීමට දැන් තමන්ට ප‍්‍රශ්නයක් වී ඇතැයි හේමතිලකා මහත්මිය හැඩූ කදුළින් යුතුව කීවාය. ඉබ්බාගමුව සහ ඒ අවට ප‍්‍රදේශවල වෙසෙන තරුණයින් විශාල පිරිසක් මේ වනවිට මත් කුඩුවලට ඇබ්බැහි වී සිටින බවත්, මත්කුඩු මිලදීගැනීම සදහා එම පිරිස් විසින් සිදුකරන සොරකම් සුලබ වී ඇති බවත් ප‍්‍රදේශවාසීහු කියති. මෙම සොරකමද මත්කුඩුවලට ඇබ්බැහි වූ එවැනි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකරන්නට ඇති බවට සාධාරණ සැකයක් මතුවන බවද ප‍්‍රදේශවාසීහු වැඩිදුරටත් කියති. අදාල කාන්තාවගෙන් මුදල් පැහැරගෙන පලායන ආකාරය ඒ ආසන්නයේ පිහිටි වෙළදසැලක ආරක්ෂිත කැමරාවක සටහන් වී ඇති අතර එම දර්ශණවලින් හෙළිකර ගත් තොරතුරු ඔස්සේ ගොකරැල්ල පොලිසිය මෙම සොරකම පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අදාල සොරකම සිදු වූ අවස්ථාව සහිත වීඩියෝව සහ ඡායාරූප පහලින් දැක්වෙයි.

මුදල් ටින් එක සොරාගෙන කඩෙන් එළියට එන අයුරු

wade_kade_1

මුදල් ටින් එක රැගෙන ත‍්‍රිරෝද රථයෙන් පලායන අයුරු

wade_kade_2

හේමතිලකා මහත්මිය ඒ පසුපස දිව යන අයුරු

wade_kade_3

wade_kade_5

wade_kade_4

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article