Friday, April 26, 2024

ටවුමට එන බයික් උස්සන පොඩි කොල්ලෙක් කුරුණෑගලින් අල්ලයි.

Must read

bike_robbery_kuruneg_1

කුරුණෑගල නගරය තුළ නවතා තිබෙන යතුරුපැදි සොරකම් කිරීමේ යෙදී සිටි ලාබාල තරුණයෙකු, ඔහු විසින් සොරාගත් බව කියන රුපියල් තුන් ලක්ෂ අසූ දහසකට වැඩි වටිනාකමකින් යුත් යතුරුපැදි 03 ක්ද සමග කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් පෙරේදා ( 19 දා ) අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ කරදගොල්ල , අඹකොටේ පදිංචි ප‍්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. වසර දෙකක පමණ කාලයක් යුද හමුදාවේ සේවය කර ඇති සැකකරු, මේ වනවිට නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වී සිටින අයෙකු බව පොලිසිය කියයි. පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ සැකකරු විසින් කුරුණෑගල නගරයේ ස්ථාන තුනක නවතා තිබූ යතුරුපැදි සොරකම් කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. සැකකරු සතුව ඇති යතුරුවලින් යතුරුපැදි පණගන්වා සොරකම් කරගෙන ගොස් ඇතැයිද, එලෙස පණගැන්වීමට නොහැකි වූ යතුරු පැදියක් නගරයේ පිහිටි යතුරු කපන ස්ථානයකට තල්ලු කරගෙන ගොස් එහි යතුර නැති වූ බව පවසා යතුරක් කප්පවාගැනීමෙන් පසුව සොරකම් කරගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි. එලෙස සොරාගත් යතුරුපැදි කොටස් කර අලෙවි කිරීමට සැකකරු සූදානමින් සිටි බවද පොලිසිය කියයි.

පසුගිය මාස හතර තුළ නගරය තුළ සිදු වූ මෙම යතුරුපැදි සොරකම් පිළිබදව සෙවිල්ලෙන් පසු වූ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් කුරුණෑගල ආගමන විගමන කාර්යාලය ඉදිරිපිට සොරකම් කරන ලද යතුරුපැදියක් පසුගිය දිනෙක නවතා ඇති බව අනාවරණය කරගෙන තිබේ. එම යතුරු පැදියේ නැගී ආපසු යාමට සැරසුණු සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත ඔහුගේ නිවසේ සගවා තිබූ සොරාගන්නා ලද අනෙක් යතුරුපැදි දෙකද පොලිස් නිලධාරිහු අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් සැකකරු කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කරනු ලැබීය.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. එම්. සී. දිසානායක මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක එස්. පී. රාජපක්ෂ , උප පොලිස් පරීක්ෂක චරිත සාවින්ද , පොලිස් සැරයන් සේනාරත්න (27861) , බණ්ඩාර (58677) , පොලිස් කොස්තාපල් අශෝක් (26938) , නිමල් (36730) , කීර්ති (36757) සහ අධිකාරි (46604) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

සොරකම් කරන ලද යතුරු පැදි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව

bike_robbery_kuruneg_3

bike_robbery_kuruneg_2

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article