Friday, April 26, 2024

කොහුබත්, ලී කුඩු කවලම් කර කසල තේ රට පටවන ජාවාරමක් මාවතගමින් අල්ලයි. ( VIDEO )

Must read

mawatagama_tea_factory_rade

තේ කම්හල්වලින් බැහැර කරන කසල තේ වලට කොහුබත්, ලී කුඩු ආදිය කවලම් කර ශ‍්‍රී ලංකා තේ නාමය යටතේ යළි ඇසුරුම් කිරීමෙන් පසුව විදේශ රටකට යැවීම සදහා ප‍්‍රවාහනය කරමින් තිබූ කසල තේ තොගයක් අත්අඩංගුවට ගත් මාවතගම පොලිසිය එම කසල තේ ඇසුරුම් කළ බව කියන කම්හලක්ද වටලා කලක් තිස්සේ පවත්වාගෙන ගිය කසල තේ පිටරට පැටවීමේ ජාවාරමක් අනාවරණය කරගැනීමට ඊයේ ( 23 දා ) සමත්විය.

අපිරිසිදු තේ තොගයක් ප‍්‍රවාහනය කරමින් ඇති බවට මාවතගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත ඊයේ අඵයම මාවතගම නගරාසන්නයේදී මාර්ග බාධක යොදා කළ මාර්ග පරීක්ෂාවකදී කසල තේ ඇසුරුම් පිර වූ බහාලුමක් ( කන්ටේනරයක් ) ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. වරාය වෙත ගෙනයමින් තිබූ බව කියන එම බහාලුම තුළ අසුරා තිබූ කිලෝ 35 බැගින් වූ කසල තේ උර 510 ක් පොලිසිය විසින් සොයාගත් අතර එලෙස සොයාගත් කසල තේ තොගයේ මුලු බර කිලෝග‍්‍රෑම් 17850 ක් වන බව පොලිසිය කියයි.

ලොරි රථයේ රියදුරුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුව පරගහදෙණිය, සිංහපුර ප‍්‍රදේශයේ පිහිටි මෙම කසල තේ ඇසුරුම් කළ බව කියන කම්හලද ඊයේ උදෑසන පොලිසිය විසින් වටලනු ලැබීය. ඇසුරුම් කිරීම සදහා එහි ගෙනැවිත් තිබූ තවත් කසල තේ විශාල තොගයක්ද එම කම්හල තුළ ගබඩාකර තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය. කසල තේ වල බර වැඩි කිරීම සදහා මිශ‍්‍ර කිරීමට ගෙනැවිත් තිබූ බව කියන කොහුබත් සහ ලී කුඩු මලු කිහිපයක්ද එම කම්හල තුළ තිබියදී පොලිස් භාරයට ගනු ලැබීය. සිංහපුර ප‍්‍රදේශයේ පිහිටි නිවසක ගරාජයක් වැනි කොටසක දැඩි අපිරිසිදු තත්වයෙන් පවත්වාගෙන ගොස් තිබූ මෙම ඇසුරුම් කම්හල තුළ තිබූ තේ සදහා මිශ‍්‍ර කිරීමට යොදාගත් බව කියන රසායනික දියර කිහිපයක්, ශ‍්‍රී ලංකා තේ නාමය මුද්‍රිත ඇසුරුම් මලු තොගයක්, බිම් තරාදියක්, හලනයක් සහ ව්‍යාජ කල්ඉකුත්වීමේ දින මුද්‍රණය කළ ලේබල් තොගයක් ඇතුලු තවත් උපකරණ කිහිපයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කසල තේ ප‍්‍රවාහනය කිරීමට යොදාගත් බව කියන තවත් ලොරියක් සහ ත‍්‍රිරෝද රථයක්ද එම කම්හල් භූමියේ ගාල් කර තිබියදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම ඇසුරුම් කම්හලේ හිමිකරු බව කියන ව්‍යාපාරිකයෙකුද පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය. අදාල පුද්ගලයා විසින් මෙම නිවෙසේ ගරාජයක් වැනි කොටස බදු පදනම මත ලබාගෙන කලක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. උඩරට ප‍්‍රදේශවල පිහිටි තේ කම්හල්වලින් බැහැරකෙරෙන කසල තේ ඉතා අඩු මිලකට මිලදීගැනීමෙන් පසුව මෙම ස්ථානයට ගෙනැවිත් ඇති බවත්, එහිදී කොහුබත් සහ ලී කුඩු මිශ‍්‍ර කර ශ‍්‍රී ලංකා තේ නාමය සහිතව නව ඇසුරුම්වලට ඇසිරීමෙන් පසුව විදෙස් රටවලට අපනයනය කර ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, අත්අඩංගුවට ගත් තේ කම්හල් හිමිකරු සහ කන්ටේනර් ලොරි රථ රියැදුරු අද (24 දා )අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මාවතගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සදසිරි මහතාගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනාධීර ජයකොඩි මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක සුබසිංහ , උප පොලිස් පරීක්ෂක විජේරත්න , පොලිස් සැරයන් අබේකෝන් (27602) , පොලිස් කොස්තාපල් සෙනෙවිරත්න (58567) , පෙරේරා (35663) , නුවන් (79998) සහ විජේනායක (50685) යන නිලධාරීහු වැටලීම සිදුකළහ.

පොලිසිය විසින් අදාල  කසල තේ කම්හල වැටලූ අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පහත දැක්වෙයි.

mawatagama_tea_factory_rade_1 mawatagama_tea_factory_rade_2 mawatagama_tea_factory_rade_3 mawatagama_tea_factory_rade_5 mawatagama_tea_factory_rade_4 mawatagama_tea_factory_rade_6

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article