Friday, April 26, 2024

මාල කඩපු හොරෙක් පස්සේ කිලෝමීටර් එක හමාරක් ලුහුබැද අල්ලාගත් තැපැල් මහත්තයෙක් !

Must read

chain_robber

කාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් කඩාගෙන පලායමින් සිටි මංකොල්ලකරුවෙකු පසුපස කිලෝමීටර් එක හමාරකට වැඩිදුරක් ලුහුබැද අල්ලාගැනීමෙන් පසුව පොලිසියට භාරදුන් ආදර්ශමත් තැපැල් සේවකයෙකු පිළිබදව කුරුණෑගලින් වාර්තා වෙයි.

මෙම ආදර්ශමත් ක‍්‍රියාව සිදුකර ඇත්තේ කුරුණෑගල නියෝජ්‍ය තැපැල්පති කාර්යාලයේ සේවය කරන 47 හැවිරිදි රංජිත් ලොකුගේ මහතා විසිනි. කුරුණෑගල, වැහැර ප‍්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන ලොකුගේ මහතා වැහැර සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. ඒ මහතා විසින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී කළ මෙම සද්ක‍්‍රියාව හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතු නිලධාරිනියකට අයත් රුපියල් 78000 කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් බේරාගැනීමට මෙන්ම දිවයින පුරා සිදු වූ මාල කැඩීමේ අපරාධ ගණනාවකට සම්බන්ධ මංකොල්ලකරුවෙකුද නීතියේ රැහැනට හසුකරගැනීමට හැකිවිය.

තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබදව වයඹ ටුඩේ වෙත  විස්තර කළ රංජිත් ලොකුගේ මහතා මෙසේ පැවසීය.

‘‘ පසුගිය 21 වැනිදා මම වැඩ ඇරිලා ගෙදර යද්දී තමයි මේ සිදුවීම වුණේ. සාමාන්‍යයෙන් වැඩ ඇරුණාම ඔපිස් එක ඉස්සරහින්ම බස් එකේ නැගලා ගෙදර යන එත තමයි මගේ පුරුද්ද. නමුත් එදා මගේ පොඩි දුවට ඕන කරන පින්තුර කොලයක් ගන්න තිබුණු නිසා ටවුමට ගියා. මම ඔපිස් එකේ ඉදලා ටවුමට පයින් තමයි ගියේ. පේෂකර්ම වෙළද සංකීර්ණය ළගදී මගේ ඉස්සරහින් ගිය නෝනා කෙනෙක් ළගට එකපාරටම කඩා පැනපු කෙනෙක් එයාගේ කරේ තිබුණු මාලේ කඩාගෙන දුවන්න ගත්තා. මේ සිදුවීම වුනේ මට අඩි කිහිපයක් ඉස්සරහිනුයි. ඒ නිසා මාලේ කඩාගන්න හැටි මගේ ඇස් දෙකටම දැක්කා. මට එකපාරටම මතක් වුණේ මගේ ලොකු දුව. එයාටත් තියෙන්නේ ඒ වගේම මාලයක්. මගේ ලොකු දුවට මේ වගේ දෙයක් වුණානම් කියන සිතුවිල්ලත් එක්කම දෙපාරක් නොහිතාම හොරා පස්සේ දුවන්න ගත්තා. ඒ වෙනකොටත් මාලේ කඩපු මනුස්සයා මට හිතපු තැන ඉදලා මීටර් ගාණක් ඉස්සරහට දුවලයි හිටියේ. ටික දුරක් දුවනකොට සපත්තු දාගෙන දුවන්න අමාරුයි කියලා මට තේරුණා. ඒ නිසා සපත්තු දෙක ගලවලා අතට අරගෙන මේස් පිටින් දුවන්න පටන් ගත්තා. දුවන අතරේම ‘‘හොරෙක් මාලයක් කඩාගෙන දුවනවා, අල්ලගන්න උදව් කරන්න’’ කියලා පාරේ ගිය වාහනවලින් උදව් ඉල්ලුවා. නමුත් කිසිකෙනක් උදව්වට මගේ උදව්වට ආවේ නෑ. මාලේ කඩාගත්තු හොරා පුත්තලම් පාර දිගේම තමයි දිව්වේ. ඒ නිසා මම දැනගත්තා මේ මනුස්සයා කුරුණෑගල ගැන දන්න කෙනෙක් නෙවෙයි කියලා. කිලෝමීටර් එක හමාරක් විතර පැන්නුවාම මට මිනිහා ළගට කිට්ටු කරන්න පුලූවන් වුණා. මිනිහා අල්ලගන්න ලෑස්තිවෙද්දී ආපහු හැරිලා මට ගහන්න උත්සාහ කළා. ඒවත් වළක්වාගෙන සමූපකාර ෂෙඩ් එක ළගදී මිනිහාව අල්ලගත්තා. පාරේ ගිය ත‍්‍රීවිල් එකක් නවත්තාගෙන මිනිහව ඒකට දාගත්තා. ත‍්‍රීවිල් එකේදී මිනිහා මට එක එක කතා කියන්න ගත්තා. උසාවියේ දඩයක් ගෙවන්නයි මාලේ කැඩුවේ කීවා. මම මිනිහට කීවා පොලිසියට ගිහින් ඒවා බලාගමු කියලා. මම මිනිහව මාලේ කඩපු තැනට අරගෙන ආවා. එතැන අර මාලේ අයිති නෝනා අඩ අඩා හිටියා. හොරාට අහුවෙලා තිබුණේ මාලෙන් කෑල්ලක් විතරයි. අනෙක් කොටස ඒ නෝනගේ අතේ තිබුණා. පස්සේ ඒ නෝනවත් දාගෙන තවත් ත‍්‍රීවිල් එකකින් පොලිසියට ගිහින් අර මනුස්සයාව පොලිසියට භාර දුන්නා. ’’යැයි ලොකුගේ මහතා කීවේය.

‘‘ඒ මාලේ අයිති නෝනා මම කලින් අදුනන කෙනෙක් නෙවෙයි. නමුත් මගේ ඇස් ඉස්සරහා එයාගේ මාලේ කඩාගෙන යනවා දැක දැකත් අහක බලාගෙන ඉන්න මට බැරිවුණා. ඒකයි මම ඒ හොරා පස්සේ දිව්වේ. ඒ මාලේ කඩපු මනුස්සයා මගේ වයසින් භාගයක් විතර වෙන තරුණයෙක්. ඒ වගේ තරුණයෙක් පස්සේ හරි දුවලා මිනිහව අල්ලගන්න පුලුවන් කියන ආත්ම විශ්වාසය මට තිබුණා. මනුස්සයෙක් විපතට පත්වෙච්ච වෙලාවක තවත් මනුස්සයෙක් විදිහට මට උදව් කරන්න පුලුවන් වුණා කියන මේ සතුට මට හැමදාම තියෙයි. තමුන් ඉස්සරහා සිද්ධවෙන අපරාධ සහ අසාධාරණකම්වලදී නොදැක්කා වගේ ඉන්නේ නැතිව ඒවාට එරෙහිවෙන්න පුලුවන් නම් මේ රටේ පැතිරිලා තියෙන අපරාධ ටිකක් හරි අඩුවෙයි කියලා මම හිතනවා. ’’ලොකුගේ මහතා අවසන් වශයෙන් පැවසීය.ලොකුගේ මහතා විසින් අල්ලාගත් මංකොල්ලකරු කුරුණෑගල මූලස්ථාන පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

රංජිත් ලොකුගේ මහතා

chain_robber_1

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article