Friday, April 26, 2024

නාමල්අංග නාහිමි අනුශාසනාවට හූ හඩ එක්ක අත්පුඩිත් වැදෙයි !

Must read

ayg_2017_09_12

සිල් රෙද්දේ වගකීම භාරගන්න මහින්ද කොබෙයිගනේටම එයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය ඉරිදා දවස ගතකළේ කුරුණෑගල පැවැති වැඩසටහන් කිහිපයකට එක්වෙමිනි. මහනුවර පැවැති වැඩසටහන් කිහිපයක් අවසන් කර සෙනසුරාදා රාත‍්‍රියේ කුරුණෑගලට පැමිණි මහින්ද වැවරවුමේ පිහිටි නිවසේ නවාතැන් ගත්තේය. ඉරිදා උදෑසන කොබෙයිගනේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ධම්මික හෙට්ටිආරච්චිගේ නිවසට ගිය මහින්ද ඔහුගේ පවුලේ ඥාතීන්ගේ සුවදුක් විමසා බැලීය. මහින්ද පිලේ කුරුණෑගල දිස්ත‍්‍රික් මුල් පුරුකක් වූ ධම්මික පසුගිය ජූනි මාසයේදී හිදිසියේ අභාවප‍්‍රාප්ත වූ අතර ඔහුගේ මළගමට සහභාගිවන්නට නොහැකිවීම හේතුවෙන් මහින්ද එම ගමන විශේෂයෙන්ම යොදාගෙන තිබූ බව කියැවිණි. ධම්මිකගේ දරු දෙදෙනා සහ බිරිදගේ සුවදුක් විමසා බැලූ මහින්ද ඔවුන් සමග සුහද කතාබහක යෙදෙමින් එම නිවසේ ටික වේලාවක් ගතකළේය. නිවසින් එළියට බැස්ස මහින්ද වටකරගත් මාධ්‍යවේදීහු සිල් රෙදි නඩු තීන්දුව පිළිබදව විමසන්නට වූහ. මාධ්‍යයට පිළිතුරු දුන් මහින්ද කීවේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සිල් රෙදි බෙදන ලෙසට නියෝග ලබාදුන්නේ තමන් විසින් බවය. එබැවින් එහි වගකීම තමන් භාරගන්නා බව කියමින් මහින්ද විසින් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කළේ ධම්මික හෙට්ටිආරච්චිගේ නිවසේ එළිපත්තේ සිටගෙනය.

ජොනීට වැටුණු මහින්දගේ ඡන්ද.

මහින්ද එදින පස්වරුවේ මැල්සිරිපුරට ආවේ නාමල්අංග රජමහා විහාරස්ථානයේ අභිනව චෛත්‍ය සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වීමටය. මුල්ගල් තැබීමේ උත්සවයට සැලකිය යුතු ජනකායක් සහභාගි වී සිටි නමුත් එම උත්සවයට දේශපාලන මුහුණුවරක් ලැබීම හේතුවෙන් නාමල්අංග දායක සභාවේ යම් දෙදරීමක් ඇති වූ බවද කියැවිණි. දායක සභාවේ ලේකම්වරයා, කාරක සභික පිරිසක් සහ දායක දායිකාවන් පිරිසක් උත්සවය වර්ජනය කර තිබුණේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. එම පිරිසගේ විරෝධය සාධාරණ විරෝධයක් බවට පත්කරවමින් නාමල්අංග විහාරයේ මුල්ගල් තැබීමේ උත්සවය ආගමික උත්සවයක ස්වරූපය ඉක්වමා යමින් දේශපාලන රැළියක ස්වරූපයක් සත්‍ය වශයෙන්ම ලැබී තිබිණි. පන්සල් තුළට දේශපාලනය වද්දවාගැනීමේ අනිටුඵල ඇස්පනාපිට පෙන්වමින් නාමල්අංග විහාරාධිපති උඩකැන්දවල පේමරතන නාහිමියන් විසින් කළ අනුශාසනාවේදී කියැවුණු දේවල්වලට රැස්ව සිටි පිරිස හූ හඩ නගමින් අත්පුඩිද ගැසූහ. පේමරතන නාහිමියන්ගේ අනුශාසනාව මහින්දගේ අතීතය, වර්තමානය සහ අනාගතය මුල්කරගනිමින් කෙරුණු එකක් විය. තමන්ට යාබද අසුනේ සිටි මහින්ද, නාහිමියන් විසින් මුලු අනුශාසනාව පුරාම හදුන්වනු ලැබුවේ ‘‘මුන්නැහේ ’’යන ආමන්ත‍්‍රණයෙනි. ‘‘ආප්ප කාලා, මම යනවා කියලා ගිය මනුස්සයාට ඒ වෙලාවේ නීතිය ක‍්‍රියාත්මක වුණේ නැහැ.’’සභාවෙන් හූ හඩ, සිනා හඩ සමග අප්පුඩි වැදුණේ නා හිමියන් එලෙස කියද්දීය. ‘‘අපේ ජනාධිපතිතුමාට ඒක කල්පනාව නැතිවුණා. මුන්නැහේට අපල කාලයක් තිබුණා. මම ඒක පිළිගන්නවා. අර පාර අයිනේ බෝඩ් එකක් ගහලා තිබුණා ඒ දවස්වල. ඒක කඩාගෙන වැටුණා. මම පහුගිය ඡන්දෙදී ඡන්දේ දාන්න කියලා මුන්නැහේගේ නොම්බරේ අතේ ලියාගෙන ගියා. මට අමතකවෙන හින්දා. ඡන්දේ දාලා ඇවිත් බලපුවාම ඒකත් වැදිලා තියෙන්නේ මේ ජොන්ස්ටන්ට. ’’මහින්දට එහා අසුනේ සිටි ජොන්ස්ටන් පෙන්වමින් නා හිමියෝ කියද්දී සභාව යළි සිනා සයුරක ගිලී ගියේය. රැස්ව සිටි පිරිසගේ සිනාහඩ මැද්දේම පේමරතන හිමියන් සිය අනුශාසනාව දිගටම කරගෙන ගියේය. ‘‘අර මනුස්සයා හංසයාගෙන් ඡන්දෙ ඉල්ලන්න ගිය වෙලාවේ දැන් උඹට මෙහේ තැනක් නෑ කියලා පක්ෂයෙන් අයින් කරලා දැම්මා නම් ඉවරයි. එහෙනම් තවමත් පක්ෂයේ සභාපති මුන්නැහේ. නැද්ද ? ’’නා හිමියෝ තමන්ට යාබද අසුනේ සිටි මහින්දගෙන් ඇසීය. එය අනුමත කරමින් හිස සැලූ මහින්ද නා හිමියන්ට යමක් පැවැසීය. ‘‘එහෙම කිව්වට වැඩක් නැහැ. එව්වා මහ වැඩක් නැති කතා. ’’නා හිමියෝ කියද්දී මහින්ද පමණක් නොව රැස්ව සිටි පිරිසද උස්හඩින් සිනාසුණහ. පේමරතන හිමියෝ සිය අනුශාසනාව අවසන් කළේද තුන් තේරවිලි කතාවකිනි. ‘‘කාගේ උදව් ලැබුනත් නැතත් මම අවුරුද්දක් ඇතුලත ඔය මුල්ගල් තියපු චෛත්‍ය හදලා ඉවර කරනවා. ඒක විවෘත කරන්න රටේ රාජ්‍ය නායකයා හැටියට මුන්නැහේම ගෙන්වන්නත් මම බලාපොරොත්තු වෙනවා. ’’යැයි නා හිමියෝ කීහ.

තැපැල් කන්තෝරුවේ – නාමල් මොකද කොළේ ?

රජය විසින් පොරොන්දු වූ වගා වන්දි මුදල් නිසියාකාරව නොලැබෙන බව කියමින් ජනපති වෙත වෙත තැපැල්පත් යැවීමේ කටයුත්තක් පසුගිය බදාදා සංවිධානය වී තිබිණි. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැදවුම්කරු ලෙස කටයුතු කරන වයඹ පළාත් සභා මන්ත‍්‍රී නාමල් කරුණාරත්නද ගොවීන් පිරිසක් පිරිවරාගෙන එදින පොල්පිතිගම, එගොඩගම උප තැපැල් කාර්යාලයට පැමිණ සිටියේය. තැපැල් කාර්යාලයෙන් තැපැල්පතක් මිලදීගත් නාමල් සිය අත් අකුරින්ම ජනාධිපතිවරයා වෙත යවන පණිවිඩය එහි සටහන් කළේය. පොරොන්දු වූ පරිදි රුපියල් 40000 ක වන්දි මුදල කඩිනමින් ලබාදෙන ලෙසත්, 2500ක් වන සහනාධාරය ලබන කන්නයේ අස්වැන්න ගෙට ගන්නා තුරු අඛණ්ඩව ලබාදෙන ලෙසත් නාමල් එහි ලීවේය. ඉන් අනතුරුව අදාල තැපැල්පත ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරමින් ලිපිනයද ලියූ නාමල් එය එගොඩගම තැපැල් කන්තෝරුවේ ලියුම් පෙට්ටියට දැම්මේය. ඉන් අනතුරුව මාධ්‍යය ඇමැතූ නාමල් කීවේ ගොවීන් තවදුරටත් රැවටුවහොත් ඡන්දය ඉල්ලාගෙන ගොවිබිම්වලට පය තබන්නට මැති ඇමැතිවරුන්ට යළිත් ඉඩ නොතබන බවය.

ඇමැති ටී. බී. පාලුගෙයි වළං බිදී !

රිදීබැදිඇල්ල ප‍්‍රදේශයේ පිහිටි ඉහළ වාණිජ වටිනාකමක් සහිත රජයේ ඉඩමක් ජාතික ඇමැති ටී. බී. ඒකනායක විසින් සිය හිතවතුන්ට බෙදාදීමට සැරසීම හේතුවෙන් ප‍්‍රදේශය පුරා ඇති වී තිබෙන නොසන්සුන්තාවය ගැන වයඹ අඵ යට ගිනි පිටුව පසුගිය සතිවලදී වාර්තා කළේය. නිවාස සංවර්ධන අධිකාරියේ හෝ මහව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ අනුදැනුමකින් තොරව සිදුවන බව කියන මෙම ඉඩම් බෙදිල්ලට එරෙහිව මන්ත‍්‍රී නාමල් කරුණාරත්න ඇතුලු පිරිසක් අවස්ථා කිහිපයකදීම විරෝධතාවයන්ද දැක්වූහ. තත්වය එසේ තිබියදී තමන් පමණක් වාඩි වූ මහව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමකදී අදාල ඉඩම වෙනුවෙන් අනුමැතියක් සම්මත කරවා ගන්නට ඇමැති ටී. බී. පසුගිය සදුදා කටයුතු කළේය. සදුදා පැවැති සංවර්ධන කමිටු රැස්වීමට එහි සම සභාපති ලෙස කටයුතු කරන අචිනි ලොකුබණ්ඩා හෝ අදාල ඉඩම් බෙදීමට එරෙහි විරෝධයේ මුලින්ම සිටින මන්ත‍්‍රී නාමල් කරුණාරත්න හෝ සහභාගි නොවීය. ඇමැති ටී. බී. ගෙන් දිනයක් වෙන්කරවා ගත් මහව ප‍්‍රාදේශීය ලේකම්වරයා එදිනට සංවර්ධන කමිටුව සදහා දින නියමකර, ඒ බව අචිනි වෙත දන්වා යවා ඇති බව අඵ යට ගිනි වෙත වාර්තා වෙයි. කමිටු රැස්වීමට දෙදිනක් තිබියදී තමන්ට ඒ බව දැනුම්දීම හේතුවෙන් සහ ඒ සදහා වෙන්කර ඇති දිනයට තමාට සහභාගි විය නොහැකි බව පවසමින් ලබන 18 වැනිදාට සංවර්ධන කමිටු රැස්වීම යොදාගන්නා ලෙසට අචිනි මහව ප‍්‍රාදේශීය ලේකම්වරයා වෙත පෙරළා දැනුම් දී තිබේ. නමුත් තම ඉල්ලීම මායිම් නොකරමින් සංවර්ධන කමිටු රැස්වීම සූදානම්වෙමින් ඇති බව දැනගත් අචිනි තමන්ට අදාල දිනයේදී සංවර්ධන කමිටු රැස්වීමට සහභාගිවිය නොහැකි බව, මහව ප‍්‍රාදේශිය ලේකම්වරයා වෙත මෙන්ම කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම්වරයා වෙතද ලිඛිතව දැනුම්දෙන්නට වගබලා ගත්තාය. සම සභාපතිනිය ලෙස අචිනිගේ සහභාගිත්වයෙන් තොරව සංවර්ධන කමිටු රැස්වීමක් කැදවීම මෙන්ම එවැනි කමිටුවකදී ගන්නා තීන්දු තීරණ නීත්‍යානුකූල නොවීම පදනම් කරගනිමින් මන්ත‍්‍රී නාමල්ද සදුදා පැවැති මහව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි නොවීය. අචිනි සහ නාමල් ඇතුලු වගකිවයුත්තන් නොපැමිණි නමුත් එදින රැස්වීමට තවත් පිරිසක් අනාරාධිතවම පැමිණ සිටියහ. ඒ අදාල ඉඩමෙන් ඉඩම් ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බව කියන පිරිසකි. එකසිය ගණනක් වූ මෙම පිරිස කල්වේලා ඇතිවම කමිටු රැස්වීම පැවැති ශාලාවේ අසුන්ගෙන සිටීම හේතුවෙන් ශාලාව තුළ පැවැතියේ දැඩි තදබදයකි. රැස්වීමට ආගන්තුක පිරිසක් සහභාගි වී සිටිනු දුටු මහව ප‍්‍රාදේශීය ලේකම්වරයා රැස්වීමට සහභාගිවීමට අවසර ඇති නිලධාරින් හැර අනෙකුත් අයට ශාලාවෙන් ඉවත්වන ලෙස දැනුම්දුන් නමුත් කිසිවෙකුත් සෙලවුණේවත් නැත. අනතුරුව රැස්වීම ආරම්භ කෙරුණු අතර ලිපි කිහිපයක් සභාවට ඉදිරිපත්කිරීමෙන් පසුව ඇමැති ටී. බී. අදාල ඉඩමේ ගැටලුව ගැන ඇදගත්තේය. ‘‘මේ ඉඩම බෙදන එක ගැන මාධ්‍යවලත් දාලා තිබුණා, මම මේක කොල්ලකන්න හදනවා කියලා. මට කාගෙවත් ඉඩම් කොල්ලකන්න ඕනෑ නැහැ. මේක රජයේ ඉඩමක්. මේ ඉඩම යොදාගෙන රාජ්‍ය නිලධාරින් ඇතුලු මධ්‍යම පාන්තික අය වෙනුවෙන් නිවාස යෝජනා ක‍්‍රමයක් හදන්නයි මට උවමනා වුණේ. දැන් මේ ඇතිවෙලා තියෙන තත්වයත් එක්ක අපිට මේ සදහා සංවර්ධන කමිටුවේ අනුමැතියක් අවශ්‍ය වෙනවා. ඒ නිසා කවුරුහරි මේ ඉඩමට අනුමැතිය දෙන්න කියලා යෝජනාවක් ගේන්න. ’’ඇමැති ටී. බී. කීවේය. රැස්වීමේ වාඩි වී සිටි ඉඩම් ප‍්‍රතිලාභියෙකු බව කියන අයෙකු එසැණින් නැගී සිටියේය. හෙතෙම කීවේ අදාල ඉඩම බෙදාදීම සදහා ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ අනුමැතිය ලබාදිය යුතු බවය. ‘‘විරෝධතා තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ’’ඇමැති ටී. බී. එවර කීවේය. දී කිරට බලල්ලුත් සාක්කි යැයි කියන කියමන සිහිපත් කරමින් කිසිවෙකුත් ‘‘හ්ම් ’’ගෑවේවත් නැත. ‘‘හරි, එහෙනම් කවුරුත් විරුද්ධ නැහැනේ. එහෙනම් මේ ඉඩම බෙදාදීමට සංවර්ධන කමිටුවේ අනුමැතිය ලැබෙනවා. ඒ නිසා ප‍්‍රාදේශීය ලේකම්තුමාට ඒ සම්බන්ධ ඉදිරි වැඩකටයුතු කරන්න පුලුවන්. මමත් මගේ අමාත්‍යංශය හරහා මේ වෙනුවෙන් දිය හැකි උපරිම සහයෝගය දෙනවා.’’ටී. බී. ජයග‍්‍රාහී ලීලාවෙන් කීවේය. පාලුගෙයි වලං බිදින මොඩලයෙන් ටී. බී. විසින් තමන්ගේ වැඩේ කරගෙන තිබූ නමුත් මහව සංවර්ධන කමිටු රැස්වීමේදී ගත් එම තීන්දු තීරණ කෙතරම් දුරට වලංගුදැයි අද වන විට මතු වී ඇත්තේ සාධාරණ සැකයකි. මක්නිසාද යත් අදාල තීන්දුව බලාත්මකවීමට නම් ඇමැති ටී. බී. ගේ පමණක් නොව මහව සංවර්ධන කමිටුවේ අනෙක් සම සභාපති පුටුව හිමි අචිනිද ඊට අස්සන් තැබිය යුතු බැවිනි. අදාල තීන්දුවට අස්සන් තැබීම කෙසේවෙතත් තමාගේ සහභාගිත්වයෙන් තොරව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව කැදවීම ගැන නම් අචිනි යම් තීන්දුවක් ගැනීමට අරඅදිමින් සිටින අඵ යට ගිනි වෙත වාර්තා විය. ඒ පිළිබදව ලිවීම ඉදිරි සතියකට කල්තබා, මහව හාමුගේ වත්තේ ඉඩම් ආරවුල ගැන සටහන මෙතැනින් අවසන් කරන්නේ හොද හොද සෙල්ලම් බලන්නට නම් තවත් ටිකක් එළිය වැටිය යුතු බැවිනි.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 සැප්තැම්බර් 14 වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article