Friday, April 26, 2024

ඩී.බී.ගේ ඇමැතිකමට තට්ටු වී දෙවසරක් පිරුණු දා සන්ධ්‍යගේ ඇමැතිකමටත් තට්ටුවෙයි !

Must read

 ayg_2017_09_21

ඇමැති විදිහට නින්දට ගිය සන්ධ්‍ය මන්ත‍්‍රී විදිහට ඇහැරුණු හැටි.

කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අවස්ථාවක වයඹ පළාත් සභාවේ දෙවැනි ඇමැතිවරයාටත් තනතුර අහිමිවී ගියේ පසුගිය සිකුරාදාය. ඒ අනුව වයඹ අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කරමින් සිටි සන්ධ්‍ය රාජපක්ෂට ඇමැතිකම අහිමිවෙද්දී වයඹ පළාත් සමූපකාර සංවර්ධන, සංස්කෘතික සහ කලා කටයුතු , ක‍්‍රීඩා හා යෞවන කටයුතු, විදුලිබල, ඉඩම්, තොරතුරු තාක්ෂණය පිළිබද නව අමාත්‍යවරයා ලෙස පියසිරි රාමනායක ජනපති මෛත‍්‍රී ඉදිරිපිටදී එදින දිවුරුම් දුන්නේය. වයඹ ඇමැති මාරුව පිටුපස ඇති නොකියැවුණු, නොඇසුණු සහ රසවත් සිදුවීම් වෙනුවෙන් මෙවර වයඹ අඵ යට ගිනි පිටුවෙන් වැඩි ඉඩක් වෙන්කෙරෙයි. වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි මෙන්ම මහ ඇමැති ධර්මසිරි දසනායකත් පසුගිය සිකුරාදා උදෑසන වරුව වෙන්කරගෙන තිබුණේ ජනපති දියණි චතුරිකා සිරිසේනගේ ‘‘ජනාධිපති තාත්තා’’කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගිවීම වෙනුවෙනි. එම උත්සවයකට දෙතුන් දිනකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආණ්ඩුකාරවරිය වෙත ලැබී තිබූ පණිවිඩයකින් කියැවුණේ වයඹ පළාත් සභාව සම්බන්ධ සුවිශේෂි කටයුත්තක් වෙනුවෙන් ආණ්ඩුකාරවරියගේ නිල ලිපි ශීර්ෂ හෙවත් ලෙටර් හෙඩ් කිහිපයක්ද සමග සිකුරාදා දහවල් 10.30 ට ජනපති ලේකම් කාර්යාලය වෙතද පැමිණෙන ලෙසටය. ඒ අනුව ජනාධිපති තාත්තා එළිදැක්වීමට සහභාගි වූ ආණ්ඩුකාර පියසීලි සහ මහ ඇමැති ධර්මසිරි එම උත්සවය අවසන් වී ජනාධිපති ලේකම් කාර්යාලයට යනවිට පියසිරි රාමනායක එහි පැමිණ සිටියේය. පියසිරිට ඇමැතිකමකුත්, ධර්මසිරිට අධ්‍යාපනයත් පිරිනමමින් වයඹ පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලයේ දෙවැනි සංශෝධනයද සිදුවිය. ඇමැති මාරුව සම්බන්ධයෙන් කාගේත් කතාබහට ලක්වී තිබූ කරුණ වූයේ සන්ධ්‍ය රටින් බැහැර වී සිටියදී ඔහුව ඇමැති තනතුරෙන් ඉවත් කිරීමය. සන්ධ්‍ය ඒ වනවිට සිටියේ ලංකාවේ සිට කිලෝමීටර් දහස් ගණනක් දුරින් පිහිටි ස්විට්සර්ලන්තයේ සිය පවුලේ සාමාජිකයින් සමග නිවාඩුවක් ගෙවා දමමිනි. අමාත්‍යවරයෙකු ලෙස නින්දට ගිය සන්ධ්‍යට වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීවරයෙකු ලෙස අවදිවන්නට සිදුවී තිබිණි. මේ හා සමාන අත්දැකීමකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායකටද පසුගිය වසරේදී මුහුණදීමට සිදු වූ අතර සාලින්ද හිරියාල ශ‍්‍රීලනිප ආසන සංවිධායක තනතුරෙන් ඉවත්කර තිබුණේ ඔහු ජපන් සංචාරයක යෙදී සිටියදීය.

හරියටම මීට දෙවසරකට පෙර සන්ධ්‍ය අතට වයඹ අධ්‍යාපනය පත්වන්නේ මහ ඇමැති තනතුර මුල්කරගනිමින් දියත් වූ අරගලයක ප‍්‍රතිඵලයක් ලෙසිණි. වයඹ මහ ඇමැති ලෙස කටයුතු කරමින් සිටි දයාසිරි ජයසේකර 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට තේරීපත්වීමත් සමග මහඇමැති ධූරය වෙනුවෙන් පුත්තලම සහ කුරුණෑගල දිස්ත‍්‍රික් දෙක අතර සීතල යුද්ධයක් ඇතිවිය. මහ ඇමැතිකම ඉල්ලා ධර්මසිරි දසනායක කුරුණෑගලින් සටනට බසිද්දී, ඇමැති සන්ධ්‍ය මහ ඇමැතිකම ඉලක්ක කරගනිමින් පුත්තලමෙන් සටනට බැස තිබිණි. සති කිහිපයක් තිස්සේ පැවැති සීතල යුද්ධය අවසන් කරමින් මහඇමැති පුටුවේ ධර්මසිරි වාඩිකරවීමට ජනපති මෛත‍්‍රී ක‍්‍රියාකළ අතර එතෙක් ප‍්‍රධාන අමාත්‍යවරයා යටතේ පැවැති ප‍්‍රධානම සහ වැදගත්ම තනතුර වූ අධ්‍යාපන ඇමැතිකම සන්ධ්‍ය වෙත පිරිනමමින් පුත්තලම දිස්ත‍්‍රික්කය වෙතද ‘‘නිල නොවන මහ ඇමැතිකමක්’’පිරිනමන්නට ජනපති විසින් වගබලාගෙන තිබිණි. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය සතුව පැවැති වයඹ අධ්‍යාපනය පුත්තලමට මාරු වූ එකම අවස්ථාවද එය විය. වයඹ දේශපාලනයේ අලුත් පරිච්ඡේදයක් ලියවමින් 2015 සැප්තැම්බර් 13 වැනිදා ඇමැති සන්ධ්‍යට එලෙස අධ්‍යාපන ඇමැතිධූරය ලැබෙද්දී ඒ වනවිට සෞඛ්‍ය ඇමැතිකමේ කටයුතු කරමින් සිටි ඩී. බී. හේරත් ඇමැතිකමින් විසි වී ගියේය. ඩී. බී. ගේ පුරප්පාඩුව සදහා ලක්ෂ්මන් වේඩරුව දිවුරුම් දෙනු ලැබුවේද එදිනමය. ඇමැති ඩී. බී. හේරත් ඇමැතිකමින් නෙරපා හරියටම වසර දෙකක් සපිරුණු 2017 සැප්තැම්බර් 14 වැනිදා, සන්ධ්‍යගේ අධ්‍යාපන ඇමැතිකමේ ආයු කාලයත් දෙවසරකට සීමාකරමින් ඔහුත් ඇමැතිකමින් ඉවත්කිරීම දෛවෝපගත සිදුවීමක් බවට පත්ව තිබේ.

මහ ඇමැතිට වැඩිවෙයි. දෙහිගමටයි – සුමල්ටයි අඩුවෙයි.

පියසිරි රාමනායක වෙනුවෙන් ඇමැතිකමක් නිර්මාණය කිරීම සදහා පළාත් සභාවේ සෙසු අමාත්‍යංශවලින් විෂයන් සම්මාදම් කරන්නට වූයේ මහ ඇමැති ධර්මසිරි විසින් අධ්‍යාපන විෂය තමන්ට අවශ්‍ය බවට දැඩි ලෙස ඉල්ලා සිටීම හේතුවෙනි. ඒ අනුව තමන් වෙත තිබූ විදුලිබල විෂය පියසිරිට ලබා දී ඇමැති සන්ධ්‍ය සතුව තිබූ ප‍්‍රධානම විෂය වූ අධ්‍යාපනය ප‍්‍රධාන අමාත්‍ය ධූරය වෙත යළි ඈදාගන්නට ධර්මසිරි සමත්විය. ඒ අනුව දෙවසරක් තිස්සේ පුත්තලම හිමි වී තිබූ වයඹ අධ්‍යාපන අමාත්‍ය ධූරය යළි කුරුණෑගලට ලැබී තිබිණි. ධර්මසිරි විසින් අධ්‍යාපනය ගලවාගැනීමෙන් හෑල්ලු වී ගිය පියසිරිගේ ඇමැතිකමේ බර වැඩිකිරීම වෙනුවෙන් ලොකුම දානය දෙන්නට සිදුවූයේ ඇමැති දෙහිගමටය. ඒ අනුව දෙහිගම යටතේ තිබූ සමූපකාර විෂය දෙහිගමගෙන් ඉවත්කර පියසිරිගේ අමාත්‍යංශය වෙත අමුණනු ලැබීය. පියසිරිගේ අමාත්‍යංශය සරු කිරීම වෙනුවෙන් ඇමැති සුමල් තිසේරා යටතේ තිබු ඉඩම් විෂයද පියසිරිගේ නව ඇමැතිකම වෙත එක්කරනු ලැබීය. සිකුරාදා සිදුකෙරුණු ඇමැති සංශෝධනයේදී හානියක් නොලැබූ එකම ඇමැතිවරයා වූයේ ලක්ෂ්මන් වේඩරුවය. වේඩරුවගේ අමාත්‍යංශයෙන් ගලවාගන්නට තරම් විෂයක් නොමැතිවී හේතුවෙන්දෝ පියසිරි වෙනුවෙන් විෂයන් පූජාකිරීමේ ඉරණමට මුහුණදෙන්නට ඇමැති වේඩරුවට නම් සිදුවූයේ නැත. 1989 දී පැවැති පළමු පළාත් සභා මැතිවරණය ජයගෙන වයඹ පළාත් සභාව පිවිසීමෙන් පසුව මේ දක්වාම පළාත් සභාව තුළ අඛණ්ඩවම රැදී සිටීමේ දුර්ලභ භාග්‍යයක් ලැබූ පියසිරි වයඹ පළාත් සභාව තුළ පමණක් නොව මෙරට පළාත් සභා ක‍්‍රමය තුළද සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත‍්‍රීවරයා ලෙසද සැලකෙයි. වයඹ පළාත් සභාවන් කිහිපයකම ඇමැතිවරයෙකු, සභානායකවරයෙකු සහ මන්ත‍්‍රීවරයෙකු ලෙස වගකීම් දරා ඇති පියසිරිට සිකුරාදා දිනයේදී ලැබුණු ඇමැති තනතුරත් සමග හයවැනි පළාත් සභාව තුළත් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේ වාසනාව උදාවිය.

අගමැති මාවතගමට දවසක්ම දෙයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ ගෙවුණු සතිඅන්තය ගතකළේ කුරුණෑගලදීය. සෙනසුරාදා දිනයේදී පොල්පිතිගම ප‍්‍රදේශයේ පැවැති විවෘත කිරීම් මාලාවකට සහභාගි වූ අගමැති රනිල් ඉරිදා දවසම ගතකළේ මාවතගමය. අගමැති රනිල්ගේ නායකත්වයෙන් පොල්පිතිගමදී පැවැති උත්සව සදහා නුදුරේදීම ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට සූදානම් වන බව කියන ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායකද සහභාගි වී සිටීම විශේෂත්වයක් විය. පොල්පිතිගම ජාතික පාසලේ පැවැති ජනහමුව අතරතුරදී අගමැතිට යාබද අසුන හිස් වූ වේලාවක් බලා එහි වාඩි වූ ඇමැති ටී. බී., අගමැතිවරයා සමග සැලකිය යුතු වේලාවක් තිස්සේ කළ සාකච්ඡාව ජනහමුවට සහභාගි වී සිටි වැඩි පිරිසගේ අවධානය ලක් වී තිබිණි. ඉරිදා උදෑසන මාවතගමට පැමිණි අගමැති රනිල් මාවතගම එජාප සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවලගේ ‘‘දෙවසරක මාවතගම සංවර්ධන උදාව’’වැඩසටහන යටතේ විවෘත කිරීමේ උත්සව ගණනාවකට සහභාගිවිය. අගමැති රනිල් සම්පූර්ණ දිනයක් එක් ආසනයක වැඩකටයුතු සදහා වෙන්නොකරන බව කියැවෙන නමුත් ඉරිදා පෙරවරු 10 ට පමණ මාවතගමට පැමිණි අගමැතිවරයා මාවතගමින් නික්ම ගියේ සැදෑ අදුරත් වැටෙමින් තිබියදීය. වර්ෂාවෙන් එල්ල වූ බාධා පවා නොතැකූ අගමැතිවරයා වැහි කබායක පිහිට පතමින් මාවතගම සමස්ත මැතිවරණ කොට්ඨාශයම ආවරණය වන පරිදි සැලසුම් කර තිබූ උත්සව අටකට සහභාගිවිය. මාවතගම පොලිස් ස්ථානයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව සාමෝදය පිටියේදී පැවැති ජනහමුව ඇමැතූ අගමැතිවරයා, එම උත්සවයට සහභාගි වී සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත අභියෝගයක්ද භාරදුන්නේය. ‘‘අපි අද විවෘත කරපු මාවතගම පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ල තමයි ලංකාවේ තියෙන හොදම පොලිස් ගොඩනැගිල්ල. ඒ නිසා පොලිස්පතිතුමනි, මින් පස්සේ නීතිය සහ සාමය හොදටම ආරක්ෂාවෙන ප‍්‍රදේශය බවට පත්වෙන්නත් ඕනෑ මේ මාවතගම ප‍්‍රදේශයම තමයි.’’අගමැතිවරයා කියද්දී උත්සව සභාව සිනාහඩක ගිලීගියේය. ඉදුල්ගොඩ කන්ද ජාතික පාසලේ පැවැති උත්සවය අතරතුරදී ඇමැති අකිල, ඇමැති නාවින්න සහ අලවතුවල අගමැතිවරයා සමග කතාබහකට වැටිණි. ‘‘ අපි ඇමැතිවරු වෙලත් අපේ ආසනවල කරපු වැඩවලට වඩා අලවතුවල මාවතගමට වැඩකරගෙන තියෙනවා සර්. ’’අකිල අගමැතිවරයාට කීවේය. ‘‘ඔව්, ඔව්. ඒක ඇත්ත.’’නාවින්නද අකිලට හූ මිටි තිබ්බේය. ‘‘අපි කොහොමද ඇමැතිවරු තරම් වැඩකරන්නේ. ඕවා බොරු කතා සර්. ’’අලවතුවල කියද්දී අගමැතිවරයාගේ මුවට සිහින් සිනාවක් නැගිණි.

මිතුරුතුමෝ ජොනීට පිටුපාති.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිකවැරටිය ආසනයේ සාමාජිකත්වාභිෂේක වැඩසටහන පසුගිය ඉරිදා පැවැත්වුණේ නිකවැරටිය පොළ භූමියේදීය. උත්සව සංවිධායකයින් විසින් නිකවැරටිය නගරාසන්නයේ පිහිටි ප‍්‍රකට හෝටලයක් අදාල වැඩසටහන පැවැත්වීම සදහා කලින් මුදල් ගෙවා වෙන්කරගෙන තිබූ නමුත් දේශපාලන රැස්වීම් පැවැත්වීමට ඉඩදිය නොහැකි බව පවසමින් අදාල හෝටලයේ හිමිකරු විසින් උත්සව ශාලාව ලබාදීම අවසන් මොහොතේදී ප‍්‍රතික්ෂේප කර ඇති බව කියැවෙයි. හෝටලය ගැන බලාපොරාත්තු සුන්කරගත් ජොන්ස්ටන් ඇතුලූ සංවිධායක පිරිසට අවසානයේදී සිදුවූයේ සාමාජිකත්ව වැඩසටහන පොළ භූමියට මාරුකිරීමටය. මෙහි ඇති විශේෂත්වය වන්නේ අදාල හෝටලයේ හිමිකරුවා මන්ත‍්‍රී ජොන්ස්ටන්ගේ සමීපතම මිතුරෙකුවීමය. පසුගිය රජය සමයේදී ඉදිකෙරුණු මෙම හෝටලය සදහා ජොන්ස්ටන්ගේ අනුග‍්‍රහය නොමදව ලැබුණු අතර මෙම හෝටලය සහ ජොන්ස්ටන් අතර කෙතරම් සමීප සබදතාවයක් පැවතුණේදැයි කිවහොත් මෙම හෝටලය ජොන්ස්ටන්ට අයත් එකක් බවද එම දිනවලදී කියැවිණි. බලය නැති කලෙක මිතුරුතුමෝ වුවත් පිටුපා යන බව පසක් කරමින් ජොන්ස්ටන්ට අදාල හෝටලයේ දොර වැසීගොස් තිබිණි. පොළ භූමියේ පැවැති උත්සවය අමතමින් ජොන්ස්ටන් අදාල හෝටලයෙන් තමන්ට සිදු වූ කෙණෙහිලිකම ගැන හෙළිකරන්නටද වගබලාගත්තේය. අනතුරුව කලෙක තම සමීපතම මිතුරා වූ නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක වෙත අනතුරු අගවන්නටත්, නිකවැරටියේ තම ආධාරකරුවන්ට සහතිකයක් දෙන්නටත් ජොන්ස්ටන් කටයුතු කළේ මෙලෙස කියමිනි. ‘‘දැන් මගේ පරණ මිත‍්‍රයා ඉන්දික බණ්ඩාරනායක තැන් තැන්වල කිය කියා යනවා මම නිකවැරටිය දාලා ගිහින් පොහොට්ටුවේ කුරුණෑගල සංවිධායකකම ගන්නවා කියලා. මම මේක දාලා කොහේවත් යන්නේ නෑ. මම නිකවැරටිය දාලා යනවා නම් යන්නේ දේශපාලනයෙන් සමුගන්න දවසක විතරයි. නමුත් ඉන්දික බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට යැව්වේත් මමයි. ඉදිරි මැතිවරණයකදී එයාව ගෙදර යවන්නෙත් මමයි. ’’ජොන්ස්ටන් කීය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 සැප්තැම්බර් 21 වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article