Friday, April 26, 2024

දොඩම්ගස්ලන්දේ සුපර්සන් මහින්ද ළගින් පායන ලකුණු ?

Must read

ayg_2017_11_

ප‍්‍රවාහන ඇමැතිගේ දුම්රියත් පරක්කු වෙයි.

ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පසුගිය සදුදා පස්වරුවේ කුරුණෑගල ආවේ නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහගේ ආරාධනාවකටය. ඒ කුරුණෑගල දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ අලුතින් ඉදිවූ දුම්රිය වේදිකා පර්යන්තය සහ පාශ මාර්ගය විවෘත කිරීමේ උත්සවයට සහභාගිවන්නටය. ඇමැති නිමල් සිරිපාල මෙම උත්සවයට සහභාගිවන්නට කොළඹ සිට කුරුණෑගල ආවේ රේල් කාර් රථයකින්වීම විශේෂත්වයක් විය. ඇමැති නිමල් රැගත් රේල් කාරය පස්වරු තුනට කුරුණෑගල දුම්රිය ස්ථානයට ළගාවන බව දුම්රිය පාලක මැදිරිය විසින් දැනුම් දී තිබීම නිසා ඇමැති අශෝක් සහ සෙසු අරාධිතයින්ද පස්වරු දෙකයි තිහ පමණ වනවිට කුරුණෑගල දුම්රිය ස්ථානයට පැමිණ සිටියහ. ඇමැති නිමල් රැගත් දුම්රිය එනතෙක් අශෝක් මගබලාගෙන සිටි නමුත් නමුත් තුනයි පහළොව පසුවන තුරුත් දුම්රිය එහි ආවේ නැත. දුම්රිය ප‍්‍රමාදය ගැන විමසා බැලූ අශෝක්ට දැනගත හැකිවූයේ මාර්ග අවහිරතාවයක් හේතුවෙන් ඇමැති නිමල් රැගත් රේල් කාර් රථය ඒ වනවිට පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ නවතාගෙන සිටින බවය. තවත් ටික වේලාවක් ගෙවීයද්දී ඇමැති නිමල් රැගත් රේල් කාර් රථය කුරුණෑගල දුම්රිය ස්ථානයට ආවේ සවස තුනයි තිහට ආසන්න වී තිබියදීය. දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එම්. අබේවික‍්‍රම ඇතුලු දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් පිරිසක්ද ඇමැතිවරයා සමග රේල් කාරයෙන් කුරුණෑගලට පැමිණ තිබිණි. කුරුණෑගල දුම්රිය ස්ථානයේදී ඇමැති අශෝක්වත් නංවාගත් රේල් කාර් රථය යළි මද දුරක් ආපසු ගියේ නව වේදිකා පර්යන්තයට ළගාවන පළමු දුම්රිය ලෙස එම රේල් කාර් රථය ධාවනය කිරීමට සැලසුම් කර තිබූ බැවිනි. ඒ අනුව ඇමැති නිමල් සහ අශෝක් දෙපළ රැගත් රේල් කාර් රථය අලුතින් ඉදිකළ දුම්රිය මාර්ගය ඔස්සේ නව වේදිකා පර්යන්තයට පිවිසෙන විට එය විවෘත වී ගියේ දුම්රිය මාර්ගය හරහා ඇද තිබූ නිල් සහ කොළ පැහැති බැලුම් එල්ලූ පටියක් කැඩීයාමෙනි. දුම්රියෙන් බැසගත් ඇමැති නිමල් ඇතුලු ආරාධිතයින් කුරුණෑගල දුම්රිය ස්ථානාධිපති විසින් බුලත් හුරුඵ දී පිළිගනු ලැබීය. සිහිවටන ඵලකයද විවෘත කළ මැති ඇමැති දෙපළ කුරුණෑගල දුම්රිය ස්ථානයේ සංවිධානය කර තිබූ උත්සව සභාවකටද එක්වූහ.

ලයිට් බිලවත් ගෙවාගන්න බැරි නගර සභාවක් !

මැල්සිරිපුර ව්‍යාපාරිකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන ආර්ථික අපහසුතා සහිත පාසල් දරු දැරියන් වෙත පාසල් උපකරණ සහ සපත්තු කට්ටල ප‍්‍රදානය කිරීමේ උත්සවය මැල්සිරිපුර කුමාර හෝටල් පරිශ‍්‍රයේදී පැවැත්වුණේ පසුගිය සිකුරාදාය. එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වී සිටියේ මහ ඇමැති ධර්මසිරි දසනායකය. පාසල් දරුවන්ගේ උත්සවයක් වූ නමුත්, දැනට කලකට පෙර නොදියුණු නගරයක්ව තිබූ මැල්සිරිපුර නගරය අද වනවිට ලබා ඇති දියුණුව සහ අලංකාරය පිළිබදව උත්සවය පුරාවට කතාබහට ලක්විය. සභාව ඇමැතූ මහ ඇමැති ධර්මසිරි, මැල්සිරිපුර ඇගයීමට ලක් කළේ කුලියාපිටිය නගර සභාව දෙකේ කොලේට ඇද දමමිනි. ‘‘මැල්සිරිපුර කියන්නේ අද වෙනකොට අපේ පළාතේ තිබෙන අලංකාරම නගරයක්. නගරය මැද වීදි පහන් පද්ධතියක් හදලා අපි ඒක මාස කිහිපයකට කලින් විවෘත කළා. ඒ වැයකරන විදුලිය වෙනුවෙන් ලොකු බිලක් එනවා. නමුත් ඒ විදුලි බිල ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවෙන් ගෙවනවා. ප‍්‍රාදේශීය සභාවක් වෙලත් ඉබ්බාගමුව ඒ වගේ ලයිට් බිලක් ගෙවද්දි කුලියාපිටිය නගර සභාවට තවම බැරිවුණා තමන්ගේ නගරයේ ලයිට් බිල ගෙවාගන්න. නගර සභාවක් විදිහට ආදායම් ලැබුණත් ලයිට් බිලවත් ගෙවාගන්න බැරිව ඒ අය බලාගෙන ඉන්නවා. ඒ නිසා ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ ලේකම්තුමාගේ මැදිහත්වීමෙන් මේ නගරයෙ අලංකාර කිරීමේ වැඩකටයුතු ටික කෙරීගෙන යනවා. මොනවා හරි ප‍්‍රශ්නයක් ආවොත් මම මුදල් ටිකක් දෙනවා. මම දැනට කෝටි දහයක් දීලා තියෙනවා ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවට. එම එහෙම ආවාට ගියාට හැමතැනටම සල්ලි දෙන්නෙත් නැහැ. හොදට ඉන්න, වැඩක් කරන, මුදල් අපතේ නොයවන තැනක් බලලා තමයි මමත් උදව් කරන්නේ. මොකද මේවා මගේ සල්ලි නෙවෙයි, ජනතාවගේ සල්ලි නිසා. ඒ නිසා මම දන්නවා මැල්සිරිපුරට මුදලක් දුන්නට ඒක අපතේ යන්නේ නෑ කියලා.’’ධර්මසිරි කීය.

දොඩම්ගස්ලන්දේ අලු යට ගිනි !

දොඩම්ගස්ලන්ද එජාප ආසන සංවිධායක අර්බුදය දිනෙන් දින ඔඩුදුවමින් පවතින බවක් දැකගත හැකිය. දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක ලෙස කටයුතු කළ එම්. එස්. පෙරේරා එම තනතුරෙන් ඉවත්කර දොඩම්ගස්ලන්ද ආසනයේ නව සංවිධායකවරයා ලෙස නුවන් උදයංග පත්කිරීමත් සමග මෙම අර්බුදය හටගත්තේය. පළාත්පාලන මැතිවරණය කට උඩට පැමිණ තිබියදී සිදුකළ මෙම සංවිධායක මාරුවත් සමග දොඩම්ගස්ලන්ද එක්සත් ජාතික පාක්ෂිකයින් දැන් සිටින්නේ කරකවා අතහැරි කලක මෙනි. මක්නිසාද යත් දොඩම්ගස්ලන්ද ආසනයේ එජාප බලය දෙකට බෙදී ඇති බවක් පැහැදිලි ලෙස පෙනෙන්නට ඇති බැවිනි. රිදීගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු විපක්ෂනායකවරුන් වන ලයනල් චන්ද්‍රවංශ සහ වසන්ත කරුණාරත්න ඇතුලු හිටපු මන්ත‍්‍රීවරුන් බහුතරයක් තවමත් සිටිනේ මන්ත‍්‍රී එම්. එස්. පෙරේරාට සහය දක්වන ස්ථාවරයකය. ඔවුන් උදයංග තම ආසන සංවිධායකවරයා ලෙස පිළිගැනීමට සූදානම් නැත. අනෙක් අතින් නුවන් උදයංගත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වැදීමේ අපේක්ෂක්ෂාවෙන් පසුව තරුණ පිරිසක් තමා සමග රදවාගනිමින් සටනට බැස තිබේ. තමාට පක්ෂයෙන් සිදු වූ මදිපුංචිකමට එරෙහිව මන්ත‍්‍රී පෙරේරා විකල්ප ක‍්‍රියාමාර්ග ගැනත් සොයමින් සිටින බව පසුගිය සතියේදී දැකගත හැකිවිය. පසුගිය බදාදා උදෑසන කොළඹ, විජේරාම පාරේ පිහිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිවස වෙත ගිය මන්ත‍්‍රී එම්. එස්. පෙරේරා මහින්ද සමග සාකච්ඡාවකට වාඩිවිය. එජාප ආසන සංවිධායකකමින් ඉවත්කෙරුණු මන්ත‍්‍රී පෙරේරා වෙනුවෙන්, පොදුජන පෙරමුණ තුළ ඉඩක් ලබාදෙන්නට එහි සාමාජිකයින් කෙතරම් උනන්දුවක් දක්වා තිබුණේදැයි කිවහොත් පෙරේරාට මහින්ද හමුවන්නට වෙලාවක් ලබාදීමට පොහොට්ටුවේ මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුම දැඩි උත්සාහයක් ගෙන තිබිණි. මන්ත‍්‍රී සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මෙන්ම කුරුණෑගල හිටපු නාගරික මන්ත‍්‍රී අබ්දුල් සත්තාර් ද මහින්ද අමතා පෙරේරා වෙනුවෙන් වේලාවක් ඉල්ලා තිබිණි. තිදෙනාගේම ඉල්ලීම් සලකා බැලූ මහින්ද බදාදා උදෑසන පෙරේරා වෙනුවෙන් වෙන්කර තිබිණි. පෙරේරා සමග ලයනල් චන්ද්‍රවංශ ඇතුලු හිටපු මන්ත‍්‍රීවරුන් පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ. මහින්ද සමග සනත්, ජොන්ස්ටන් සහ සත්තාර් සාකච්ඡාවට සහභාගි වී සිටියහ. පිල් මාරුවක් වැනි දැඩි ක‍්‍රියාමාර්ගයක් පිළිබදව අවසන් තීරණයකට නොබසිමින් සාකච්ඡාව අවසන් කෙරුණු නමුත් දොඩම්ගස්ලන්ද දේශපාලනයේ අනාගතය තීරණය කළ හැකි කරුණු ගණනාවක් පිළිබදව එහිදී ගැඹුරින් සාකච්ඡාවට ලක්විය.

මහින්ද සමග සාකච්ඡාව අවසන්කර වැඩි වේලාවක් ගෙවෙන්නට පෙර පෙරේරාට සිරිකොතින් ඇමැතුමක් ලැබී තිබිණි. ඒ අනුව සිරිකොත වෙත ගිය පෙරේරාට දොඩම්ගස්ලන්ද ආසනයේ සම සංවිධායක පත්වීමක් ලැබී ඇති බව අලු යට ගිනි වෙත ලැබෙන තොරතුරුවලින් කියැවෙයි. කෙසේවෙතත් එම පත්වීම පිළිබදව පෙරේරා පසුවන්නේ එතරම් සතුටකින් නොවේ. පෙරේරාගේ ඉල්ලීම වී ඇත්තේ නුවන් උදයංග ආසන සංවිධායක තනතුරෙන් ඉවත්කර තමාට හිමිව තිබූ එජාප ප‍්‍රධාන සංවිධායකකම නැවත ලබාදෙන ලෙසටය. පෙරේරාගේ ඉල්ලීම හේතුවෙන්දෝ ඊයේ දිනයේදී නුවන් උදයංග සිරිකොත වෙත කැදවා තිබූ බව පත‍්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනවිට නිලනොවන ආරංචි මාර්ගවලින් කියැවිණි. පෙරේරා දැන් එජාපයට අනතුරු අගවමින් සිටින්නේ උදයංග ඉවත් නොකරන්නේ නම් තමන්ට වෙනත් විකල්ප ඇති බවය. ඒ අනුව දොඩම්ගස්ලන්ද ආසනයේ එජාප සංවිධායකකම වෙනුවෙන් මේ වනවිට පවතින්නේ ගල උඩ සටනක් බව පැහැදිලිය. වසර ගණනක් තිස්සේ පක්ෂය වෙනුවෙන් දරදිය ඇද ගොඩනංවාගත් තැන අතහරින්නට සූදානම් නැති බව පෙරේරාගේ අදහස වෙයි. තැන නොලැබෙන්නේ නම් විකල්ප ඇති බවද ඔහු කියයි. පෙරේරාගේ විකල්පය යනු පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව බව පැහැදිලිය. පෙරේරා එජාපය තුළ රදවාගන්නට නම් උදයංග සිය සංවිධායකකම බිලි දිය යුතුය. දොඩම්ගස්ලන්ද ආසනය තුළ කටවුට් සහ පෝස්ටර් ගසා, සංවිධායකකම ලැබුණු බවට ලොකු සද්දයක් දැමූ උදයංගත් ලත්තැනම ලොප් වන්නට කැමැතිවේදැයි ඇත්තේ සාධාරණ සැකයකි. එම නිසා එළැඹෙන ඉදිරි දින කිහිපය යනු දොඩම්ගස්ලන්ද ආසනයේ ඉදිරි දේශපාලන දිශානතිය තීරණය කරනු ලබන වැදගත් දින කිහිපයක් වනවාට නිසැකයය. සැබෑ ලෙසම දොඩම්ගස්ලන්ද එජාප දේශපාලනයට මේ වනවිට ලබා ඇත්තේ ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී පන්නයේ දසාවක් බව පැහැදිලිය. එබැවින් සිරිකොත විසින් ගෙදර යවන්නේ කවුදැයි මෙන්ම මග තියාගන්නේ කවුදැයි යන තීරණය දොඩම්ගස්ලන්දේ ජනතාව දෑස් අයා බලා සිටින බව කිව යුතුය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 නොවැම්බර් 23  වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article